ඍද්ධිවිධඥානය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කරජකාය සංඛ්‍යාත ශරීරයත් පාදකධ්‍යාන චිත්තයත් පරිකර්මචිත්තයෙන් එක් කොට හෙවත් කයෙහි සිතත් සිතෙහි කයත් ආරෝපණය කොට සුඛ සංඥාවත් ලඝුසංඥාවත් අධිෂ්ඨාන කිරීම් වශයෙන් සමෘද්ධ වන ප්‍රඥාව ඍද්ධිවිධඥාන (ඉද්ධිවිධඤාණ) නම් වෙයි (කායම්පි චිත්තම්පි එකවවත්ථානතා සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච අධිට්ඨානවසෙන ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා ඉද්ධිවිධෙ ඤාණං). මෙය බුදුනට හා සව්වනට හා සාධාරණ වූ ඥානයෙකි.

ඍද්ධිවිධඥානය උපදවාගනු කැමැති මහණ ඡන්ද-විරිය-චිත්ත-වීමංසා යන සතර ඍද්ධිපාදයන් වඩා සිත දමනය කොට තමාගේ වශයෙහි පැවැත්වීමෙන් මෘදු වූවක් කර්මණ්‍ය වූවක් කෙරෙයි. එසේ කොට තමාගේ කරජකය පාදකධ්‍යානචිත්තයෙහි ආරෝපණය කෙරෙයි. කය සිත අනුව පවත්වනු කෙරෙයි. පාදකධ්‍යාන චිත්තය ද තමාගේ කයෙහි ආරෝපණය කෙරෙයි. සිත කායානුගතික කෙරෙයි සේයි. පාදකධ්‍යාන චිත්තය තමාගේ ශරීර වශයෙන් ද ශරීරය චිත්ත වශයෙන් ද පරිණමන කෙරෙයි. කාය වශයෙන් සිත අධිෂ්ඨාන කෙරෙයි. චිත්ත වශයෙන් කය අධිෂ්ඨාන කෙරෙයි. එසේ කොට චතුර්ථධ්‍යාන හා සහජාත වූ සුඛසංඥාව ද ලඝුසංඥාව ද කරජකායයෙහි ප්‍රවේශ කොට වාසය කෙරෙයි. ඒ සුඛසංඥා ලඝුසංඥායෙන් යුක්ත වූවහුගේ කය පෙළූ පුළුන් සෙයින් සැහැල්ලු වෙයි. සුපරිභාවිත වූ වඩන ලද පරිශුද්ධ වූ ප්‍රභාස්වර වූ සිතින් යුක්තව ඍද්ධිවිධඥානය පිණිස පරිකර්මචිත්තය යොමු කෙරෙයි. ඊට නැඹුරු කෙරෙයි.

හේ අනේකවිධ වූ ඍද්ධිප්‍රභේද ඍද්ධි විශේෂ වළඳ කෙරෙයි. "එකොපි හුත්වා බහුධා හොති" යනාදීන් වදාළ පරිදි පියවින් එකක් වැ සිට බහු ප්‍රකාරයට පැමිණෙයි. බොහෝ දෙනකු වැ සිට එකෙක් වෙයි. පැනෙන බැවින් නොපැනෙන බවට යෙයි. අහසෙහි මෙන් ගැටීමක් නැති වැ බිත්ති, පවුරු, කඳු හෙල් ආදියෙන් ඔබ්බට ගමන් කෙරෙයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම් නැඟීම් ආදිය කෙරෙයි. පොළොවෙහි මෙන් ජලයෙහි ද නොගැලී සක්මන් ආදිය කෙරෙයි. පියාපත් ඇති ලිහිණියන් සෙයින් අහසෙහි පලග බැඳ ඇවිදී. සඳහිරු දෙදෙනා අතින් පිරිමදී. බඹලොව දක්වා ද තමාගේ වශයෙහි පවත්වා ලයි. (පටිසම්භිදාමග්ග - විසුද්ධිමග්ග ඉද්ධිවිධඤාණනිද්දේසයෙන් විස්තර දත හැකිය.)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඍද්ධිවිධඥානය&oldid=10746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි