උළුහාල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ට්‍රිගොනෙලා ෆීනුම්-ග්රේකුම් - Trigonella foenum-graecum L.). අඩි 1 සිට 2 දක්වා උසට වැඩෙන වාර්ෂික පැළෑටියකි. ආසියාවේ හා දකුණු යුරෝපයේ ද වැවෙන මේ පැළෑටිය වැඩි වශයෙන් වවනු ලබන්නේ ඉන්දියාවේය.

උළුහාල් පැළෑටිය බූ සහිතය; සුවඳ ගෙන දෙයි. එහි කොළ සංයුක්තය. පත්‍රිකා අඟලක් පමණ දිගය; ප්‍රති- අණ්ඩාකාරය. මල් සුදුපාටට හුරුය. මණිය බූ සහිතය. කරල අඟල් 3 සිට 6 දක්වා දිගය. එහි කෙළවර නැමී ඇත. ඇට සුවඳය.

ඖෂධයක් වශයෙන් ද භාවිත වන උළුහාල් ඇට ව්‍යංජනවලට විශේෂ රසයක් හා සුවඳක් ලබා දීමට ද යොදනු ලැබේ. කහපාට සායමක් ද මේ ඇටවලින් ලබාගත හැකිය. ඇතැම් රටවල අශ්වයන්ගේ හා ගවයන්ගේ කෑමක් වශයෙන් ද උළුහාල් පැළෑටිය ප්‍රයෝජනවත් වේ.

මේ පැළෑටිය උම්බෙලිෆෙරෙ කුලයට අයත්ය.

ආයුර්වේද මතය

සකු බසින් මේථිකා යන නමින් හැඳින්වෙන උළුහාල් පැළෑටියෙහි මේථිකා (උළුවා), වනමේථිකා (වල් උළුවා) යයි ප්‍රභේද දෙකකි. සාමාන්‍ය උළුහාල් කටුකය; උෂ්ණ වීර්ය ඇත්තේය; රත් පිත කුපිත කරවයි; වා, සෙම්, අරුචි, ජ්වර නසයි; අග්නිදීපනය කරයි; වාතය ශමනය කරයි.

උළුහාල් ඇට මිහිරි සුවඳින් යුක්තය; ස්නිග්ධය; වාතානුලෝමකය. අග්නිදීපනය කරයි; වාත, ආධ්මාන (බඩ පිපුම), ශෝථ, අජීර්ණ, අග්නි මාන්ද්‍ය, ආමවාත නසයි; වීර්ය හා බල වඩයි; ගර්භාශය සංකෝචනය කරයි. මලශුද්ධිය හා ආර්තව ශුද්ධිය ඇති කෙරෙයි; කාම ශක්තිජනකය. රක්තාතිසාර, මසූරිකාදියට ද ප්‍රතිකාර වශයෙන් යොදනු ලැබේ. පත්‍ර ශීත වීර්ය ඇත්තේය; දාහ ශමනය කරයි; ශෝථ නසයි; මෘදු විරේචනෞෂධයකි.

වනමේථිකා ඇට මලබද්ධය ඇති කරයි; උදරශූල, අතීසාර, ආන්ත්‍රදෝෂ යන මේවාට හිතකරය. නෂ්ටාර්තව, ආමවාත, ගණ්ඩමාල යන රෝගයන්ට හා රක්තශුද්ධියට ප්‍රතිකාර වශයෙන් ද යොදනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උළුහාල්&oldid=10448" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි