උශීනර

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වෛදික යුගයෙහි ඉන්දියාවේ විසූ ක්ෂත්‍රිය ගෝත්‍රයක් ද ඔවුන්ගේ ආදිතම රජ ද මෙනමින් හැඳින්වෙති.

උශීනර ගෝත්‍රය වශ, කුරු-පඤ්චාල යන ගෝත්‍රයන් හා සමඟ ඉන්දියාවේ මධ්‍ය දේශයෙහි විසූ බව ඓතරේය බ්‍රාහ්මණයෙහි සඳහන් වෙයි. ඍග්වේද කාලයෙහි ඔවුන් විසුවේ ඈත වයඹ දිග විය යුතු යයි හයින්රික් සිමර් පඬිවරයා කල්පනා කරතත් ඊට සෑහෙන සාක්ෂ්‍ය නැත. වශ, උශීනර යන ගෝත්‍ර දෙක සංයුක්තව සිටි බවත් ඔවුන් උතුරු දෙස විසූ බවත් ගෝපථ බ්‍රාහ්මණයෙන් හෙළි වෙයි. පසු කාලයෙහි වත්ස නමින් හැඳින්වුණු මෙකී වශ ගෝත්‍රය විසූ දේශය ඔවුන්ගේ අගනුවර වූ කෞශාම්බි නගරය හාත්පස පිහිටියේය. පාණිනි මුනිවරයාගේ අෂ්ටාධ්‍යායී නම් ව්‍යාකරණ ග්‍රන්ථයෙහි ද කිහිප පළක උශීනර දේශයක් සඳහන් වෙයි. එහි දැක්වෙන භූගෝලීය සාධකවලින් හෙළි වන්නේ ද එය මධ්‍ය දේශයෙහි වූ බවකි. උශීනර ගෝත්‍රය පසු කාලයෙහි ඇති වූ කාශී, විදේහ යන ජාතීන්ගේ ආදිපුරුෂයන් වූහයි ආල්බ්‍රෙක්ට් වේබර් පඬිවරයා අදහස් කරයි. එහෙත් ඔවුන් මධ්‍ය දේශයෙහි විසූ බවට සැකයක් නැති හෙයින් ඒ අදහස පිළිගත නොහැකි බව ඒ.ඩී. පුසල්කාර් මහතා පෙන්නාදෙයි.

කුරු-පඤ්චාල ගෝත්‍ර තරම් උශීනර ගෝත්‍රය ඓතිහාසික වශයෙන් වැදගත් තැනක් නොගනී. ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය අප්‍රකට වීම ඊට හේතු විය හැකිය. එහෙත් උශීනර (උසිනර) යන්න වෛදික හා බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන්ව ඇති හෙයින් ආදිකාලයෙහි ඔවුන්ට සැලකිය යුතු තත්වයක් තිබූ බව පැහැදිලි වෙයි. ඔවුන්ගේ උශීනරාණී නම් රැජිනක ගැන සෘග්වේදයෙහි (10.59 10) සඳහන්ව ඇත. අජාසත් රජු හා සමකාලීන වූ ගාර්ග්‍ය බාලාකී නම් මුනිවරයා උශීනරයන් වෙත විසූ බව කෞෂීතකී උපනිෂදය පවසයි. උශීනර රාජ්‍යයෙහි රජ කළ සුයඥ නම් රජකු ගැන භාගවත පුරාණයෙහි ද ශිබි ඖශීනර නම් රජකු ගැන මහාභාරතයෙහි ද සදහන් වෙයි.

උශීනර රජ චන්ද්‍ර වංශයෙහි ආනවයන්ගේ සත් වන රජු වූ මහාමනස් නම් චක්‍රවර්තිහුගේ පුත්‍රයායි. ඔහුට තිතික්ෂු නම් සහෝදරයෙක් ද සිටියේය. ඔවුන් දෙදෙනා යටතේ ආනවයන් දෙකොටසක් වීමෙන් ස්වාධීන වංශශාඛා දෙකක් බිහි වූයේය. උශීනර රජුට මෘගා, කෘමි, නවා, දර්වා, දෘශද්වතී යයි බිසෝවරු පස් දෙනෙක් ද ඔවුන්ගෙන් ලත් මෘග, නව, කෘමි, සුව්‍රත, ශිබි ඖශීනර යයි පුත්‍රයෝ පස් දෙනෙක් ද වූහ. ඔවුන් අතුරෙන් වඩාත් ම ප්‍රකට වූයේ ශිබි ඖශීනරයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උශීනර&oldid=10577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි