එග්බට්
(775-839). ක්‍රි.ව. අටවැනි සියවසේ අවසාන භාගයේ සහ නවවැනි සියවසේ මුල භාගයේ එංගලන්තයෙහි විසූ රජ කෙනෙකි. කෙන්ට් ප්‍රදේශයේ සුළු රජකුගේ පුතකු වශයෙන් ජන්ම ලාභය ලද හේ වෙසෙක්ස් පෙදෙසේ පාලකයා වීමට ප්රයත්න දැරීය. මෙම ප්රයත්නය අසාර්ථක වූයෙන් ප්‍රංසයේ ෂාර්ලමේන් රජතුමා වෙතට පැන ගිය ඔහු පෙරළා පැමිණ වෙසෙක්ස්හි පාලකයා මිය ගිය පසු (802) ඒ පෙදෙසෙහි රජ බවට පැමිණියේය. ඉක්බිති බටහිර වේල්සය, මර්සියාව, නැගෙනහිර ඇංග්ලියාව සහ නෝතම්බර්ලන්තය යන පළාත් සියල්ල ම වාගේ අත්පත් කරගැනීමට එග්බට් සමත් වූ බව පෙනේ (829). මේ අනුව, එවකට එංගලන්තයේ පැවැති 'සප්ත රාජ්‍යයන්' සියල්ල ම විසින් ඔහුගේ ආධිපත්‍යය පිළිගන්නා ලදි. එබැවින්, ඓතිහාසික වශයෙන් පළමුවැනි 'ඉංග්‍රීසි' රජතුමා හැටියට හැඳින්විය හැක්කේ එග්බට් යයි ඇතැම් ඉතිහාසඥයෝ විශ්වාස කරති. ක්‍රි.ව. 839 දී එග්බට් මිය ගිය පසු ඔහුගේ පුත් එතල්වුල්ෆ් (ඇතුල්ෆ්) රජ විය.
(සංස්කරණය: 1974)