ඌරල
(බිම්තල්) (සික්ලමෙන් පෙර්සිකුම් - Cyclamen persicum Mill). ආකන්දි පැළෑටියකි. ආකන්දය ලොකුය. එහි පිට පැත්ත වල්ක සහිතය. කොළ තරමක් අණ්ඩාකාරය. ඒවායේ දාර සභංග-දන්තුරය (crenate-dentate). කොළ සාමාන්‍යයෙන් සුදු පැල්ලම් සහිතය; වෛවර්ණය (variegated). පූදණ්ඩ (scape) අඟල් 6 සිට 8 දක්වා උසය. මල් සුදු හෝ රෝසපාටය. මුකුට මුඛය තද දම්පාටය. මලක් අඟල් 12ක් පමණ දිගය; සුවඳක් නැත. ඵලය සුදුපාට හෝ රෝස පාට ස්ඵෝටිකාවකි.
මේ ශාකය දක්නට ලැබෙන්නේ මධ්‍යධරණී හා මධ්‍ය යුරෝපීය ප්‍රදේශවලය. පිටරටවලින් ගෙනැවිත් ඉන්දියාවේ හා ලංකාවේ කඳුකර ප්‍රදේශවල මේ ශාකය වවනු ලැබේ. ගිගන්ටෙයුම් (var. giganteum) නමින් හැඳින්වෙන මේ ශාකයේ එක් ප්‍රභේදයක ඉතා ලොකු මල් තිබේ.
ඌරල ප්‍රිමුලාසේ (Primulaceae) කුලයට අයත්ය.
ආයුර්වේද මතය
බිම්තල් යන නමින් හඳුන්වනු ලබන කුඩා පැළෑටියට ඌරල යයි ද ව්‍යවහාර කරනු ලැබේ. තල් කොළයක හැඩහුරුකම් ඇති කොළ සහිත මේ පැළෑටියට සංස්කෘතයෙන් තාලමූල, වරාහකන්ද (ඌරු අල) යයි නම් කෙරේ. මේ පැළෑටියේ මුල සම්පූර්ණ අලයකි. අඟලක් පමණ වටය ඇති මේ අල පිටිවලින් ගහනයි. බිම්තල් අල ශුක්‍රමේහයට ප්‍රශස්ත බෙහෙතකි. වාජීකරණ සහ රසායන යෝගවලට බිම්තල් අල බෙහෙවින් ම ව්‍යවහාර කරනු ලැබේ. බිම්තල් වාතරක්තයට ද ගුණදායී වනෞෂධයකි. දේශීය චිකිත්සාවෙහි බිම්තල් යොදා සාදන අරිෂ්ට, චූර්ණ ආදිය ද ඇත. කළු සුදු වශයෙන් ඌරල දෙවැදෑරුම්ය. කළු බිම්තල් ගුණාධික වෙයි; රසායනයි. සුදු බිම්තල් අල්ප ගුණ ඇත්තේය. ප්‍රමේහයට ද මුඛ කාන්තිකරණයට ද කර්ණරෝගාදියට ද වෙනත් ඖෂධ වර්ග සමඟ බිම්තල් අල යොදනු ලැබේ.
(සංස්කරණය: 1974)