ඌන්ටර්වාල්ඩන්
සිංහල විශ්වකෝෂය වෙතින්
(උන්ටර්වාල්ඩන්). ස්විට්සර්ලන්තයට අයත් කැන්ටන් පළාතකි. 1291 දී ස්විට්සර්ලන්ත සමූහාණ්ඩු සන්ධානය පිහිටුවීමට එක්සත් වූ පැරණි ම පළාත්වලින් එකකි. මෙය නීට්වාල්ඩන් සහ ඕප්වාල්ඩන් යනුවෙන් ප්රදේශ දෙකකට බෙදී ඇත්තේය. ෂ්ටාන්ස් නගරය නීට්වාල්ඩන් ප්රදේශයේ අගනුවරය. සාර්නන් නගරය ඕප්වාල්ඩන් ප්රදේශයේ අගනුවරයි. නීට්වාල්ඩන් ප්රදේශය කෝරළ 11කින් ද ඕප්වාල්ඩන් ප්රදේශය කෝරළ 7කින් ද යුක්තය. මේ අර්ධ ප්රදේශයන් පාලනය කෙරෙනුයේ ද වෙන වෙන මය.
ඌන්ටර්වාල්ඩන් පළාතේ ජනගහනය (1960) 45,323කි. විශාලත්වය ව.සැ. 295ක් වූ මෙහි ව.සැ.5ක් ග්ලැසියරවලින් ද වැසී තිබේ. ජර්මන් බස කතා කරන ඌන්ටර්වාල්ඩන් වාසීන්ගේ ජීවනෝපාය වූකලි පශු පාලනය සහ ගොවිකර්මාන්තයයි.
(සංස්කරණය: 1974)