ඍතු
පෘථිවියේ කක්ෂතලය දෙසට පෘථිවි අක්ෂයේ ආනතිය හා සූර්යයා වටේ පෘථිවියේ භ්‍රමණය ප්‍රධාන කොට ඇති හේතූන් නිසා වාර්ෂික චක්‍රය තුළ දේශගුණ ලක්ෂණ අතින් ඇති වන ස්ථිර විපර්යාසයන්ට අනුව වර්ෂය බෙදනු ලබන කාල සීමා ඍතු නමින් හැඳින්වේ. නිරක්ෂය ආශ්‍රිතව පිහිටි පෙදෙස් කිහිපයක හැර සෙසු පෙදෙස්හි ඍතු රිත්මය දේශගුණයේ මූලික අංගයකි. ඝර්ම කලාපීය ප්‍රදේශයන්හි වර්ෂාව හා ආර්ද්‍රතාව අඩු වැඩි වන කාල සීමාවන් අනුව තෙත් හා වියළි ඍතු වෙන් කර දැක්විය හැකි වේ. වෙළඳ සුළංවල බලපෑම හේතු කොටගෙන ඇති වි තිබෙන කාන්තාරයන්හි උෂ්ණත්වයේ අඩු වැඩි වීම අනුව ග්‍රීෂ්ම ඍතුව හා ශීත ඍතුව අතර වෙනසක් දක්වනු ලැබේ. ඉහළ අක්ෂාංශීය ප්‍රදේශයන්හි වර්ෂාව හා ආර්ද්‍රතාව, උෂ්ණත්වය, කාලගුණ අනුක්‍රමය, දිවා රෑ කාලයන්හි දිග ආදි සාධක රාශියක් ඍතු විපර්යාසය කෙරෙහි බලපායි. ඝර්ම කලාපයෙන් බාහිර ප්‍රදේශයන්හි ඍතු විපර්යාස චක්‍රයෙහි මූලික ලක්ෂණය වනුයේ වර්ෂයක් පාසා ම උෂ්ණත්වය දළ වශයෙන් එක ම උපරිම හා අවම සීමාවන් අතරේ දෝලනය වීමයි. ඍතු අතර දක්නා ලැබෙන සෙසු වෙනස්කම් ප්‍රධාන වශයෙන් මෙම උෂ්ණත්ව චක්‍රය අනුව සිදු වේ. ශාක ජීවිතය හා ගොවිතැන් කටයුතු මුල් කරගෙන යුරෝපීය භාෂා ව්‍යවහාරයෙහි වර්ෂය ඍතු සතරකට වෙන් කර දක්වනු ලැබේ. වසන්ත - එනම් වපුරන ඍතුව ද, ග්‍රීෂ්ම - එනම් පැළ වැඩී මෝරන ඍතුව ද, ශරත් - එනම් අස්වනු රැස් කරන ඍතුව ද, ශීත හෙවත් ශිශිර - එනම් ශාක වර්ධනය අත්හිටින ඍතුව ද යනුවෙනි. සූර්යයා වටේ පෘථිවියේ භ්‍රමණය අනුව උත්තරාර්ධගෝලයෙහි හා දක්ෂිණාර්ධගෝලයෙහි මධ්‍යම හා ඉහළ අක්ෂාංශයන්හි ඒ ඒ ඍතු අනුව වූ දේශගුණ ලක්ෂණයන් ඇති වන මාස කවරේ දැයි දළ වශයෙන් පහත සඳහන් සටහනින් දැක්වේ.
සාගරික බලපෑම සහිත ප්‍රදේශයන්හි මහාද්වීපික ප්‍රදේශයන්හි තරම් විශාල වෙනසක් ඍතු විපර්යාසයේ දී ඇති නොවේ. එමෙන් ම සාගර බද ප්‍රදේශයහි එක් සෘතුවක් හා ඊළඟ ඍතුව අතර විපර්යාසය සිදු වන්නේ ද අනුක්‍රමයෙනි.
ධ්‍රැව ප්‍රදේශයන්හි ශීත ඍතුව හා ග්‍රීෂ්ම ඍතුව අතර විපර්යාසය ක්ෂණිකය. එහෙයින් මෙම පෙදෙස්හි මෙම ප්‍රධාන ඍතු හැර වසන්ත, ශරත් යන ඍතු වෙන් වෙන්ව දැක්වීමට නොහැකි තරම්ය.
ඍතුවෙන් ඍතුවට උෂ්ණත්වයෙහි වෙනස්වීම් ඇති වනුයේ ඒ ඒ ඍතුවේ දී පෘථිවියෙහි ඒ ඒ කොටස්වලට ලැබෙන සූර්යතාපය අනුවය. යම් ස්ථානයකට දවසකට හිරුඑළිය ලැබෙන කාල ප්‍රමාණය ද දවස තුළ දී සූර්යයාගේ උච්චය ද අනුව එම ස්ථානයට ලැබෙන සූර්යතාපය නිගමනය වේ. පෘථිවියේ අක්ෂය එහි කක්ෂතලයට අංශක 66° 33’ක් ඇල වී තිබීම නිසා පෘථිවිය සූර්යයා වටේ යන ගමනේ අඩක දී පෘථිවියෙහි උත්තරාර්ධගෝලය සූර්යයා දෙසට වඩා යොමු වේ. අනෙක් අඩෙහි දී දක්ෂිණාර්ධගෝලය සූර්යයා දෙසට වඩා යොමු වේ. සූර්යයා දෙසට වඩා ඇල වූ අර්ධගෝලයට සූර්යාලෝකය හා සූර්යතාපය වැඩියෙන් ලැබේ. ග්‍රීෂ්ම ඍතුවක් හා ශීත ඍතුවක් ඇති වීමට ප්‍රධාන සාධකය මෙය වේ. ඒ ඒ අර්ධගෝලයට සූර්යාලෝකය මෙන් ම සූර්යතාපය වැඩි වශයෙන් ම ලැබෙනුයේ ගිම්හාන සූර්ය නිවෘත්තියේ දීය. එමෙන් ම ඒ ඒ අර්ධගෝලයට වර්ෂයක් තුළ දී අඩු ම වශයෙන් සූර්යාලෝකය හා සූර්යතාපය ලැබෙනුයේ ශිශිර සූර්ය නිවෘත්තියේ දීය.
ජ්‍යෝතිෂ මතය
සූර්යයා මකර රාශියට පිවිසීමේ (මකර සංක්‍රාන්තයේ) පටන් රාශි දෙකක් වළඳන කාලය තුළ එකක් බැගින් පිළිවෙළින් ශිශිර, වසන්ත, ග්‍රීෂ්ම, වර්ෂා, ශරද්, හේමන්ත යයි ඍතු සයක් පැරණි භාවිතයෙහි ආයේය. චන්ද්‍ර මාස ක්‍රමයෙන් නවම්, මැදින් දෙමස ශිශිර ඍතුව යයි ද බක් වෙසක් දෙමස වසන්ත යයි ද පොසොන්, ඇසළ දෙමස ග්‍රීෂ්ම යයි ද නිකිණි, බිනර දෙමස වර්ෂා යයි ද වප්, ඉල් දෙමස ශරත් යයි ද උඳුවප්, දුරුතු දෙමස හේමන්ත යයි ද ගැනිණ. ඇතැම් විට වසන්ත, ග්‍රීෂ්ම, ශරත්, ශිශිර යයි ඍතු සතරක් වේ. බෞද්ධ සමයෙහි වස්සාන, හේමන්ත, ගිම්හාන යයි ඍතු තුනකි. ඇසළ මස අව පෑළවිය පටන් ඉල් මස මැදි පොහොය දක්වා කාලය වස්සානයි. ඉල් මස අව පෑළවිය පටන් මැදින් මස මැදි පොහොය දක්වා හේමන්තයි. මැදින් මස අව පෑළවිය පටන් ඇසළ මස මැදි පොහොය දක්වා ගිම්හාන සෘතුවයි. චාතුද්දසී පොහෝ දෙකක් හා පණ්ණරසී පොහෝ සයක් ද එක් වීමෙන් ඍතුවකට පොහෝ අටක් බැගින් අවුරුද්දකට තුන් ඍතුවෙහි සූවිසි පොහොයක් වේ යයි සිඛවළඳෙහි දැක්වේ.
(සංස්කරණය: 1974)
