එක්පෙති පියුම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කුඩා පර්ණාංග පැළෑටියකි. එහි උද්භිද විද්‍යාත්මක නාමය ඔපියොග්ලොසුම් වුල්ගාටුම්ය (Ophioglossum vulgatum). ඉතා කෙටි ඍජු කඳක් මේ පැළෑටියට ඇත. එහි ඇත්තේ තනි පත්‍රයක් පමණි. නටුවකින් හා අණ්ඩාකාර පත්‍ර තලයකින් පත්‍රය සමන්විතය. උපපත්‍ර (stipules) ද දක්නට ලැබේ. පත්‍ර නටුවෙන් එන වෘන්තයක් මත බීජාණුධානි කිහිපයක් සහිත සරු ශූකියක් (spike) තිබේ. එම ශූකිය අඟල් 3ක් පමණ දිගය.

එතරම් දුර්ලභ නොවන මේ පැළෑටිය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දිය සීරාව ඇති ගොඩබිම්වලය. පැළෑටියේ පොළවට ඉහළින් තිබෙන කොටස නියං සමයෙහි වියළී යන නමුත් පොළව යට තිබෙන කඳේ කොටසින් වැසි කාලයේ දී පැළෑටිය නැවතත් වැඩේ. එක්පෙති පියුම් යන නාමය මේ පැළෑටියට දී ඇතත් එය පර්ණාංගයක් වන බැවින් එහි මල් හට නොගනී.

ඇතැම් ජලජ පැළෑටියකට ද එක්පෙති පියුම් යන නාමය භාවිතා කෙරේ. (ඔපියොලොසාලේස් බ.).

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එක්පෙති_පියුම්&oldid=10759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි