ඌෂ්මක

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Furnaces). ද්‍රව්‍යයක් ක්‍රමවත්ව රත් කිරීම සඳහා තාපය නිපැදවිය හැකි හෝ නිපදවන ලද තාපය යෙදිය හැකි හෝ සංවෘත කුටි ඌෂ්මක නමින් හැඳින්වේ. ගෙදරදොරේ අවශ්‍යතාවන් සඳහා උෂ්ණත්වය ක්‍රමවත්ව තබාගැනීමට ද, ලෝහ ශෝධනයට ද, ලෝහවල හා මිශ්‍ර ලෝහවල රත්පිළියම සඳහා ද, ද්‍රව්‍ය පිලිස්සීමට හා කරකිරීමට ද යනාදි වශයෙන් විවිධ අවශ්‍යතා සඳහා ඌෂ්මක යොදාගනු ලැබේ. මෙහි දී ලෝහ ශෝධනය මූලික කොට ඇති කාර්මික අවශ්‍යතා සඳහා යොදාගනු ලබන ඌෂ්මක සලකා බලමු.

ඉන්ධනවල ගැබ් වී ඇති රසායනික ශක්තිය ඌෂ්මකය තුළ දී තාප ශක්තියට පරිවර්තනය කරනු ලැබේ. මෙම තාප ශක්තියෙන් උපරිම ප්‍රයෝජනය ලබාගත හැකි වන අයුරු ඌෂ්මකය නිර්මාණය කරනු ලැබේ. ඌෂ්මකය තුළ තාපය ඉපදවීම සඳහා ඝන, ද්‍රව හෝ වායු ඉන්ධන ද විද්‍යුතය ද (විද්‍යුත් ඌෂ්මක බ.) සූර්ය රශ්මිය ද (සූර්‍ය්‍ය ඌෂ්මක බ.) උපයෝගී කරගත හැකිය. පසුගිය ශතවර්ෂ කීපය තුළ දී ඌෂ්මකවල යොදන ලද ප්‍රධාන ඉන්ධන ද්‍රව්‍යය වශයෙන් ගල් අඟුරු හෝ ගල් අඟුරු නිෂ්පාදන හෝ භාවිතා කළ ද, ක්‍රමයෙන් ගල් අඟුරුවල මිල ඉහළ යාම නිසා ද, පරිහරණය කිරීමේ දී යෙදිය යුතු අධික ශ්‍රමය නිසා ද, ඌෂ්මකවල යොදන ඉන්ධනයක් වශයෙන් ගල්අඟුරුවල ඇති වැදගත්කම ක්‍රමයෙන් හීන වේගන යේ. ඒ වෙනුවට ද්‍රව ඉන්ධන හා වායු ඉන්ධන බොහෝ කොට යොදනු ලැබේ. ද්‍රව ඉන්ධන අතුරින් ඝන තෙල් (heavy oil) වර්ග ඉතා අඩු මිලකට ලබා ගත හැකි වුවත් ඒවා දාහකවලට ගමන් කරවීම සඳහා පහසුවෙන් චලනය විය හැකි තත්ත්වයට ගෙන ඒමට රත් කිරීම අවශ්‍ය වේ. ඒ නිසා ඌෂ්මකයට සහායක උපකරණ ද යෙදිය යුතු හෙයින් විශාල ඌෂ්මකවල පමණක් ඝන තෙල් වර්ග යොදාගනු ලැබේ. ඌෂ්මකවල වායු ඉන්ධන යෙදීම කෙරෙහි දැනට විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබේ. ඌෂ්මකය තුළ පහසුවෙන් අවශ්‍යතාවට අනුව ඔක්සිකරණ හෝ ඔක්සිහරණ වායුගෝලයක් ඇතිකිරීමට හැකි වීම ද තාපය පාලනය කිරීමට හැකි වීම ද මෙහි ඇති විශේෂ වාසි වේ.

ඌෂ්මකය තුළ ඉන්ධන දහනයෙන් හා රසායනික ප්‍රතික්‍රියාවලින් ලැබෙන වායු අතර CO2, CO, H2, O2 හා N2 ප්‍රධාන තැනක් ගනී. ඉන්ධන සම්පූර්ණයෙන් ම දහනය වීමට අවශ්‍ය වාතය ඌෂ්මකය තුළ නොතිබීම නිසා අසම්පූර්ණ දහනයෙන් ඇතිවන CO හා H2 ඌෂ්මකය තුළ බහුලව ඇති විට ඌෂ්මකය තුළ ඇති වායුගෝලය ඔක්සිහරණ වායුගෝලයක් හඳුන්වනු ලැබේ. ඌෂ්මකය තුළ නියම ප්‍රමාණයට වාතය ඇත්නම්, ඉන්ධන සම්පූර්ණයෙන් ම දහනය වීම නිසා ප්‍රතික්‍රියා වායුගෝලයේ ඇති වන්නේ N2 හා CO2 පමණි. එවිට ඌෂ්මකය තුළ ඇති වායුගෝලය උදාසීන එකකි. ඌෂ්මකය තුළ වැඩිපුර වාතය ඇති විට ප්‍රතික්‍රියා වායුගෝලයේ වැඩිපුර ප්‍රමාණයක් ඔක්සිජන් ඉතිරි වන නිසා වායුගෝලය ඔක්සිකරණ එකක් වේ. ඌෂ්මකය තුළ ඇති අධික උෂ්ණත්වයේ දී බොහෝ ද්‍රව්‍ය CO2 මගින් ද ඔක්සිකරණය වේ. මෙය වැළැක්වීම සඳහා එවැනි විශේෂ අවස්ථාවල දී ඌෂ්මකය තුළ ආරක්ෂක වායුගෝලයක් ඇති කරනු ලැබේ. ආරක්ෂක වායු නිපැදවීමේ දී සාමාන්‍යයෙන් නිකල් උත්ප්‍රේරකයක් ඇති විට හයිඩ්‍රොකාබන් දහනය කරනු ලැබේ. දහනයෙන් ලැබෙන වායුවල ඇති ජල වාෂ්ප, CO2 හා වෙනත් අනවශ්‍ය වායු සිසිල් කිරීමෙන් හෝ අවශෝෂණය කිරීමෙන් හෝ ඉවත් කළ හැකිය. මෙම ආරක්ෂක වායුවල ප්‍රධාන සංඝටකය N2 ය.

ඌෂ්මකයක් නිර්මාණය කරනු ලබන අධික උෂ්ණත්වයට හා ඌෂ්මකය තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන්ට ඔරොත්තු දෙන ආකාරයේ ද්‍රව්‍යයකින් ඌෂ්මකය ඇතුළත කොටස තැනිය යුතුය. එහෙයින් බොහෝ ඌෂ්මක වානෙන් හෝ ගඩොලින් තනා ඒ ඇතුළත තාපසහ (refractory) ද්‍රව්‍ය ඇතුරුමකින් ආවරණය කරනු ලැබේ. තාපසහ ද්‍රව්‍ය යනු උෂ්ණත්ව විපර්යාසයන්ට ඔරොත්තු දෙන, ඉහළ උෂ්ණත්වවල දී ප්‍රමාණයේ හෝ ස්වභාවයේ හෝ භෞතික ගුණවල හෝ වෙනස්වීම් ඇති නොවන ද්‍රව්‍යයි. මේ සඳහා ගිනිමැටි, සිලිකා, කෙඔලින්, ඩයස්පෝර් (diaspore) ඇලුමිනා වැනි ද්‍රව්‍ය බහුලව යොදාගනිත්. ඌෂ්මකවල ඇතිරීම සඳහා මෙම තාපසහ ද්‍රව්‍ය ගඩොල් වශයෙන් ද තනනු ලැබේ (ගිනි ගඩොල් බ.). ඌෂ්මකය තුළ රසායනික ප්‍රතික්‍රියා මගින් ද්‍රව ලෝහ නිපැදවෙන කොටස්වල යෙදෙන තාපසහ ද්‍රව්‍ය එම ප්‍රතික්‍රියාවලට සහභාගී නොවන ඒවා විය යුතුය. නැතහොත් ඇතුරුම ඉක්මනින් ම ඛාදනය වේ. එහෙයින් ඒ ඒ අවස්ථාවට ගැළපෙන අයුරු ආම්ලික, භාස්මික හෝ උදාසීන තාපසහ ද්‍රව්‍යවලින් තනන ලද ඇතුරුම් කාර්මික අවශ්‍යතා සඳහා යොදාගනින්. ලෝහ ශෝධනයේ දී ලැබෙන ආම්ලික බොර දරාගැනීමට ගිනිමැටි, සිලිකා හා ගැනිස්ටර (ganister) වැනි ද්‍රව්‍ය ද, භාස්මික බොර දරා ගැනීම සඳහා මැග්නසයිට්, ඩොලමයිට් හා ඇලුමිනා වැනි ද්‍රව්‍ය ද යොදාගනිත්. ඌෂ්මක තුළ උදාසීන ඇතුරුමක් අවශ්‍ය කල්හි ක්‍රෝමයිට්, සිලිකන් කාබයිඩ් හෝ කාබන් වැනි ද්‍රව්‍ය ඒ සඳහා යෝග්‍යය. එහෙත් කාබන් ඇතුරුමක් යොදන විට ඒ ඇතුරුම අවට වායුගෝලය ඔක්සිහරණ එකක් විය යුතුය.

නිරන්තරයෙන් ම ඌෂ්මක තුළට ද්‍රව්‍ය යෙදීමේ දී හා ඌෂ්මක තුළින් ද්‍රව්‍ය ඉවත් කිරීමේ දී ශ්‍රමය ඉතිරි කරගැනීම සඳහා ද, වඩා ඉක්මනින් කිරීම සඳහා ද, විවිධ යාන්ත්‍රික උපක්‍රම යොදාගනු ලැබේ. ඌෂ්මකයේ ප්‍රමාණය හා උෂ්ණත්වය ද පැටවුමේ (load) ප්‍රමාණය ද ඌෂ්මකය රත් කරන ක්‍රමය හා යොදන ඉන්ධනවල ස්වභාවය ද‍ ඌෂ්මකය නිර්මාණය කිරීම සඳහා යෙදෙන මූලික වියදම ද යනාදි සාධක මත මෙම යාන්ත්‍රික උපක්‍රම සැලසුම් කිරීම රඳා පවතී. පොදුවේ පීලි මත දුවන ට්‍රොලි, භ්‍රමණ ඌෂ්මක, දාම සම්ප්‍රාපක (chain conveyers), විවිධ පටි උපක්‍රම යනාදි ක්‍රම යොදා ගනු ලැබේ. මෙම උපක්‍රමවල අවයව තාප ප්‍රතිරෝධ මිශ්‍ර ලෝහවලින් තනනු ලැබේ. මෙම මිශ්‍ර ලෝහවල ක්‍රෝමියම් හා නිකල් විශේෂයෙන් අඩංගු වේ. කාර්මික ඌෂ්මක ක්‍රියා විරහිතවීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඌෂ්මකයේ නියමිත පැටවුම් ප්‍රමාණයට වඩා අධික පැටවුම් ප්‍රමාණයක් ඌෂ්මකයට යෙදීමයි. මේ නිසා අවශ්‍ය ප්‍රතිදානය ලබාගැනීමට ඌෂ්මකය ක්‍රියා කරවිය යුතු උෂ්ණත්වය නිර්මාණය කොට ඇති උෂ්ණත්වයට වඩා ඉහළ නැඟීමත්, ඒ නිසා, ඌෂ්මකයේ සහ සහායක උපකරණවල කොටස් ඔක්සිකරණයෙන් ඛාදනය වීමත්, ඒ ඒ කොටස් ඇදගැහීම හා ඌෂ්මකයේ කොටස් මත දරාගත නොහැකි තරම් ප්‍රත්‍යාබලයක් (stress) ඇතිවීමත් යනාදි හේතු නිසා ඌෂ්මකය ක්‍රියා විරහිත වේ.

අභ්‍යන්තර පිළියෙල කිරීම අතින් ද ප්‍රමාණයෙන් හා ස්වභාවයෙන් ද ලෝහ ශෝධනය මුල්කොට ඇති කාර්මික ඌෂ්මක විවිධාකාර වුවත් පුළුල් ලෙස බලන කල එවැනි ඌෂ්මකයක් ප්‍රධාන වශයෙන් දහන කුටීරයකින් හා උදුනකින් සමන්විත වේ. දහන කුටීරය තුළ ඉන්ධන දහනය කරනු ලැබේ. ඒ නිසා ඉන්ධනවල ගැබ් වී ඇති රසායනික ශක්තිය දහන කුටීරයේ දී තාප ශක්තියට පරිවර්තනය වේ. මේ සඳහා ඔක්සිජන් අවශ්‍යය. මෙය ලබාගනුයේ වාතයෙනි. දහන කුටීරයට වාතය ඇතුළු කිරීම සඳහා කෘත ප්‍රවාහ ක්‍රමය හෝ ස්වාභාවික ප්‍රවාහ ක්‍රමය හෝ යොදාගනු ලැබේ. කෘත ප්‍රවාහ ක්‍රමයේ දී යාන්ත්‍රික උපක්‍රමයක් යොදා අධිපීඩනය යටතේ ඇති වායුව දහන කුටීරයට ඇතුළු කිරීමට ද, ස්වාභාවික ප්‍රවාහ ක්‍රමයේ දී ස්වාභාවික ආකාරයට චිමිනියක් තුළින් දහන කුටීරයට වාතය ඇතුළු වීමට ද සලස්වනු ලැබේ. දහන කුටීරයෙන් ලැබෙන තාප ශක්තිය උදුනෙහි දී ප්‍රයෝජනයට ගැනේ. ලෝහ ශෝධන ඌෂ්මකවල අමු ද්‍රව්‍යවලින් ලෝභය නිපදවනුයේ මේ කොටසේ දීය. දහන කුටීරයේ නිපැදවෙන තාප ශක්තියෙන් උපරිම ප්‍රයෝජනය ගත හැකි ආකාරයට උදුන නිපදවා තිබේ. සාමාන්‍යයෙන් උදුනට චිමිනියක් ද සවිකොට තිබේ. දහන කුටීරයෙන් ලැබෙන වායු ද උදුන තුළ ලෝහ ශෝධනයේ දී සිදුවන රසායනික ප්‍රතික්‍රියාවලින් ඉවත් වන වායු ද මෙම චිමිනිය තුළින් බැහැරට ගමන් කරවනු ලැබේ. බොහෝ අවස්ථාවල දී දහන කුටීරයට ඉන්ධන ඇතුළු වීමට ප්‍රථම තවත් කුටීරයක් තුළ දී වායු අවස්ථාවට ඉන්ධන පරිවර්තනය කරනු ලැබේ. දහන කුටීරය තුළ දී වඩා පහසුවට හා සම්පූර්ණව ඉන්ධන දහනය කිරීමට අවස්ථාවක් සැලසීම මෙයින් අදහස් කෙරේ.

විවිධ ලෝහ ශෝධන ඌෂ්මක වර්ග හැඳින්වීම සඳහා යොදාගෙන ඇති වචනවල අක්‍රමවත් බව නිසා ද, විශාල ප්‍රමාණයක් ඌෂ්මක වර්ග ඇති නිසා ද, ඌෂ්මක වර්ගීකරණය ඉතා අපහසුය. එහෙත් ඌෂ්මකයේ පැටවුම (load) රත් කරනු ලබන ආකාරය අනුව ඌෂ්මක වර්ග කිරීමෙන් මේ අපහසුව තරමක් දුරට මඟහරවා ගත හැකිය.

ඌෂ්මකයක පැටවුම රත් කරනු ලබන ආකාරය අනුව ලෝහ ශෝධන ඌෂ්මක ප්‍රධාන වර්ග තුනකට බෙදනු ලැබේ. පළමු වර්ගයේ ඌෂ්මකයන්හි පැටවුම හා ඉන්ධන එකිනෙකට ස්පර්ශ වී තිබේ. මෙම ඌෂ්මක ද නැවත වරක් ස්තම්භ (shaft) ඌෂ්මක හා උද්ධන (hearth) ඌෂ්මක යනුවෙන් උප වර්ග දෙකකට බෙදිය හැකිය. දෙවන වර්ගයේ ඌෂ්මකයන්හි පැටවුම හා ඉන්ධන කෙළින් ම එකිනෙක හා ස්පර්ශ වී නොමැති නමුත් ඉන්ධන දහනයෙන් ලැබෙන රත් වායුව පැටවුම සමග ස්පර්ශ වේ. මෙම ඌෂ්මක ප්‍රතිනාදක (reverberatory) ඌෂ්මක නමින් හැඳින්වේ. ප්‍රතිනාදක ඌෂ්මක නැවත වරක් භස්මීකරණ ඌෂ්මක හා විලයන (melting) ඌෂ්මක යනුවෙන් උපවර්ග දෙකකට බෙදේ. තෙවන වර්ගයේ ඌෂ්මකයන්හි ඉන්ධන හා පැටවුම කිසි ම ආකාරයකින් සම්බන්ධ වී නොමැත. මෙම ඌෂ්මක ද ආවරක ඌෂ්මක, කෝව ඌෂ්මක හා හංසපාතී ඌෂ්මක යනුවෙන් උපවර්ග තුනකට බෙදිය හැකිය.

ස්තම්භ ඌෂ්මක

ස්තම්භ ඌෂ්මකවල මූලාරම්භය ඉතා පැරණිය. මෙම ඌෂ්මකයන්හි නෂ්ටාවශේෂ ලෝකයේ බොහෝ තැන්වල තිබී සොයාගෙන ඇත. මෙම ඌෂ්මක වර්ගයේ ලාක්ෂණික අංගය වනුයේ උස ස්තම්භයයි. ස්තම්භයේ උස සාමාන්‍යයෙන් පළල මෙන් කිහිප ගුණයකි. ස්තම්භ ඌෂ්මකයන්හි දහන කුටීරය හා උදුන එක ම ඒකකයක් වශයෙන් නිමවා තිබේ. ඒ නිසා ඉන්ධන හා පැටවුම එකට මිශ්‍ර කොට ඌෂ්මක ස්තම්භයේ ඉහළ කෙළවරින් ඇතුළු කොට ඌෂ්මකයේ පහළ කෙළවරින් ඵලය ඉවත් කළ හැකිය. දහනයට අවශ්‍ය වාතය ඌෂ්මකයේ පහළ කෙළවරින් ස්වාභාවිකව හෝ අධිපීඩනයක් යටතේ හෝ ඇතුළු වීමට සලස්වනු ලැබේ. අවශ්‍යතාව අනුව උණුසුම් වාතය ද, වායු ඉන්ධන උපයෝගී කරගන්නා කල එය ද, ඌෂ්මකයේ පහළ කෙළවර වටා ඇති වාකපොලු තුළින් ඇතුළු කරවිය හැකිය. මෙම ඌෂ්මකවල ඉන්ධන හා පැටවුම එකට ගැටී ඇති නිසා තාප හුවමාරුව ඉතා පහසුවෙන් සිදු වේ. මේ නිසා ඌෂ්මකයේ කාර්යක්ෂමතාව ඉතා ඉහළය. මෙය වාසියකි. එහෙත් උදුනෙන් ඉවත් වන රත් වායු මගින් තාප ප්‍රමාණයක් අපතේ යයි. ඌෂ්මකයට සපයන වාතය රත් කිරීම සඳහා උපයෝගීකරගැනීමෙන් සාමාන්‍යයෙන් මෙම තාපයෙන් කොටසක් නැවත ප්‍රයෝජනයට ගනු ලැබේ. මෙම ඌෂ්මකයන්හි උපයෝගී කරගනු ලබන ඝන ඉන්ධනවල අසම්පූර්ණ දහනය නිසා ලැබෙන කාබන්මොනොක්සයිඩ් මගින් ඉන්ධන ශක්තිය අපතේ යන හෙයින් ඌෂ්මකයේ කාර්යක්ෂමතාව තරමක් දුරට අඩු වේ. පෝරණු ඌෂ්මක හා ධාරා ඌෂ්මක යනුවෙන් ස්තම්භ ඌෂ්මක නැවත වර්ග දෙකකට බෙදිය හැකිය.

පෝරණු ඌෂ්මක

හුනු ගල් පිලිස්සීම, ලෝහ භස්ම කිරීම වැනි අධික උෂ්ණත්වයක් අවශ්‍ය නොවන කාර්යයන් සඳහා පෝරණු ඌෂ්මක යොදාගනු ලැබේ. පෝරණු ඌෂ්මකවල නිර්මාණය පිලිස්සීම සඳහා යොදන ද්‍රව්‍යයට ගැළපෙන අයුරු තිබිය යුතු විශේෂ අවශ්‍යතා උඩ රඳා පවතී. පෝරණු ඌෂ්මකයක අග කෙළවර ක්‍රමයෙන් සිහින් වී කේතුවක ආකාරයක් ගනී. පෝරණුවේ හරස්කඩ සාමාන්‍යයෙන් සෘජු කෝණාස්‍රාකාර, වෘත්තාකාර හෝ ඉලිප්සාකාර විය හැකිය.

බොහෝවිට ස්තම්භය සිද්ධ යකඩින් (wrought iron) තැනූ විශාල බෙර කඳකි. එහි ඇතුළත ගිනි ගඩොලින් තැනූ ඇතුරුමක් ද තිබේ. වානේ කුලුනු මගින් සවි කොට ඇති මුදුවක් මත ඌෂ්මකයේ ස්තම්භය රඳවා ඇත්තේ ස්තම්භයේ මුල් කෙළවර හා පොළව අතර විවරයක් ඇති වන අයුරුය. මෙම විවරය තුළින් අවසාන ඵලය ඉවත් කිරීම ද දහනය සඳහා අවශ්‍ය වාතය ඇතුළු කිරීම ද කළ හැකිය. ස්තම්භයේ පහළ කෙළවර ඇතුළත කේතුවක ආකාරය ගත් කූඤ්ඤයක් රුවා ඇත. මේ නිසා ඵලය මුදුවේ ගැට්ට ළඟින් ම පහළට වැටෙන හෙයින් එය එකතු කරගැනීම පහසු වේ. පිලිස්සිය යුතු ද්‍රව්‍ය ඉන්ධන හා මිශ්‍ර කොට ස්තම්භයේ උඩු කෙළවරින් ඌෂ්මකය තුළට හෙළනු ලැබේ. පිලිස්සීමේ දී ක්‍රමයෙන් මිශ්‍රණය පහළට බසී. විටින් විට ඌෂ්මකයේ උඩු කෙළවරින් අමු ද්‍රව්‍ය පිරවිය හැකි නිසා ඌෂ්මකය නිරන්තරයෙන් ම ක්‍රියා කරවිය හැකිය.

ධාරා ඌෂ්මක

ධාරා ඌෂ්මකයක් රූප සටහනේ දැක්වේ. යකඩ, තඹ, ඊයම් ආදි ලෝහවල ලෝපස් ශෝධනය වැනි අධික උෂ්ණත්වයක් අවශ්‍ය කාර්යය සඳහා ධාරා ඌෂ්මක උපයෝගී කරගනු ලැබේ. යකඩ නිපැදවීම සඳහා ගනු ලබන ඌෂ්මක අඩි 90-100ක් පමණ උසය. එහෙත් තඹ සහ ඊයම් උණුකිරීම සඳහා උපයෝගී කරගනු ලබන ධාරා ඌෂ්මක මීට වඩා ප්‍රමාණයෙන් කුඩාය. උදුන, ප්‍රවණිය (bosh) හා ස්ටැකය (stack) යන කොටස් තුනකින් ධාරා ඌෂ්මකයක් සමන්විත වේ. උදුන පිහිටා ඇත්තේ කේතුක ස්තම්භයේ පහළ කෙළවරේය. මෙම කොටස ඝන ගිනි ගඩොලින් තනා ඇත. උදුනට ඉහළින් ඇත්තේ ප්‍රවණියයි. ඌෂ්මකයේ මහතින් වැඩි ම කොටස ද එයය. එහෙත් එම කොටස පටුය. ප්‍රවණියේ පහළ කෙළවර වටා ගමන් කරන පයිප්පයකට සම්බන්ධ කොට ඇති හුළං කටවල් (tuyeres) මගින් උදුනේ ඇති වාකපොලුවලට අධිපීඩනයකින් යුතු වාතය සපයනු ලැබේ. ප්‍රවණිය තුළ ද ඝන ගිනි ගඩොල් ඇතුරුමක් තිබේ. ප්‍රවණියේ ඇති ගිනි ගඩොල් දහනයවීම වැළැක්වීම සඳහා ගඩොල් අතර නොකඩවා ජල පහරක් ගලා යැවිය හැකි අයුරු සකසා තිබේ. ගලායන ජල පහර මගින් තාපය ඉවත් කෙරෙන නිසා ගිනි ගඩොල් ආරක්ෂා වේ. ප්‍රවණියට ඉහළින් ඇති ස්තම්භයේ කොටස ස්ටැකයයි. ස්ටැකය වානෙන් නිම කොට තිබේ. එහි ඇතුළු පැත්ත ද ගිනි ගඩොල් ඇතුරුමකින් ආවරණය කොට තිබේ. ස්ටැකයේ ඉහළ කෙළවරේ ද්විත්ව ඝණ්ටාවක් සවි කොට තිබේ. ඉන්ධන හා ලෝපස්වලින් සමන්විත මිශ්‍රණය හිර වී ඇත්තේ මෙම ඝණ්ටාව මතයි. විටින් විට ද්විත්ව ඝණ්ටාව ඇරීමෙන් අමුද්‍රව්‍ය ඌෂ්මකය තුළට ඇතුළු කළ හැකිය. ඝණ්ටාව ද්විත්ව එකක් ආකාරයට තනා ඇත්තේ ඌෂ්මකයට අමු ද්‍රව්‍ය ඇතුළු කිරීමේ දී ඌෂ්මකය තුළ ඇති රත් වාතය පිටතට ඉවත්වීම වැළැක්වීම සඳහාය. බොහෝවිට ධාරා ඌෂ්මකවල ඉන්ධනය වශයෙන් කෝක් යොදාගනිත්. ඌෂ්මකයේ පහළ කෙළවරින් ඇතුළු වී ඉහළට ගමන් කරන රත් වාතය සමඟ ගැටීමේ දී කෝක් හා ලෝපස් මිශ්‍රණය රත් වේ. ස්ටැකයේ පහළට ගමන් කරන විට ක්‍රමයෙන් ඌෂ්මකයේ උෂ්ණත්වය වැඩි වන නිසා ප්‍රවණියේ පහළ කෙළවරට ක්‍රමයෙන් ළඟා වන විට ලෝපස් ලෝහයට ඔක්සිහරණය වේ. එහෙත් කෝක් ක්‍රමයෙන් රත්වෙමින් පහළට ගමන් කොට උදුන තුළට වැටේ. උදුන තුළ දී වාතය හා ගැටීමෙන් එය දහනය වේ. ප්‍රවණිය හා උදුන ආශ්‍රිත කොටස්වල උෂ්ණත්වය ඉතා අධික හෙයින් ලෝහය ද්‍රව තත්ත්වයට පත් වී‍ උදුන පතුලේ ඇති ළිඳ තුළ එකතු වේ. මෙම ද්‍රවලෝහය මතුපිට යබොර පාවේ. උදුනේ සුදුසු ස්ථානයන්හි තනා ඇති ක්‍රාණන (tapping) සිදුරු තුළින් ලෝහය හා යබොර වෙන වෙන ම ඉවත් කළ හැකිය.

උද්ධන ඌෂ්මකය

මෙම ඌෂ්මකවල උස සහ පළල දළ වශයෙන් එක හා සමාන වේ. එහෙයින් ස්තම්භ ඌෂ්මක සමග සසඳන කල්හි උද්ධාන ඌෂ්මක නොගැඹුරුය. එහෙත් ඉන්ධන හා ඉන්ධන දහනයෙන් ලැබෙන ඵල, පැටවුම සමග කෙළින් ම ස්පර්ශ වී ඇති නිසා ද, දහනය සඳහා අවශ්‍ය වාතය පීඩනය යටතේ ඌෂ්මකයට යොදන නිසා ද, මෙම ඌෂ්මක ඒ අතින් ස්තම්භ ඌෂ්මකවලට නෑකම් කියයි. නොගැඹුරු කුටීරයක් ඇතුළත ගිනිගල් ඇතුරුමක් යෙදීමෙන් ද අවශ්‍ය තැන්වල වාකපොලු ඇති කිරීමෙන් ද මේ ආකාරයේ ඌෂ්මකයක් පහසුවෙන් නිර්මාණය කළ හැකිය. දහනය සඳහා අවශ්‍ය වාතය කුඩා නළ කිහිපයක් මඟින් උදුන තුළට ඇතුළු කරනු ලැබේ. මෙම නළවල පිහිටීම සැකසීමෙන් පැටවුම මතුපිට යටිඅතට වාතය වැදීමට හෝ පැටවුමට යන්තම් යටින් තිරස් අතට වාතය වැදීමට හෝ ඉඩ සැලැස්වීමෙන් උදුන තුළ ඔක්සිකරණ හෝ ඔක්සිහරණ වාතාවරණයක් ඇති කළ හැකිය. එහෙයින් උද්ධන ඌෂ්මකවල ප්‍රායෝගික යෙදීම් සඳහා ඇති ක්ෂේත්‍රය පුළුල් වේ. ඔක්සිහරණ වාතාවරණයක් තුළ ලෝපස්වලින් සිද්ධ යකඩ නිපදවීම ද ඔක්සිකරණ හා ඔක්සිහරණ වාතාවරණයක් යටතේ ගැලීනාවලින් ඊයම් නිපදවීම ද මීට නිදසුනකි.

ප්‍රතිනාදක ඌෂ්මක

මෙම ඌෂ්මකවල ඉන්ධන දහනය කරනු ලබන්නේ වෙනම පිහිටි කුටීරයකයි. මෙම කුටීරයට යාබදව තනා ඇති උදුන තුළට දහනයෙන් ලැබෙන රත් වාතය හා ගිනි සිළුව වැදීමට සලස්වා ඇත. උදුන තුළ පැටවුම තබා ඇත. උදුන හරහා ගමන් කිරීමෙන් පසු රත් වාතය හා ගිනිසිළුව චිමිනියට ඇතුළු වේ. මෙහි දී තාප සංක්‍රමණය සිදුවන්නේ විකිරණයෙනි.

උදුන හා ඉන්ධන කුටීරය අතර ද උදුන හා චිමිනිය අතර ද කුමේර දෙකක් තිබේ. උදුනේ වහල මත හා බිත්ති මත ගිනිසිළු ගැටීම වැළැක්වීම අවශ්‍යය. නැතහොත් ඒවා ප්‍රයෝජනයට ගත හැකි කාලසීමාව අඩු වේ. එහෙයින් උදුන මතුපිට ඇති ආරුක්කු සහිත පියස්ස දහන කුටීරය ඇති ඉසව්වේ දී උසට ද ඉන් ඉවතට ගමන් කරන විට පියස්ස ක්‍රමයෙන් පහත් වන ආකාරයට ද තනා ඇත්තේ ගිනිසිළු හා රත් වාතය උදුන තුළ ප්‍රතිනාද විය හැකි අයුරිනි. ගිනි ගඩොලින් නිමවා ඇති උදුනේ දෙපැත්තේ ඇති දොරවල් තුළින් පැටවුම ඇතුළු කිරීම හා පිට කිරීම කළ හැකිය. ඌෂ්මකය උපයෝගී කර ගනු ලබන අවශ්‍යතාවට ගැළැපෙන ඌෂ්ණත්වය අනුව අඩු උෂ්ණත්ව ඌෂ්මක භස්මීකරණ ඌෂ්මක යනුවෙන් ද, ඉහළ උෂ්ණත්ව ඌෂ්මක විලයන ඌෂ්මක යනුවෙන් ද නැවත කොටස් දෙකකට බෙදිය හැකිය.

භස්මීකරණ ඌෂ්මක

අඩු උෂ්ණත්වයක් සඳහා නිර්මාණය කොට ඇති මෙම ඌෂ්මකවල පැටවුම ද්‍රව අවස්ථාවට පත් නොවන හෙයින් උදුනෙන් ඉවත් කිරීම කළ යුතු වන්නේ රේක්ක කිරීම වැනි යාන්ත්‍රික උපක්‍රමයකිනි. එහෙයින් මෙහි උදුන සමතල එකකි. මෙවැනි උදුනක සාමාන්‍ය දිග අඩි 20ක් පමණ වේ. පළල අඩි 10ක් පමණ වේ. එය යම් පුද්ගලයකු විසින් රේක්කයකින් ද්‍රව්‍ය ඉවත්කිරීමට පුළුවන් දුර ප්‍රමාණයයි. මෙම ඌෂ්මකවල ඇති පැටවුම නිතර නිතර පෙරළීම අවශ්‍යය. එක දහන කුටීරයක් සඳහා පඩි පෙළක ආකාරයට පිහිටන සේ උදුන් කිහිපයක් යෙදිය හැකිය. යාන්ත්‍රික උපක්‍රමයක් මගින් එක් උදුනකින් අනෙකට පැටවුම යාන්ත්‍රිකව ගමන් කරන අයුරු සැකසීම අවශ්‍යය. මේ අයුරු ක්‍රමයෙන් දහන කුටීරය ළඟ ම ඇති උදුනට පැමිණීමෙන් පසු පැටවුම ඉවත් කරනු ලැබේ. එක පෙළට ඇති උදුන් කිහිපයක් වෙනුවට චාපයක ආකාරයට පිහිටි උදුන් හෝ ඇලව තබා ඇති භ්‍රමණය වන සිලින්ඩරයක් තුළ ක්‍රමයෙන් පහළට තට්ටුවෙන් තට්ටුවට වැටෙන ආකාරයට සකසා ඇති උඳුන් හෝ භාවිතා කළ හැකිය.

විලයන ඌෂ්මක

ඉහළ උෂ්ණත්ව සඳහා නිර්මාණය කොට ඇති මෙම ඌෂ්මකවල ඵලය ද්‍රව තත්වයේ පවතී. එහෙයින් උදුන ගිනිගඩොලින් බේසමක හැඩයට තනා, ඒ මත තාපසහ ද්‍රව්‍යයක් ද අතුරා තිබේ. ඵලය සහ බොර ඉවත් කිරීම පිණිස ක්‍රාණන සිදුරු කීපයක් ද තිබේ. උදුනේ ද්‍රව ලෝහය තැන්පත් වී ඇති කොටස දිගු කලක් ප්‍රයෝජනයට ගත හැකි වීම පිණිස වාත ධාරාවක් මගින් සිසිල් කරනු ලැබේ.

ආවරක ඌෂ්මක, කෝව ඌෂ්මක හා හංසපාතී ඌෂ්මක

සංවෘත භාජනයකින් සමන්විත වන මෙම ඌෂ්මක ලිපක තැබීමෙන් හෝ රත් වාතය හා ගිනිසිළුව භාජනය මත වැදීමට හැරීමෙන් හෝ රත් කරනු ලැබේ. පැටවුම හා ඵලය සමග ඉන්ධන හෝ ඉන්ධන දහනයෙන් ලැබෙන ඵල හෝ නොගැටේ. සංවෘත භාජනයේ හැඩය රඳා පවතින්නේ ඌෂ්මකය උපයෝගී කරගනු ලබන අවශ්‍යතාව මතය. බොහෝ අවස්ථාවල දී කුඩා සංවෘත භාජන විශාල ප්‍රමාණයක් එක පෙළට තබා රත් කරනු ලැබේ. ඵලය හා පැටවුම ඉන්ධන දහනයෙන් ලැබෙන ඵලයෙන් වෙන් කිරීමට පමණක් අවශ්‍ය තන්හි ආවරක ඌෂ්මක ප්‍රයෝජනයට ගනු ලැබේ. ආවරක ඌෂ්මකය ගඩොලින් හෝ වෙන යම් ද්‍රව්‍යයකින් හෝ තනන ලද කුටීරයකි. එම කුටීරයේ පතුලට යටින් තනා ඇති ලිප් මගින් කුටීරය රත් කළ හැකිය. සමහර අවස්ථාවල දී කුටීරයේ බිත්තියෙහි ඔබ්බවා ඇති නළ පද්ධතියක් තුළින් වාතය ගමන් කරවීමෙන් ද ආවරක ඌෂ්මකය රත් කරනු ලැබේ.

ප්‍රධාන වශයෙන් ලෝහ වර්ග නැවත ද්‍රව කිරීම සඳහා කෝව ඌෂ්මක යොදාගනු ලැබේ. මෙහි දී කෝවක් තුළ ද්‍රව්‍යය බහා කෝව ලිපක තැබීමෙන් රත් කිරීමට පිළිවන. රසදිය හා තුත්තනාගම් වැනි ලෝහ ආසවනය කිරීමට හෝ ඌර්ධව පාතනය කිරීමට හංසපාතී ඌෂ්මක යොදාගනිත්. හංසපාතියක ආකාරයට තනා ඇති භාජනයේ දිගු කටට කොන්ඩෙන්සරයක් සවිකිරීමෙන් ආසවනය වන ද්‍රවය හෝ ද්‍රව්‍යය එකතු කරගත හැකිය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌෂ්මක&oldid=10703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි