ඌගාරීට්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බටහිර සිරියාවේ, මුහුදට නුදුරින් පිහිටි ඉපැරැණි රාජධානියකි. වර්තමානයෙහි රාස්ශැම්රෝ නමින් හැඳින්වෙන මෙම නගරයේ ඉතිහාසය නවපාෂාණ යුගය තෙක් පැරැණිය. දුරාතීතයෙහි දී මෙය විශාල වෙළඳ මධ්‍යස්ථානයක් ද විය. මිසරයේ මධ්‍යතන රාජධානි යුගයේ දී (ක්‍රි.පූ. 1989-1776 පමණ) ඌගාරීට් නගරය මිසර බලපෑම්වලට ලක් වූයේ දෙරට අතර ඇති වූ මිත්‍ර ගිවිසුම හේතුකොටගෙනය. ක්‍රි.පූ. 15 වන, 14 වන සියවස් තුළ මහත් සමෘද්ධියෙන් පැවැති මෙම නගරය 14 වන සියවසේ මධ්‍ය භාගයෙහි දී භූමිකම්පාවක් නිසා විනාශ වී ගියේය. නැවත ගොඩනංවනු ලැබූ මේ නගරය හිටයිට්වරුන්ගේ ආධිපත්‍යයට යටත් විය. දෙවන රැම්සීස් (ක්‍රි.පූ. 1301-1234 පමණ) රජුගේ කාලයෙහි නැවතත් මිසරයේ ප්‍රදේශ රාජ්‍යයක්ව පැවත අනතුරුව පරතෙරින් ආ සතුරන්ගේ ප්‍රහාරයට ලක් වූ ඌගාරීට් නගරය ක්‍රි.පූ. 12 වන සියවසෙන් පසු පරිහානියට පත් විය.

ඌගාරීට් නගරය වටිනා පුරාවස්තුවලින් ගහනය. නෂ්ටාවශේෂ අතර බාල් හා දාගොන් නමැති දේවතාවන් සඳහා ගොඩනඟන ලද දේව මන්දිර දෙක හා ඒ අතර පිහිටි පුස්තකාල ගොඩනැඟිල්ල ද ඉතා වැදගත්ය. කූඤ්ඤකාර (cuneiform) අකුරු කෙටූ මැටිපුවරු සිය ගණනක් පුස්තකාලයේ නටබුන් අතර තිබී සොයාගන්නා ලදි. හේබ්‍රෙව් සහ ෆිනීෂන් භාෂාවලට සබඳකම් දක්වන සෙමිටික් භාෂාවකින් ලියන ලද මෙම පුවරු පුස්තකාලයේ තුබූ ග්‍රන්ථ වශයෙන් සලකනු ලැබේ. ඌගාරීට් ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ හෙයින් එම භාෂාව ඌගාරිටික් (Ugaritic) යනුවෙන් හැඳින්විණ. ඌගාරීට් පුරාවස්තු අතර තුබූ ප්‍රතිමා, මැටිබඳුන්, ස්වර්ණාභරණ, ඇත්දත් භාණ්ඩ හා ලෝකඩ භාණ්ඩ ආදිය බොහෝය. මේවා ක්‍රි.පූ. 20 වන ශතවර්ෂ කාලයට පමණ අයත් යයි සලකනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌගාරීට්&oldid=10451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි