උල්යනෆ්ස්ක්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සෝවියට් සංගමයේ රුසියානු සෝවියට් පෙඩරල් සමාජවාදී ජනරජයේ මෙනමින් ම හැඳින්වෙන ඔබ්ලාස්ට් ප්‍රදේශයෙහි අගනුවරයි. නිකොලායි ලෙනින් (වී.අයි. උල්යනෆ්)ගේ උපන් ගම වූ මෙය මුල දී සිම්බිර්ස්ක් නමින් දන්නා ලද නමුත් ලෙනින්ට ගරු කිරීමක් වශයෙන් 1924 දී උල්යනෆ්ස්ක් යයි නම් කරන ලදි. උ.අ. 54°. 15′ හා නැ.දෙ. 48°. 15′ ආශ්‍රිතව වොල්ගා ගඟේ අතුගංගාවක් වන ස්වියාගා ගඟබඩ පිහිටි මේ නගරය පළමුවෙන් ගොඩනංවන ලද්දේ 1648 දීය. ඒ කාලයේ දී බලකොටුවක් වශයෙන් වැදගත් වූ මෙය 1670 දී විප්ලවකාරී නායකයකු වූ ස්ටෙන්කා රසීන්ගේ ප්‍රහාරයන්ට ද ලක් විය.

මොස්කව් නගරයේ සිට ඌෆා දක්වා ඇති දුම්රිය මාර්ගයෙහි නැවැතුම්පොළක් වන උල්යනෆ්ස්ක් මෝටර් රථ වාහන, ට්‍රක් රථ හා ලෝහ ද්‍රව්‍ය සෑදීම ගැන ප්‍රසිද්ධ නවීන කාර්මික නගරයක් වශයෙන් ද වැදගත් වේ. දැව හා පේෂකර්මාන්ත ද, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ද මෙහි දියුණු වී ඇති වෙනත් කර්මාන්ත වේ. ධාන්‍ය, ලොම්, රසායන ද්‍රව්‍ය යනාදිය මේ කාර්මික නගරයෙන් සැපයෙන අනෙක් ද්‍රව්‍ය වේ. සංස්කෘතික මධ්‍යස්ථානයක් ද වන මේ නගරයේ ජනගහනය (1965) 265,000කි. එම ප්‍රදේශයේ ජනගහනය (1954) 1,250,000කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උල්යනෆ්ස්ක්&oldid=10492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි