එට්ටු-ත්-තොහෛ
පුරාණතම දෙමළ සාහිත්‍ය කෘති කෙරෙන් ශේෂවැ ඇත්තේ එට්ටු-ත්-තොහෛ (අටතොගය) යන පොදු නමින් හැඳින්වෙන පද්‍ය සංග්‍රහ අටෙකින් සමන්විත සංග්‍රහ අෂ්ටකය ද, පත්තු-ප්-පාට්ටු (දස ගී) යන පොදු නමින් හැඳින්වෙන පද්‍ය ප්‍රබන්ධ දශකය ද පමණෙකි. මෙයින් එට්ටු-ත්-තොහෛයෙහි අන්තර්ගතවැ ඇති රචනා සියල්ල ම සාමාන්‍යයෙන් පේළි 31කට අධික නොවන ප්‍රමාණයේ කෙටි පබඳ යැ. පත්තු-ප්-පාට්ටුවෙහි ඇත්තේ දිගුතම යැයි සැලැකෙන පබඳ දසයෙකි. ඉන් කෙටි මැ ප්රබන්ධයෙහි ඇත්තේ පේළි 103කි; දිගු මැ ප්රබන්ධයෙහි පේළි 782කි. මේ හැම මැ ඉපැරැණි කිවියන්ගේ පබඳයැ. එයින් එට්ටු-ත්-තොහෛයෙහි ගණනින් සාරසිය පණසකට ද අධික වූ කිවි සමූහයකගේ ප්‍රබන්ධ සංගෘහීතයැ. මේ සංග්‍රහ සමුච්චය සංග්‍රහ හෙවත් තොග අටෙකින් සමන්විත වග යට කියැවිණි. මෙයට ඒ නම ලැබෙනුයේ ද එහෙයිනි. ඒ වනාහි නට්ට්රිණෛ, කුරුන්දොහෛ, ඓඞ්-ගුරු-නූරු, පදිට්රුැ-ප්-පත්තු, පරිපාඩල්, කලි-ත්-තොහෛ, අහ-නා-නූරු, පුර-නා-නූරු යන නමින් හැඳින්වෙන පද්‍ය සංග්‍රහ අටයැ.
පුරාණ දෙමළ කිවීන්ගේ වර්ණනයට ලක් වූ විෂය සියල්ල අහම්, පුරම් යනු විසින් දෙවැදෑරුම් කොට සැලැකේ. මෙහි අහම් යන්නෙන් අදහස් කැරෙන්නේ ස්ත්‍රීපුරුෂ දෙගොල්ල අතරේ පැනනැඟෙන සරාගී ප්‍රේමයයි. පුරම් යන්නෙන් අදහස් කැරෙන්නේ ශෞර්ය වීර්ය දෙකයි. විශේෂයෙන් මැ ක්ෂත්රිය වීරයන් යුද්ධයෙහි දී පෑ ශෞර්ය වීර්ය දෙකයි.
අහම් නමින් දැක්වෙන සරාගි ප්‍රේමයේ කුරිඤ්ජි, මරුදම්, පාලෛ, නෛදල්, මුල්ලෛ යනු විසින් අවස්ථා පඤ්චකයක් මේ පැරැණි කිවීහු දුටහ. මෙහි කුරිඤ්ජි යනු අවිවාහක තරුණ තරුණියන් අතරේ දර්ශන මාත්‍රයෙන් අටගැනෙන අනුරාගයයි. මරුදම් යනු විවාහයෙන් බැඳුණු අඹුසැමි දෙදෙනා අතරේ ලියලා වැඩෙන ස්ථිර ප්‍රේමයයි. පාලෛ යනු වියෝගයෙහි දී අඹුසැමි දෙදෙනාගේ සිත තවන වියෝගින්නයි. නෛදල් යනු වියෝගි අඹුසැමි දෙදෙනා වෙන වෙන මැ නඟන විරහ වලපයි. මුල්ලෛ යනු පතිවියොව නිසා පතිනිය තුළ අට ගන්නා දැඩි සොවයි. මෙහි වියෝගයෙන් ඇති වන අවස්ථා තුනෙහි වැඩි වෙනසක් බැලූ බැල්මට නොපෙනෙතත්, පුරාණ දෙමළ කිවිහු එහි සියුම් වෙනසක් දුටහ.
පුරම්හි ද අවස්ථා ගණනක් ඔහු දුටුහ. එහි අවස්ථා සතෙකි. ඒ වෙට්චි, කරන්දෛ, කාඤ්ජි, උලිඤෛ, නොච්චි, තුම්බෛ, වාහෛ යන නමින් හැඳින්වෙයි. මේ මල් සත් වගයෙකැ නම්යැ. යුද්ධයෙහි ද මෙවැනි අවස්ථා සතෙකි. යුද්ධයට යන විට ඒ ඒ අවස්ථාවට යෙදෙන මලින් කළ මාලාවෙකින් සිය දසරුව සරසා ගැනීම පුරාණ ද්‍රවිඩ යෝධයන්ගේ සිරිත විය.
පුරාණ ද්‍රවිඩ ක්ෂත්රිය සමාජයේ හරක් කොල්ලය උදාර වීරක්‍රියාවක් කොට සැලැකිණි. යුද්ධ අවස්ථා සප්තකයෙන් පළමු වැන්න ද එයයි. ඒ හරක් කොල්ලයට ගිය යෝධයන් ගියේ වෙට්චි (රත්) මලින් කළ මාලා පැලැඳ ගෙනයැ. කොල්ලෙන් ගෙනැ යනු ලැබුණු හරක් සතුරන්ගෙන් උදුරා ගැනීම ද මහ වීර ක්‍රියාවෙක් විය. ඒ සඳහා සටනට ගිය යෝධයන් ගියේ කරන්දෛ (කරඳ) මලින් කළ දම් ලා ගෙනයැ. යම්කිසි රටක් අල්ලා ගනුව සතුරු සෙනඟක් එයට කඩා වැදුණොත්, ඔවුන් පලවා හරින්නට එරට යෝධයන් පෙරමුණට ගියේ කාඤ්ජී (උණිද) මලින් කළ දම් ලා ගෙනයැ. රටක් ආක්‍රමණය කොට, එහි පිහිටි බලකොටු වැටලීමෙහි යෙදුණු යෝධයන් පැලැන්දේ උලිඤෛ (ඉඹුල්) මල්දම් යැ. එමැ කොටුව රකින්නට එහි වැසි යෝධයන් සටන් කෙළේ නොච්චි (නික) මලින් කළ මාලා පැලැඳ ගෙනයැ. එළිමහනේ රණ බිමෙකැ නම් දෙපසෙහි මැ යෝධයෝ තුම්බෛ (තුඹ) මලින් කළ දම් පැලැන්දහ. යුද්ධාවසානයේ ජය පානය කිරීම එදවසැ පැවැති සම්භාවනීය සිරිතෙකි. එහි දී ජයග්‍රාහකයන් වාහෛ (මහරී) මල්දමින් උඩුකය සරසා ගෙනයැ ජයපානයෙහි යෙදුණේ.
මේ අවස්ථා දෙමළ බසෙහි 'තිණෛ' යන වෙසෙසි නමෙකින් හැඳින්වේ. එහෙයින් 'අහම්' (සරාගී ප්‍රේම) අවස්ථා 'අහත්තිණෛ' නමින් ද, 'පුරම්' (වීර) අවස්ථා 'පුරත්තිණෛ' නමින් ද හඳුන්වනු ලැබේ. එට්ටු-ත්- තොහෛයෙහි අන්තර්ගත සංග්‍රහ කෙරෙන් එකෙකැ හැරැ අවශේෂ සංග්‍රහ සතෙහි එන සකල පද්‍ය ප්‍රබන්ධ සමුදාය මැ මේ තිණෛ ද්වය මෑ කොට ඇත්තේයැ. ඉන් නට්ට්රිණෛ, කුරුන්දොහෛ යන සංග්‍රහ ද්වය අහම්, පුරම් යන දෙවග මැ මෑ කොට ගත් පබඳින් සමන්විතයැ. ඓඞ්ගුරු නූරු, කලි-ත්-තොහෛ, අහනානූරු යන සංග්රහත්රය අහත්තිණෛ පමණක් මැ විෂය කොට ගත් පබඳින් සැදිණි. පදිට්රුප්පත්තු, පුරනානූරු යන සංග්‍රහ ද්වය පුරන්තිණෛ පමණක් විෂය කොට ගත් පබඳින් යුක්තයැ. මෙහි අත හැරී ගිය පරිපාඩල් නම් තොගය දේවස්තෝත්‍ර, නගර වර්ණන, නදීවර්ණන යන ත්‍රිවිධ වර්ණන ප්රබන්ධයෙන් සෑදුණෙකි. එහි ද ශෘංගාර වීර යන රස ද්වය මැ මුඛ්‍ය වන හෙයින් එ ද අහම්, පුරම් යන දෙවග මැ මෑ කොට ගත් පබඳින් සැදුණාක් සේ සැලැකීමට ද ඉඩ නැත්තේ නොවේ.
පටුන
නට්ට්රිණෛ (මැදුම් තොගය)
මේ වනාහි එට්ටු-ත්-තොහෛයෙහි ඇතුළත් වන පළමු වැනි තොගයයි. මෙහි ප්‍රබන්ධ ගණන 400කි. ඒ ප්‍රමාණයෙන් පේළි 9 සිටැ 12 දක්වා ඇති පද්‍ය රචනායැ. මෙතරම ඇති රචනා මධ්‍යම ප්‍රමාණයේ පබඳ ලෙස ගැනිණ. දෙමළ නළ් යනු මෙහි මැදුම් යන අරුති. එසේ මැදුම් තරමේ පබඳ පමණක් මැ මෙහි එක් තැන් කැරුණු හෙයින් මේ සංග්‍රහය නට්ට්රිණෛ හෙවත් මැදුම් තොගය නම් වී (නළ්+තිණෛ>නට්ට්රිණෛ). මෙහි තැන ලැබෙන කිවීන්ගේ සංඛ්‍යාව 175කි. මේ කිවීන්ගේ රසවත් පබඳ මෙසේ ගොනු කළ සංග්රහකාරයාගේ නම් පවා අප්රකටයැ. එහෙත් එහි ලා ඔහුට පිටුබල වූ ප්රභූවරයාගේ නම නම් සුප්රකටයැ. ඒ වනාහි පන්නාඩු-නන්ද-මාරන් වළුදි නමැති ප්රතාපවත් පඬි රජ කෙනෙකි. මේ සාහිත්යලෝල ක්ෂත්රිය වීරයා නිපුණ කිවියෙක් ද වී. මෙහි අහම්පුරම් දෙවග මැ මෑ කොට ගත් පබඳට තැන ලැබී තිබේ.
කුරුන්දොහෛ (කුරු තොගය)
මෙහි 'කුරු' යන දෙමළ පදය කුදු, කුඩා යන අරුත ඇති සිංහල 'කුරු' යන පදය හා තත්සමයි. ප්‍රමාණයෙන් පේළි 4 සිට 6 දක්වා ඇති කුඩා පබඳ ගොනු කොට සකස් කැරුණු සංග්‍රහයක් වන හෙයිනි මෙය කුරුන්දොහෛ හෙවත් කුරු තොගය නම් වනුයේ. මෙහිදු පබඳ 400ක් වියැයුතු වුව ද මුද්‍රිත සංස්කරණයේ 401ක් ලැබේ. මෙහි ගොනු කැරුණු පබඳ දශක වශයෙන් බෙදේ. ඒ හැම දශකයෙකැ මැ අග 'පදිහම්' යන නමින් හැඳින්වෙන වෙසෙසි පැදි පබඳෙකි. මේ පබඳින් කර්තෘනාමාදිය දැක්වේ. එහෙත් මේ පදිහම් පසු කලෙක මෙයට යම්කිසි ලේඛකයකු විසින් ඈඳණු ලැබුණු නව පබඳ යනු යැ පණ්ඩිත ලෝකයාගේ පිළිගැනීම. කුරුන්දොහෛයෙහි කිවින් 205 දෙනකුගේ පබඳට තැන ලැබේ. මොවුන්ගේ කෙටි පබඳ මෙසේ ගොනු කළ සඞ්ග්රහකාරයා පුරික්කෝ නමැති පඬිවරයෙකි. මේ කාර්යයෙහි ලා ඔහුට පිටුබල වූයේ කවරකු ද යනු අප්රකටයැ. මේ සංග්රහයෙහි ද දක්නේ අහම් පුරම් දෙවගයම මෑ කොට ගත් පබඳයැ.
ඓඬ්ගුරුනූරු (කුරු පන්සීය)
මෙහි ද ගොනු කොට ඇත්තේ කුදු පබඳයැ. එහෙත් පබඳ සංඛ්‍යාව 500කි. එහෙයිනි ඓඬ්ගුරුනූරු හෙවත් කුරු පන්සීය යන නම. මේ පබඳ සියල්ල ම අහත්තිණෛ පංචකය විෂය කොට ගත් රචනා වෙයි. මුළු සංග්‍රහය ශතක පහකට බෙදේ. එහි එක් එක් ශතකය එක් එක් අහත්තිණෛය කෙරෙහි කැප කැරේ. එමතු ද නොවේ. එක් එක් ශතකය එක් එක් කිවියකුගේ ම පබඳට සීමා වේ. එහෙයින් මෙහි එනු කිවීන් පස්දෙනකුගේ පබඳ පමණි. පළමු වැන්න මරුදම් ශතකයෙකි. එහි එන පබඳ සීය ඕරම් බෝගී නමැති කිවියාගේ කෘතියැ. දෙවැන්න නෙය්දල් ශතකයෙකි. එහි කතුවරයා අම්මුවන් නම් කිවියෙකි. තෙවැන්න කුරිඤ්ජි ශතකයෙකි. ඒ කබිලර් (කපිල) නමැති කිවියාගේ පබඳින් සැදිණි. සිව්වැන්න පාලෛ ශතකයෙකි. එහි කතුවරයා ඕදල් ආන්දෛ නමැති කිවියෙකි. පස්වැන්න මුල්ලෛ ශතකයෙකි. ඒ පේයන් නමැති කිවියාගේ පබඳින් සැදුණෙකි. අහත්තිණෛ මෑ කොට මහ කිවින් පස් දෙනකු විසින් විවිධ අවස්ථාවන්හි කරන ලද කෙටි පබඳ රැස්කොට, ඒ වර්ග කොට, ඒ අතුරින් රසබර පබඳ සීය බැගින් තෝරා ගොනු කොට, මෙසේ පංච-ශතක-සංග්‍රහයක් කෙළේ පලත්තුරෛ මුට්ට්රිය කූඩලූර් කිළාර් නමැති වියතෙකි. මෙහි ලා ඔහුට පිටුබල වූයේ යනෛ-ක්-කත් චෙඉ මාන් දරඤ්ජේරළ් ඉරුම්බොරෛ නමැති චේර මහ රජයැ. එට්ටුත්තොහෛහි අන්තර්ගත සංග්‍රහ කෙරෙන් පැරැණිතමය මේ ඓඬ්ගුරුනූරුවයැ යනු විචාරකයන්ගේ කල්පනාවයි. මෙයට කළ පුරාණ ටීකාවෙක් ද වේ.
පදිට්රු-ප්-පත්තු (දසදසය)
මේ පබඳ සීයෙකින් යුත් සංග්‍රහයෙක් විය. ඒ පබඳ සීය දශක වශයෙන් දහයකට බෙදිණි. එහි එක් එක් දශකය එක් එක් චේර රාජයකුගේ ගුණ කීර්තනයෙක් විය. මෙහි වූ මේ දශක දශය කෙරෙන් පළමු වැන්නත් දස වැන්නත් අද නැති. එහි අද ඇත්තේ එක මැ අත් පිටපතෙකි. එ මැ අත්පිටපතේ මුල හා අග වූ පත් ඉරු ගිලිහී යෑමෙන් සිදුවූ සේ සැලැකියැ හැකි මේ ඌනතාව බලවත් පාඩුවෙකි. තත්කාල ද්‍රාවිඩ ඉතිහාසය ගැන වටිනා තොරතුරු රැසක් මේ පද්‍ය සංග්‍රහයෙන් සැපැයේ. මෙයටත් පැරැණි වියතකු කළ මහඟු ටීකාවෙක් වෙයි. මෙහි ඇතුළු වන පබඳ සියල්ල මැ පුරත්තිණෛ මෑ කොට ගත් රචනායි.
පරිපාඩල්
මේ පද්‍ය සංග්රහයෙහි පබඳ සැත්තෑවෙක් විය. එහෙත් අද ඉන් ශේෂ වැ ඇත්තේ සම්පූර්ණ ප්‍රබන්ධ දෙවිස්සකුත් තව ටිකෙක කොටසුත් පමණෙකි.
