උලුළු
සිංහල විශ්වකෝෂය වෙතින්
(මකිලුස්මක්‍රන්තා - Machilus macrantha Nees). අඩි සියයක් පමණ උසට වැඩෙන ගසකි. එහි පොත්ත දුඹුරුපාටට හුරු අළුපාටය. කොළවල හැඩය විවිධය. කොළයේ උඩ පැත්ත දිලිසේ; යට පැත්ත අළුපාටය. ශාඛා අග්‍රයන්හි තිබෙන සංයුක්ත ඒකාක්ෂවල (panicles) මල් රාශියක් හටගනී. මල කුඩාය; ළා කහපාටය; ද්විලිංගිකය. ඵලය අඟලක් පමණ දික් වූ ගෝලාකාර බදරියකි (berry). තද කොළපාට එහි සුදු තිත් තිබේ.
ලංකාවේත් දකුණු ඉන්දියාවේ කඳුකර ප්‍රදේශයේත් වැවෙන මේ ශාකය ලෞරාසේ (Lauraceae) කුලයට අයත්ය. උලුළු ලීය කහපාටය. ඔරු හා බෝට්ටු සෑදීමටත් සීලිං ලෑලි සඳහාත් එම ලීය පාවිච්චි කරනු ලැබේ. මේ ශාකයේ පොත්ත ඖෂධයක් වශයෙන් පාවිච්චි වෙයි.
(සංස්කරණය: 1974)