ඍෂි
වේදයෙහි පහළ වීමට උපස්තම්භක වූ හෝ වේදය දුටුවා වූ මුනිවරු 'ඍෂි' යන වචනයෙන් අදහස් කරනු ලැබෙත්. සංස්කෘත 'දෘශ්' (දැකීමෙහි) ධාතුව සඳහා වූ දැනට අභාවයට ගොස් ඇති 'ඍෂ්' යන ධාතුවකින් 'ඍෂි' යි සාදාගන්නා ලද්දේ යයි ද 'දකින්නා' යන මූලාර්ථයක් එහි ඇතැයි ද සමහරු සිතති.
ඍග්වේදයෙහි සඳහන් වන ඍෂීන් තත්කාලීන සමාජයෙහි ප්‍රමුඛ පුරවැසියන් හා ප්‍රවීණ කවීන් වූ බව පෙනේ. ලෞකික ජීවිතය පිළිබඳ ප්‍රශ්න කෙරෙහි උත්සුකභාවයක් දක්වමින් පවුල් ජීවිතයක් ගත කළ ඔව්හු පවුලේ ප්‍රීතිය වර්ධනය කරගැනීමත් සමාජ ජීවිතය සඵල කර ගැනීමත් ශූරවීර දරු මුනුබුරන් ලබාගැනීමත් සඳහා යාගහෝම මන්ත්‍ර ස්තෝත්‍ර ආදියෙන් දෙවියන්ට ආරාධනා කරමින් පුදපූජා පැවැත්වූහ.
බ්‍රාහ්මණ ග්‍රන්ථවල හා පශ්චාත්කාලීන ග්‍රන්ථවල 'සප්තර්ෂි' නමින් ඍෂිහු සත් දෙනෙක් සඳහන් වෙති. ශතපථ බ්‍රාහ්මණයෙහි ගෝතම, භරද්වාජ, විශ්වාමිත්‍ර, ජමදග්නි, වසිෂ්ඨ, කශ්‍යප, අත්‍රි යනු විසින් ඔවුන්ගේ නම් දක්නට ලැබේ. මරීචි, අත්‍රි, අංගිරස්, පුලහ, ක්‍රතු, පුලස්ත්‍ය, වසිෂ්ඨ යන සත් දෙන සප්තර්ෂීන් වශයෙන් මහාභාරතයෙහි දැක්වෙයි. අහසෙහි සප්තර්ෂි තාරකා හෙවත් ඍක්ෂ (the Big Dipper of the Ursa Major) නමින් හැඳින්වෙන තරු හතින් ඍෂීන් සත් දෙන නිරුපණය වෙතැයි සැලැකේ.
පසු කාලයෙහි දී සප්තර්ෂීන් අතරට ප්‍රවේතස් (දක්ෂ), භෘගු, නාරද යන තිදෙනාගේ නම් ද එකතු කොට ඔව්හු දස දෙන ප්‍රජාපතීන් වශයෙන් සලකන ලදහ. බ්‍රහ්මයාගේ මනසින් උපන් පුත්‍රයන් වූ ප්‍රජාපතීහු දේවමනුෂ්‍ය ආදීන් කෙරෙන් වෙන් වූ කොටසක් වශයෙන් දැක්වෙති. ඔව්හු දෙව්මිනිසුන් හා අන් සියලු සතුන් නිර්මාණය කිරීම සඳහා මනු ස්වායම්භුව විසින් මවන ලද්දාහුය.
ඍෂීහු දේවර්ෂි, බ්‍රහ්මර්ෂි, රාජර්ෂි යයි ගණ තුනක ලා හෝ ඊට මහර්ෂි, පරමර්ෂි, ශ්‍රැතර්ෂි, කාණ්ඩර්ෂි යයි තවත් ගණ සතරක් එක් කොට ගණ සතක ලා හෝ ගැණුණාහ. විෂ්ණු පුරාණයෙහි සප්තර්ෂීන්ගේ නම් අතරට භෘගු, දක්ෂ යන දෙදෙනාගේ නම් ද එකතු කොට ඔව්හු බ්‍රහ්මර්ෂීන් නව දෙනා වශයෙන් දක්වා ඇත. ගෞතම, කණ්ව, වාල්මීකි, ව්‍යාස, මනු, විභාණ්ඩක, වෛශම්පායන ආදිහු මහර්ෂීන් වශයෙන් ඇතැම් ග්‍රන්ථවල දැක්වෙති. ආයුර්වේද සංහිතාවන් හා ජ්‍යෝතිෂ සංහිතාවන් කළ මුනිවරු ද ඇතැම් විට ඍෂි නමින් හඳුන්වන ලදහ. චන්ද්‍රගුප්ත මෞර්ය, පුෂ්‍යමිත්‍ර ශුංග යන රජුන්ගේ හෝ ගුප්ත අධිරාජයන්ගේ හෝ කාලවල දී ඍෂීන් විසූ බවට කිසිදු සාක්ෂ්‍යයක් පුරාණ ග්‍රන්ථවලින් නොලැබේ.
'මුනිවරයා' යන අර්ථය ඇති 'අර්සන්' යන හේබ්‍රෙව් වචනය හා 'ඍෂි' යන වචනයෙහි සමානත්වයක් ඇති බව පෙනේ.
(සංස්කරණය: 1974)