ඌ තාන්ට්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1909-1974). එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තුන්වන මහලේකම්වරයාය.

ඌ තාන්ට් බුරුමයේ රැන්ගුන් නුවර අසල මවුබින් දිස්ත්‍රික්කයේ පන්තනව්හි උපත ලබා පන්තනව්හි ජාතික උසස් පාසලෙහි ද රැන්ගුන් විශ්වවිද්‍යාලයෙහි ද අධ්‍යාපනය ලැබුවේය. බුරුමයට නිදහස ලැබීමෙන් අනතුරුව එහි අගමැති පදවියට පත් තාකින් නු (පසුව ඌ නු) දැනහැඳින ගැනීමට මොහුට ඉඩකඩ ලැබුණේ විශ්වවිද්‍යාලයෙහි ඉගෙනීම ලබද්දීය. විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයෙන් පසු ඌ තාන්ට් තමන් මූලික අධ්‍යාපනය ලද ජාතික උසස් පාඨශාලාවේ ජ්‍යෙෂ්ඨ ගුරුවරයකු වශයෙන් ද ඉක්බිතිව එහි ප්‍රධානාචාර්යවරයා වශයෙන් ද සේවය කෙළේය. 1935 සිට ම හේ බුරුම ජනනායක ඕ සාන් (බ.) හා සමඟ එක් වී ජාතික ව්‍යාපාරයට බැඳී නිදහස උදෙසා සටන් කළේය. 1947 දී ෆැසිස්ට් විරෝධී නිදහස් ජනතා සංගමය පිහිටුවනු ලැබීමෙන් පසුව එහි ප්‍රකාශන අංශය භාරව සිටියේ මොහුය. ඌ නුගේත් ඕං සාන් ජනරාල්වරයාගේත් පෙලඹවීමෙන් රාජ්‍ය සේවයට බැඳුණු ඌ තාන්ට් 1947 දී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් ද 1949 දී ප්‍රවෘත්ති හා ගුවන් විදුලි අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද සේවය කෙළේය. 1952 සිට 1953 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බුරුම නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු වූ මොහු එම සංවිධානයේ ස්ථාවර බුරුම නියෝජිතයා බවට පත් වූයේ 1957 දීය. මෙතෙමේ 1959 දී පැවැති එක්සත් ජාතීන්ගේ 14 වෙනි සභාවාරයේ දී එහි උපසභාපතිකමට පත් කරගන්නා ලද්දේය. මෙම වකවානුවේ දී ඌ තාන්ට් විවිධ ජාත්‍යන්තර සම්මේලන සඳහාත් සුහද දූත මෙහෙවර සඳහාත් අගමැති ඌ නු සමග ලෝකයේ නොයෙක් රටවලට ගියේය.

1961 දී එවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් තනතුර දරමින් සිටි ඩැග් හැමර්ෂල්ඩ් අකාලයේ මියයෑමෙන් හිස් වූ තනතුර සඳහා සෝවියට් රුසියාවත් එක්සත් ජනපද රාජ්‍යයත් එක සේ කැමති පුද්ගලයකු තෝරා ගැනීම උගහට විය. ලේකම්වරුන් තිදෙනකුගෙන් යුත් මණ්ඩලයක් (ට්‍රොයිකා) පත් කරන ලෙස සෝවියට් රුසියාව විසින් යෝජනා කොට තිබුණේය. එහෙත් පසුව ඌ තාන්ට් ඒ දෙරටේ ම කැමැත්ත දිනා ගැනීමට සමත් වූයේය. මේ අනුව 1961 නොවැම්බර් 3 වැනි දා ලංකාවේ නියෝජිත මහාචාර්‍ය්‍ය මලලසේකර මහතා විසින් නම යෝජනා කරනු ලැබූ හේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ බලන මහලේකම් තනතුරට තෝරාගනු ලැබීය. ඌ තාන්ට් ක්‍යුබානු අර්බුදයේ දී ක්‍රියා කළ ආකාරය නිසා ඔහුට හොඳ නමක් අත් විය. ඊළඟ වර්ෂයේ දී ආරක්ෂක සභාව විසින් ඌ තාන්ට්ගේ නම යෝජනා කරනු ලැබීමෙන් ඉක්බිතිව මහා මණ්ඩලය විසින් හේ 1966 නොවැම්බර් 3 වැනි දා දක්වා මහලේකම් වශයෙන් ඒකච්ඡන්දයෙන් පත්කරගනු ලැබීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වශයෙන් පස් වසක් මුළුල්ලේ ඌ තාන්ට් සාර්ථක සේවයක් ඉටු කෙළේය. තමා දෙවෙනි වාරයට ඉදිරිපත් වීමට අදහස් නොකරන බව ඔහු සාමාජිකයනට දන්වා සිටි නමුත් ආරක්ෂක සභාවේ ඉල්ලීමට අනුකූලතාව දැක්වීම් වශයෙන් සංවිධානයේ යහපත පතා හේ තවත් වාරයක් එම පදවිය දැරීමට එකඟ වූයේය. අනතුරුව මහා මණ්ඩලය විසින් 1971 දෙසැම්බර් 31 වෙනි දා දක්වා ඌ තාන්ට් මහලේකම් පදවියට තෝරා පත්කරගනු ලැබීය.

සැදැහැවත් බෞද්ධයකු වූ ඌ තාන්ට් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී පක්ෂග්‍රාහීභාවයෙන් තොරව දැඩි සංයමයකින් යුතුව ප්‍රශ්නවලට මුහුණ පෑවේය. ස්වභාවයෙන් මෙන් ම ක්‍රියාවෙන් ද මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කළ හේ ලෝක සාමයට අහිතකර යයි තමා අදහස් කළ සෝවියට් රුසියානු මෙන් ම අමෙරිකානු ක්‍රියා ද ජනරාල් ඩිගෝල් වැනි අය ද නොයෙක් විට විචාරයට ලක් කෙළේය. ඔහු විචක්ෂණව ක්‍රියා කිරීමෙනුත් සියලු ම රටවල නියෝජිතවරුනට තම සේවය ලබා ගැනීමට ඉඩ සැලසීමෙනුත් අන්තර්ජාතික ප්‍රශ්න බැරෑරුම් වීමට කලින් විසඳීමට මහන්සි ගැනිමෙනුත් කාගේත් පැසසුමට ලක් වූ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව කියනු ලැබේ. ක්‍යුබා ප්‍රශ්නය, කොංගෝ ප්‍රශ්නය, ඇල්ජීරියානු ප්‍රශ්නය වැනි අන්තර්ජාතික ප්‍රශ්න සාර්ථක ලෙස විසඳීමෙහි සමත් වූ ඌ තාන්ට් මෙතෙක් සිටි දක්ෂතම එ.ජා. මහලේකවරයා හැටියට දේශපාලන විචාරකයෝ සලකති.

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය නිසා පූජනීයත්වයට පත්ව ඇති ලුම්බිනි සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණය කොට එම ස්ථානය සංවර්ධනය කිරීමට එ.ජා. සංවිධානයේ මූලිකත්වයෙන් ලෝකයේ බෞද්ධ රාජ්‍යයන්ගේ සහාය ද ලබාගෙන ක්‍රියා කිරීමේ වැඩ පිළිවෙළක් ඌ තාන්ට් ඉදිරිපත් කොට ඇත. හෙතෙම 1974.11.25 දින මිය ගියේය.

ඌ තාන්ට් පළ කොට ඇති ග්‍රන්ථ අතුරෙහි යුද සමයෙන් පසු බුරුමයේ ඉතිහාසය පිළිබඳ History of Post War Burma නමැති කෘතිය ද නව අධ්‍යාපනය පිළිබඳ New Education නමැති කෘතිය ද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌ_තාන්ට්&oldid=10449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි