ඌන සංවර්ධිත අර්ථ ක්‍රමය
ඌන සංවර්ධිත රටකට ආවේණික වූ සාමාන්‍ය ආර්ථීක ලක්ෂණ කවරේ දැයි ඉඳුරා දක්වා ලීම පහසු නොවේ. ඌන සංවර්ධිත රටවල් වෙනස්කම් රැසකින් යුක්ත වීම මෙන් ම සාමාන්‍යයෙන් දිළිඳු රටවල් මේ මේ යයි සිතියමකින් දැක්වීම දුෂ්කර වීම ද මීට හේතු වේ. වාර්ෂික ප්‍රතිශීර්ෂ ආදායම රුපියල් පන්දහසකට අධික වූ රටවල් සංවර්ධනය වූ රටවල් ලෙසත් ඊට අඩු ආදායම් ලබන රටවල් ඌන සංවර්ධිත ඒවා ලෙසත් හැඳින්විය හැකිය. මේ හැර ඌන සංවර්ධිත රටවල වඩා වැදගත් වූ ලක්ෂණ මෙසේ වර්ග කොට දැක්විය හැකිය. (1) මූලික ද්‍රව්‍ය නිෂ්පාදකයන් වීම, (2) ජනගහන පීඩනයට මුහුණ පා සිටීම, (3) ස්වාභාවික සම්පත් ඌන සංවර්ධනයෙන් පැවතීම, (4) ආර්ථික වශයෙන් නොදියුණු ජනගහනයක් වීම, (5) ප්‍රාග්ධන හිඟකම, (6) විදේශ වෙළඳාම මත ආර්ථිකය රැඳී තිබීම යනුවෙනි.
ලංකාවේ අර්ථ ක්රමයෙහි මෙම ලක්ෂණ රැසක් ම දක්නට ඇත. ප්‍රධාන අපනයන ද්‍රව්‍ය තුන වූ තේ, රබර් හා පොල් යන නිෂ්පාදන මත ආර්ථිකය රැඳී ඇති නිසා එය මූලික ද්‍රව්‍ය නිෂ්පාදකයෙක් වේ. 1945 දී දශලක්ෂ 8ක් පමණ වූ ලංකාවේ ජනගහනය 1970 දී දශලක්ෂ 12.5 පමණ දක්වා ශීඝ්‍රයෙන් වැඩි වී ඇති අතර එම ජනගහනය වාර්ෂිකව සියයට 2.2 පමණ වේගයෙන් දිගට ම ප්‍රසාරණය වෙමින් පවතී. මෙරටෙහි ප්‍රාග්ධන හිඟයක් පවතින්නාක් මෙන් ම කාර්මික අංශය පූර්ණ වර්ධනයක් කරා එළඹී ද නැත. සෑම අර්ධ දියුණු රටක ම මෙම ලක්ෂණ එක ම ප්‍රමාණයෙන් ම දක්නට නොලැබේ. අර්ධ දියුණු රටක ස්වරූපය එකහෙළා මෙම ලක්ෂණයන්ට ම සීමා වී ද නැත. අර්ධ දියුණු හෝ දියුණු වෙමින් පවතින රටවල නිෂ්පාදන ව්‍යූහය තුළ අමු ද්‍රව්‍යවලට හා ආහාර ද්‍රව්‍යවලට ප්‍රධාන තැනක් හිමි වේ. ශ්රමිජනකායයෙන් විශාල ප්‍රතිශතකයක් කෘෂිකර්මයෙහි නිරත වූ එවැනි රටක ජාතික ආදායමෙන් වැඩි කොටසක් කෘෂිකර්මය මගින් ම ලැබේ. ලංකාවේ ශ්රමිජනකායයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයෙහි නිරතව ඇති අතර ජාතික නිෂ්පාදිතයෙන් සියයට 40ක් පමණ ලැබෙන්නේ ද කෘෂිකර්මය මගිනි.
සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වැඩි සංඛ්‍යාවක් ඇති ආසියාව, අප්‍රිකාව හා මැද පෙරදිග යන පෙදෙස්වල ජනගහනයෙන් තුනෙන් දෙකොටසක සිට හතරෙන් තුන් කොටසකට වැඩි පිරිසක් ජීවනෝපාය සඳහා කෘෂිකර්මයෙහි යෙදෙති. ලොව මුළු ජනගහනයෙන් සියයට 60ක් පමණ හෙවත් කෝටි 150ක් පමණ දෙනා කෘෂිකර්මයෙන් යැපෙති. මෙයින් කෝටි 120ක් පමණ ආසියාව, අප්‍රිකාව, මධ්‍යම හා දකුණු ඇමෙරිකාව යන රටවල වන අතර යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ දියුණු වූ රටවල එම සංඛ්‍යාව කෝටි 17ක් පමණ වේ.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල ආර්ථිකය කෘෂිකාර්මික නොවූ ඛනිජ ද්‍රව්‍ය වැනි මූලික ද්‍රව්‍ය නිෂ්පාදන මත ද විශාල ලෙස රැඳී පවතී. ලෝකයේ ටින්, ඇලුමිනියම්, තඹ, මැංගනීස් හා පැට්‍රෝල් වැනි නිෂ්පාදනවලින් විශාල ප්‍රමාණයක් මේ රටවල නිපදවනු ලැබේ. සාපේක්ෂ ලෙස බලන කල ඌන සංවර්ධිත රටවල ඇති නිෂ්පාදන සාධක ශ්‍රම සූක්ෂ්ම හෝ භූමි සූක්ෂ්ම වූ මූලික ද්‍රව්‍ය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයකට සාමාන්‍යයෙන් හිතකර හෙයින් එම රටවල් මූලික ද්‍රව්‍ය නිෂ්පාදනයෙහි නියැළිව සිටීමට හේතුව පහසුවෙන් වටහා ගත හැකිය. බොහෝ අවස්ථාවල දී මෙම විශේෂ ප්රාගුණ්යය මූලික ද්‍රව්‍ය දෙක තුනකට සීමා වේ. නිදසුන් ලෙස ලංකාවේ තේ, රබර් හා පොල් ද ඉන්දුනීසියාවේ රබර්, ටින් හා ඛනිජ තෙල් ද, මලයාසියාවේ රබර්, ටින් හා තෙල් සඳහා තල් ද පකිස්තානයේ ජූට් හා කපු ද විශේෂ ප්‍රාගුණ්‍යයට පාත්‍ර වී ඇත. මෙම රටවල් රැසක ම කර්මාන්ත ඇතත් ඉන් වැඩි කොටසක් කෘෂිකාර්මික නිෂ්පාදිත සකස් කිරීම, කෘෂිකර්මය සඳහා අවශ්‍ය උපකරණ නිෂ්පාදනය හා රෙදිපිළී හෝ සැහැල්ලු කාර්මික පාරිභෝගික භාණ්ඩ තැනීම ආදියට සීමා වේ. අනික් අතට කාර්මික නිෂ්පාදනවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සාම්ප්‍රදායික ගෘහ කර්මාන්ත ද වේ.
අඩු ප්‍රතිශීර්ෂ ආදායමක් ඇති අනිකුත් බොහෝ රටවල මෙන් ලංකාවේ ද නිමැවුමෙන් විශාල ප්‍රමාණයක් ගෙදර දොරේ පාවිච්චිය සඳහා වෙන්වන අතර නිෂ්පාදිතයෙන් වැඩි කොටසක් කෘෂිකාර්මික අංශයෙන් බිහි වේ. ඌන සංවර්ධිත රටවල් වැඩිපුර ම මූලික ද්‍රව්‍ය නිෂ්පාදකයන් වන්නාක් මෙන් ම මෙම ද්‍රව්‍යයන් විදේශවල අලෙවිය සඳහා ඉදිරිපත් කෙරෙන නිසා ඒවා විදේශ වෙළෙඳාම මත රැඳීම සැලකිය යුතු වේ. ඌන සංවර්ධිත රටකට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් සැලකිය යුතු ප්‍රමාණයක් කෘෂිකාර්මික අපනයන මගින් ලැබූ ඉපයීම් වැය කිරීම මගින් ආනයනය කිරීමට සිදු වේ. ලංකාවේ අර්ථ ක්‍රමය වැවිලි කර්මාන්ත මත රැඳී ඇතත් එයට අවශ්‍ය ප්‍රධාන ආහාර ද්‍රව්‍ය රැසක් ම ආනයනය කිරීමට සිදු වී ඇත. වැවිලි නිෂ්පාදිත අපනයනය මගින් ලැබෙන ඉපයීම්වලින් මේ සඳහා ගෙවිය යුතුය.
සංවර්ධනය වෙමින් පවතින රටවල අර්ථ ක්‍රම විශාල වශයෙන් භූමිය මත පදනම් වී ඇති නිසා ඉඩම් බුත්ති ක්‍රමය වැදගත් සාධකයක් වේ. මෙම රටවල් රැසක ම ඉඩම් විෂම ලෙස බෙදී ගොස් ඇත. බොහෝ විට ඉඩම් ප්‍රමාණයෙන් වැඩි කොටසක් ස්වල්ප දෙනකු අතෙහි වේ. ඉනුත් බොහෝ ඉඩම් හිමියෝ භූමියෙන් බැහැරව සිටිති. සමහර අවස්ථාවල දී ඉඩම් හිමි ගොවීන් දැකිය හැකි වුවත් බොහෝ දුරට අඳ බුත්ති ක්‍රමය කැපී පෙනෙන ලක්ෂණයක් වේ. මෙකී රටවල ඉඩම් බුත්ති ක්‍රමවලින් වැඩි කොටසක් චාරිත්‍රවාරිත්‍රවලින් බැඳී ඇතිවාක් මෙන් ම ඉඩම් හිමියා සහ අඳ ගොවියා අතර වගකීම් හා අයිතිවාසිකම් පැහැදිලිව තේරී බේරී නැති අඩක් රදල ක්රමයක ස්වරූපය දරයි. ලංකාවේ කුඹුරු ඉඩම්වලින් සියයට 65ක් පමණ ගොවීන් සතුය. ඉතිරි සියයට 35 අඳ ක්‍රමයට වගා වෙයි. වැවිලි වගා කළ වතු ප්‍රධාන කොට ම විශාල සමාගම් හෝ පුද්ගලයන් සතුව පවතී. වතු ඉඩම්වලින් හා ගොවීන්ගේ කුඹුරුවලින් එක් අන්තයකට ඉතා විශාල වූත් අනික් අන්තයට ඉතා කුඩා වූත් ඉඩම් හිමිකම පිළිබඳ නිදසුන් දැකිය හැකිය. ඉතාමත් කුඩා වූ ඉඩම් ඒකකවල ගොවීහු වගා කරති. ලංකාවේ මෙම ඒකකයක විශාලත්වය අක්කර 1/2කටත් අඩු වේ. මූලිකව අපනයනය සඳහා වූ වෙළඳ බෝග වර්ග විශාල වතුවල වගා කෙරෙන අතර ගොවීන් විසින් ප්‍රධාන කොට යැපීම සඳහා වූ බෝග වගා කරනු ලැබේ.
ලංකාව වැනි ඌන සංවර්ධිත රටක කෘෂිකාර්මික අංශය විශේෂ තැනක් දරන නිසා ශ්රමිජනකාය අතුරින් කෘෂිකාර්මික අංශයෙහි නිරත වූ කොටස සංවර්ධිත රටවල මුළු නිෂ්පාදිතයෙහි නිරත වූ එම කොටසෙහි අනුපාතයට වඩා වැඩි වේ. එමෙන් ම ඌන සංවර්ධිත රටවල කෘෂිකාර්මික අංශයෙහි ඒකශ්රමික නිෂ්පාදිතය, දියුණු රටවල ඒකශ්රමික නිෂ්පාදිතයට වඩා සාපේක්ෂ වශයෙන් අඩු වේ. සංවර්ධනය වෙමින් පවතින රටවල නොදියුණු ස්වරූපය කෘෂිකාර්මික නොවූ අංශයට වඩා කෘෂිකාර්මික අංශය තුළ කැපී පෙනෙන බව මෙයින් පැහැදිලි වේ. ලංකාව නිදසුනක් ලෙස ගෙන බලතහොත් අද පවා පෙනී යන කරුණක් නම් නිෂ්පාදනය හා ශිල්පීක්‍රම අනුව සලකන විට නිෂ්පාදන කර්මාන්තවලට වඩා කෘෂිකාර්මික අංශය ඉතාමත් පසු බැස ඇති තත්ත්වයක පවතින බවයි. අනික් අතින් දියුණු වූ රටක නිෂ්පාදනයෙහි ලා දියුණු ශිල්පීක්‍රම සහ වඩා හොඳ යෙදුම් (inputs) උපයෝගී කොට ගැනීම නිසා කෘෂිකර්මයෙහි යොදාගනු ලබන ශ්‍රමි සංඛ්‍යාව අඩුය. අර්ධ දියුණු රටවල කෘෂිකාර්මික අංශයෙහි ඒකශ්රමික නිෂ්පාදිතය නිරපේක්ෂව හා සාපේක්ෂව යන දෙයාකාරයෙන් ම රටේ මුළු ඒකශ්රමික නිෂ්පාදිතයට වඩා අඩුවීමට තවත් හේතුවක් නම් අහිතකර වූ ඉඩම්- ශ්‍රම අනුපාතිකයක් වීමයි. වඩා උසස් වූ ශිල්පීක්‍රම යෙදිය හැකි ආර්ථික ඉඩම් ඒකක නොවීම ලංකාවේ විශාල දුර්වලතාවකි.
සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහන පීඩනය ග්‍රාමීය ඌන සේවා නියුක්තියට තුඩු දී ඇත. ඉහළ උත්පත්ති අනුපාතිකය නිසා වැඩිහිටියකුට අනුපාතිකව වැටෙන යැපෙන්නන්ගේ සංඛ්‍යාව වැඩි වන අතර මරණ අනුපාතිකය පහළ වැටීමත් උත්පත්ති අනුපාතිකය ඉහළ යාමත් නිසා ජනගහනයේ වැඩීම ශීඝ්‍ර කරනු ලැබේ. පසුගිය දශක දෙක තුළ දී ලංකාවේ ජනගහනයේ වැඩීම 1950 දී සියයට 3 සිට 1970 දී සියයට 2.2 දක්වා ක්‍රමයෙන් පහළ වැටී ඇත. දියුණු රටක නම් ජනගහනයේ වැඩීම සියයට 30ක පමණ ප්‍රමාණයකින් පහළ යාමක් මගින් ජීවන තත්ත්වයේ සෑහෙන උසස් වීමකට ඉඩ තිබේ. එහෙත් ලංකාවේ ජනගහනය වැඩිවීමේ වේගය පහළ ගියේ ජීවන තත්ත්වය උසස් වීමට පෙරය. ලංකාවේ ඌන සේවා නියුක්තිය පිළිබඳව ක්රමානුකූල ඇස්තමේන්තු නොමැති වුව ද, 1969 දී 300,000ක් පමණ සේවා වියුක්තියෙහි වූ බව ද එයට සමාන ප්‍රමාණයක් ඌන සේවා නියුක්තියෙහි වූ බව ද දළ වශයෙන් දැක්විය හැකිය. සංවර්ධන නයින් බලන කල්හි මෙම ජනගහන උපනතීන් මගින් පෙනී යන්නේ ශ්‍රමය වඩා සුලබ වූ සාධකයක් බවට පත්වෙමින් ඇති බවත්, ශ්‍රම සැපයුම ඒ සඳහා ඇති ඉල්ලුමට වඩා වැඩිව පවතින බවත්ය. මේ නිසා අර්ධ දියුණු රටක ශ්‍රමයේ ඵලදායිතාව නොසැලකිය යුතු තරම් කුඩා වූවක් හෝ ඇතැම් විට ශූන්‍ය වූවක් වේ. ඌන සේවා නියුක්ති ලක්ෂණය බොහෝ විට දක්නට ලැබෙන්නේ කෘෂිකර්මාන්තයෙහි හා සේවා අංශයෙහිය. නිදසුනක් වශයෙන්, පුද්ගලයන් දෙදෙනකු මගින් සකස් කළ හැකි ඉඩමක් සකස් කිරීම සඳහා පුද්ගලයෝ තිදෙනෙක් නිරත වෙත් නම් එයින් දෙදෙනකු පූර්ණ සේවා නියුක්තියෙහි වන අතර ඉතිරි තැනැත්තා ඌන සේවා නියුක්ති තත්ත්වයක් නියෝජනය කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහන රටා පිළිබඳ තවත් ලක්ෂණයක් නම් මුළු ජනගහනයෙන් ඉහළ අනුපාතිකයක් ළාබාල වයස්කරුවන් වීමත්, ජීවිත අපේක්ෂාව පහළ මට්ටමක වීමත්ය. නිදසුනක් වශයෙන්, ජනගහනයෙන් අවුරුදු 15ට අඩු වයස්කාර අයගේ ගණන ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමෙරිකාව යන රටවල සියයට 40ක් ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ හා එක්සත් රාජධානියෙහි සියයට 25ක් පමණ ද වේ. අලුත උපන් ළදරුවන්ගේ ජීවිත අපේක්ෂාව එක්සත් ජනපදයෙහි අවුරුදු 66ක් ද, කැනඩාවෙහි අවුරුදු 69ක් ද නෝර්වේහි අවුරුදු 72ක් ද වන නමුත් ආසියාව, මැද පෙරදිග හා ලතින් ඇමෙරිකාව යන රටවල එය අවුරුදු 35ක් පමණ වූ ඉතා පහළ මට්ටමක වේ. මේ රටවල සාමාන්‍ය ජනසංඛ්‍යා ව්‍යාප්තිය ද විශාල වේ. 1965 දී ලංකාවේ වර්ග කිලෝමීටරයකට වූ සාමාන්‍ය ජන සංඛ්‍යා ව්‍යාප්තිය 160 දෙනකු වූ අතර දකුණු කොරියාවේ 326 දෙනකු ද ඉන්දියාවේ 140 දෙනකු ද පෝටෝ රීකෝහි 265 දෙනකු ද වූ බව වාර්තා වී ඇත. අධික ජනගහනය කරණකොටගෙන ප්‍රයෝජන ගැනීමට ඇත්තා වූ සම්පත් හා භූමි ප්‍රමාණය කෙරෙහි අධික පීඩනයක් ඇති වේ. පහත් නිමැවුම් මට්ටම මගින් මෙම ප්රශ්නය වඩාත් උග්‍ර කෙරේ.
දිළිඳු රටවල සංවර්ධනය නොවූ ස්වාභාවික සම්පත් ඇති නිසා ඒවා අසංවර්ධිත රටවල් ලෙස හඳුන්වනු ලැබේ. එහෙත් ඇතැම් රටවල ස්වාභාවික සම්පත් හීන නිසා ම ඒවා නොදියුණු තත්ත්වයක වෙයි. අනුපූරක වූ ස්වාභාවික සම්පත් ප්‍රයෝජනයට ගන්නා තුරු ශ්‍රමය හා ප්රාග්ධනය මගින් ජාතික ආදයම වැඩි කිරීම සඳහා කළ හැකි සේවය සීමිත වේ. එවැනි අවස්ථාවල දී සංවර්ධනය සඳහා හුදෙක් ප්රාග්ධනය වැඩි කරලීමට වඩා බෙහෙවින් වැඩිමනත් වූ පරිශ්‍රමයක් දැරිය යුතු වේ. වර්තමානයෙහි සම්පත් අතින් දිළිඳු වූ අර්ධ දියුණු රටකට නව සම්පත් සොයා ගැනීම හා පවතින සම්පත් ප්‍රයෝජනයට ගැනීම මගින් අනාගතයේ දී පොහොසත් විය හැකිය. මේ නිසා ඇතැම් ඌන සංවර්ධිත රටවල් ස්වාභාවික සම්පත් අතින් ආවේණිකව ම දුර්වල තත්ත්වයක වේ යයි කීමට වඩා ඒවා ශිල්පීය, සමාජීය හා ආර්ථීක සංවිධානය දියුණු කර ගැනීම මඟින් ස්වාභාවික සම්පත් හිඟකම අභිභවා නැති නිසා දුප්පත්ව පවතී යයි කීම වඩා යෝග්‍ය වේ.
(කර්තෘ: එච්.ඇන්.ඇස්. කරුණාතිලක)
(සංස්කරණය: 1974)