තිරුමාට්කු ඉරුනාන්ගු සෙව්වේට්කු මුප්පත්
තොරු පාට්ටු, කාඩුකාට්කු ඔන්රු, මරුවිනිය
වෛයෛ ඉරුපත්තාරු මා මදුරෛ නාන්ගුඑන්බ
සෙය්‍ය පරිපාඩල් තිරම් -
යනුවෙන් මෙහි අඩංගු වූ ප්රබන්ධයන්ගේ මාතෘකාවලිය කියැවේ. එහි කියැවෙන පරිදි මෙහි වූ පබඳ සැත්තෑව කෙරෙන් අටක් උවිඳුට ද, එක් තිසක් කඳකුමරුට ද, එකක් කාලී මාතාවට ද, සවිස්සක් වෛයෛ නදියට ද, සතරක් මදුරාපුරයට ද ඇරුණේය. මෙහි එන හැම පබඳෙක මැ අගැ කතු නිදෙසෙකි. පරිමේල්-අළහර් නමැති සුප්‍රකට ටීකාකාරයන් මෙයට කළ ටීකාවෙකැ නෂ්ටාවශිෂ්ට ද පවතී. මෙහි අඩංගු වන ඇතැම් පබඳෙක ශෘඞ්ගාර, වීර යන රසද්වය මැ ද, ඇතැමෙකැ හුදෙක් ශෘංගාර රසය ද, ඇතැමෙකැ වීර රසය ද මුඛ්‍ය වෙයි. එහෙයින් මේ තොගයත් අහම් පුරම් දෙ වග මෑ කොට ගත් පබඳ ගොනු කැරුණක් ලෙස සැලැකීමට ද ඉඩ ඇති. මෙහි එන පබඳ සියල්ල මැ පරිපාඩල් ඡන්දසින් බැඳිණි. එහෙයිනි මේ නම.
කලි-ත්-තොහෛ
මේ පබඳ 150කින් යුත් පද්‍ය සඞ්ග්රහයකි. මෙයට මේ නම දෙවෙනුයේ මෙය කලි නමැති ඡන්දසින් රචිත පබඳින් පමණක් මැ සංගෘහිත හෙයිනි. අහන්තිණෛ පංචකය මෑ කොට ගත් මේ පබඳ 150 කෙරෙන් පාලෛ සඳහා පන්තිසක් ද, කුරිඤ්ජි සඳහා එකුන් තිසක් ද, මරුදම් සඳහා පන්තිසක් ද, මුල්ලෛ සඳහා සතළොසක් ද, නෙදෙල් සඳහා තෙතිසක් ද ඇරිණි. ආරම්භයෙහි එන පබඳ ඉෂ්ටදේවතානුස්මරණයෙකි. මේ පද්‍ය සංග්‍රහයට නච්චිනාර්-ක්-කිනියාර් කළ ටීකාවෙක් වේ. එහි නෙය්දල් කාණ්ඩයේ පස්විසි වැනි පබඳට කළ ටිප්පනියෙකැ එමැ කාණ්ඩය නල්ලන්දුවනාර් නම් මහ කිවියකුගේ කෘතියක් බව ද, එහි (එමැ ටීකාවෙහි) අගැ මුළු තොගය සකස් කෙළේ ද එමැ මහ කිවියා බව ද සඳහන් වේ. අනෙක් කාණ්ඩ සතර පෙරුංගඩුගෝන්, කබිලර්, මරුදන් ඉළ-නාගන්, වෝලන්-නල්ලුත්-තිරන් යන සිව් මහ කිවියන්ගේ කෘතියැ යනු පවසන ජනප්රවාදයෙකි. එහෙත් එමැ කථාව පණ්ඩිත ලෝකයා නොපිළිගනිති.
අහනානූරු (පෙම් සිව්සීය)
මේ වනාහි සරාගී ප්‍රේමයේ තිණෛ පස මෑ කොට නිපුණ කිවින් රචනය කළ පැදි පබඳ සිව්සියෙකින් සැදි සංග්‍රහයෙකි. එහෙයිනි මේ නම. කිවින් 145 දෙනකුට තැන දෙවෙන මෙහි අඩංගු කැරැ ඇත්තේ දිගු යැයි සැලැකුණු, එනම් පේළි 13කට නොඅඩු වූත් 31කට නොවැඩි වූත්, පබඳයැ. මෙහෙයින් මේ පද්‍ය සංග්‍රහය නෙඩුන්දොහෛ (දික් තොගය) යන අපර නාමයෙකින් ද හැඳින්වේ. නෙඩු යනු දිගු යන අරුති. මදුරා පුරයෙහි නිවැසි උප්පූරි-කුං-කිළර් නමැති කිවියාගේ පුත්‍ර වූ උත්තිර සන්මර් නමැති කිවියෙක් මෙහි සංග්‍රහකාරක වේ. මෙහි ලා ඔහුට පිටුබල වූයේ උක්කිර-පෙරු-වළුදි නමැති පඬිරජයැ. මේ රජතුමා ද කිවියෙකි. මෙහි 26 වැන්නත් නට්ට්රිණෛහි 96 වැන්නත් මොහුගේ පබඳයැ. අහනානූරුවට කළ කුදු ටීකාවක් ද විය. ඉන් කොටසක් නොනැසී තවමත් පවතී. ඒ මුල සිට 90 වැන්න දක්වා ලිඛිත කොටසයි.
පුරනානූරු (හටන් සිව්-සීය)
මෙ ද පබඳ 400කින් යුක්ත සංග්‍රහයෙකි. මෙහි එන ප්‍රබන්ධ සියල්ල මැ පුරත්තිණෛ මෑ කොට ගත් රචනායි. එහෙයිනි මේ නම. මෙහි මහවිරු ක්ෂත්රියයන් 123 දෙනෙක් නමින් සඳහන් වෙති. ඔවුන්ගේ වීර ක්‍රියා ද සඳහන් වේ. එහෙයින් පදිට්රුප්පත්තුවෙහි මෙන් මේ සංග්රහයෙහි ද ඵෙතිහාසික අගයක් ඇති. මෙහි ප්‍රබන්ධ 400ක් වියැ යුතු වුව ද මුද්‍රිත සංස්කරණයේ ඇත්තේ 398කි. 267 වැන්නත් 268 වැන්නත් එහි ඌනයැ. 266 වැන්න දක්වා පුරාණ ටීකාවක් ද වේ. මෙහි තැන ලැබෙන කිවින්ගේ සංඛ්‍යාව 157කි.
මේ එට්ටු-ත්-තොහෛයෙහි ගණනින් 250කට ද අධික වූ කවීන්ගේ පද්‍ය ප්‍රබන්ධ අන්තර්ගත වැ ඇති වග යට කියැවිණි. මේ සා මහත් නම් සමුදායෙකැ කැපී පෙනෙන නම් සතරෙකි. ඒ වනාහි පරණර් (භරණ), කබීලර් (කපිල), අව්වෛ, නක්කීරර් යන නම් සතරයැ. මේ නමින් හැඳින්වෙන සිව්දෙනා යැ පුරාණ දෙමළ සාහිත්‍යය බබුළුවන මහ කිවියෝ.
අද අප නිසැක වැ නමින් දන්නා ද්‍රවිඩ කිවින් කෙරෙන් ආදිතමයා පරණර් (භරණ) යැ. එක් අතෙකින් ඔහු හා සමකැලි සේ සැලැකියැ හැකි කබිලර් (කපිල) ඔහුට අවුරුදු කිහිපයකින් වයසින් බාල වූ වග පෙනේ. හෙළ කව්ලොවේ තොටගමුවේ, වෑත්තෑවේ යුවළ වැනියි. මේ උපමාවෙන් කබිලර් පරණර්ගේ ගෝලයකු යන්නක් නොවැ දෙදෙනා සමකැලි වුව ද එකකු අනෙකාට වැඩිමහලුයැ යනු පමණෙකි අදහස් කැරෙනුයේ. අහම් පුරම් යන දෙවගෙහි මැ තිණෛ මෑ කෙරෙමින් පද්‍ය බන්ධනය කළ පරණර්ගේ උපමා කෞශල්‍යය අතිවිචිත්‍රය. මෙන්න නිදසුනක් දෙකක්. (නිදසුන් සියල්ල සිංහල අනුවාදයි.)
මහ වතුරෙව් යන ලුණු වැටි බිඳැ ගෙනැ
සෙනෙහස යෙයි විළි බිය හිම් බිඳැ ගෙනැ
(අහනානූරු 208)
දිය මත බඳ සෙවෙල් පලස අත පෙව් විටැ බිඳී යේයැ
එහෙත් ඒ අත ඉවත ගනුත යළි ළං වී එ හා වේ යැ
විරහ දුකින් පෙළෙන ළඳගෙ සුදු මැළි පැහැයත් එසේ යැ
පෙම්වතු හමුවත නැති වුව ඔහු යෙත යළි එ මතුවේයැ
(කුරුන්දොහෛ 399)
මව් මළ බිළිඳෙක් නොනැවත වැලපේ
ඔබ රුපු රජයත් එම ලෙද වැලපේ
(පුරනානූරු 4)
පරණර් මහ කිවියෙකි. එහෙත් වයසින් ඔහුට කනිටු වූ කපිලර් කවිත්වයෙන් ඔහු ඉකුම්වයි. මේ එට්ටු-ත්-තොහෛයෙහි තැන ලැබී ඇති ප්‍රබන්ධ සංඛ්‍යාව නිසා ද, එ මැ ප්රබන්ධයන්ගේ සාහිත්‍යමය අගය නිසා ද කබිලර්ට සංගම් සාහිත්‍යයේ හිමි වනුයේ ප්රමුඛ ස්ථානය මැයැ. කබිලර් ප්‍රබන්ධ 206 කැ කර්තෘයැ. එට්ටු-ත්-තොහෛයෙහි එන අන්‍ය කවීන්ගේ ඇතැම් ප්රබන්ධයන්හි කබිලර්ගේ නම සඳහන් වේ. ඒ හැම තැනෙකැ මැ එ සැඳහෙනුයේ සාදරයෙනි. මේ එක් තැනක්-
දිය පතළ කබිලර්-කිවිකම්හි අගපත් වූ
(පුරනානූරු 53)
කබිලර් කිවියා භගවාන් නමැති බ්‍රාහ්මණයකු නිසා ආදි නමැති පංචමීයකගෙන් උපන්නෙකු කරන ජනප්රවාදයෙක් වේ. එහි කියැවෙන පරිදි අව්වෛ ඔහුගේ සොහොයුරියකි; තිරුවල්ලුවර් සොහොවුරෙකි. එහෙත් තිර පදනමක් නැති මේ ජනප්‍රවාදය මිථ්යාලාපයක් කොට පණ්ඩිත ලෝකයා සලකති. තත්කාල ද්‍රවිඩ ලෝකයේ සාහිත්‍යධරයනට පිටුබල වූ බොහෝ ප්‍රභූන් කබිලර් දැනැහැඳිනැ සිටිය ද ඔහුගේ විශේෂ ස්තුතියටත් ගුණ කීර්තනයටත් ලක්වනුයේ පාරි නමැති සාමන්ත රාජයෙකි. කබිලර් එක් තැනෙක ඔහු සඳහන් කරන්නේ-
දියටත් වැඩි මෙලෙකක් ඇති පාරි වේල්
(පුරනානූරු 105)
යනුවෙනි. සෙල්ව කඩුංගෝන් වාළියාදන් නමැති චේර රාජයා ද කබිලර්ගේ කීර්තනයට ලක් වෙයි. මේ රජු ඉරුට උපමා කරන කබිලර් තිර ගුණයෙන් ඔහු ඉරු ද ඉකුම් වන වග ඉරු අමතමින්-
එම්බල, ඉමෙකි තට - පිටු පා යනු සිරිති තගෙ
එක් එක් තැනට යන්නෙහි - මුවා වෙහි හත්ගලට ද
(පුරනානූරු 8)
යනුවෙන් කියා ඉරුගේ චාපල්යයට නින්දා කෙරෙයි. පත්තු-ප්-පාට්ටුවෙහි අන්තර්ගත කුරිඤ්ජි-ප්-පාට්ටුව කබිලර්ගේ ප්‍රධාන කෘතියයැ. එසේ මැ ඓඬ්ගුරුනූරුවෙන් පහෙන් එකක් ද ඔහුගේයැ. පරොහු කීමෙහි මේ කිවියා දක්වන්නේ පුදුම හැකියාවෙකි. මෙන්න නිදසුනක්. එක් රටෙකින් තවත් රටකට දීගයේ ආ කාන්තාවකි. ඇය හිමියා බැහැරෙක යේ. එ අතරතුරේ ඇය බලන්නට ඇයගේ ගමින් පැමිණි පැරැණි යෙහෙළියක් සිය ගමරටෙහි දී ඇය විඳි සුව සිරි සිහි කරවමින්, මෙසේ ඇය තනි කැරැ දමා යෑම ගැන ඇයගේ හිමියාට දොස් නඟයි. එහි නොපහන් විරහිණිය මෙසේ පිළිවදන් දෙයි-
පැණියට කිරට වැඩියෙන්, සකි අපේ රට
මිහිරියැ මහිමි ඉන්නා මේ වියැළි රට
මුව කුරයෙන් බිඳි වළැ රැඳි කුණු මඬ ට
මුසු දිය බිඳ වුව මිහිරියැ මගෙ දිව ට
(ඓඞ්ගුරුනූරු 203)
තවත් ගෙදරක තරුණියක් සිය පෙම්වතු හමුවීමට ඉඩ කඩ නැතිවීම නිසා ලෙඩින් වැටේ. ඇයගේ රහස නොදත් මාපියෝ පිළියමට යකැදුරකු කැඳවයි. එ යකැදුරා මතුරන මන්ත්‍රයේ කිහිප වරක් ම කඳ කුමරුගේ නම කියැවේ. මේ විහිළුව බලා සිටින සේවිකාවක් ඒ තරුණියගේ කනට කොඳුරා-
කියයි ගුණ මුරුගන් ගේ
නම ද එ ඔබ පෙම්වතුගේ?
(ඓඬ්ගුරුනූරු 247)
යි අසයි. කබිලර් කළ ඉතා ම චමත්කාර ජනක 'අහම්' ප්රබන්ධයන්හි නියම අරුත ඉංගිතයැ. මේ නිදසුනක්-
එදා එහි නොමැවී - තෙල සොරු මිසක් අනෙකෙක්
කුමක් කරම් ද මම් - මා රැවැටුවොත් එ සොරා?
එදා අප හමුවත - අප නෙතට හසු වූයේ
කොකෙක් පමණෙකි එක් - පිදුරෙව් සිහින් පා ඇති
ගොදුරෙහි ඇලුණු හෙ ද - සිටියේ දියට නෙත දී
(කුරුන්දොහෛ 25)
ස්වභාව සෞන්දර්යය වැනුමෙහි ද කබිලර්ට තුබුණේ විස්මයජනක කෞශල්යයෙකි.
එ දිගු රෑන ඕවිල්ලේ
නැමෙන අත්ත පළුදු කළා
(නට්ට්රිණෛ 222)
කවිත්වයෙහි ලා කබිලර්ට තුබුණේ දස අතැ ගිය ශක්තියෙකි.
අව්වෛ වනාහි දෙමළ සාහිත්‍ය ලෝකය බබුළුවන ආදිතම කිවිවරියයි. අව්වෛ යන නම තරම් සුපතළ නමක් එහි නැති. යන්තම් අකුරු හඳුනන ළදරුවෝ ද මේ නම දනිති. අති-දීර්ඝ කාලයක් ජීවත් වූවක සේ සැලකෙන ඇය නියම වශයෙන් සංගම් යුගයට අයිති වුව ද, අට වැනි ශතකයේ වැජැඹි වේරමාන් පෙරුමාල් රජුගේ කාලයේ ද, දොළොස් වැනි ශතකය බැබැළ වූ ඔට්ට කූත්තන්, කම්බන් ආදීන්ගේ කාලයේ ද, තෙළෙස් වැනි ශතකයේ වැජැඹි පුහළේන්දිගේ කාලයේ ද ජීවමානව සිටියක සේ ජනප්‍රවාදය දක්වයි. එහෙත් මේ අටවැනි, දොළොස් වැනි, තෙළෙස්වැනි ශතකයන් බැබළ වූ අව්වෛලා සංගම් කිවිවරියගෙන් අන්‍ය වූ අය වියැ යුතු. කුඩාවුනට වනපොත් කරවනු ලැබෙන ආත්තිසූඩි, කොන්රෛවේන්දන් යන හිතෝපදේශ ග්රන්ථ ද්වය මේ මෑත භාගයේ විසූ අව්වෛ කෙනකුගේ කෘතියි. එහෙත් පුරාණ අව්වෛ පිළිබඳවැ සංගම් කාලීන කාව්‍යයන්ගෙන් හෙළිවන කරුණු යටකී ජනප්රවාදයේ පැනැ නැඟීමට හේතු වූවාට සැකයෙක් නැති. සංගම් කාලීන අව්වෛ නිදහස් අදහස් ඇති උදාර චරිතයක් ඇති වෘද්ධ පඬිවරියකි, නිපුණ කිවිවරියකි. ඇයගේ කෘතිමාලාවේ පුරම් ප්‍රබන්ධ සංඛ්‍යාව අහම් ප්‍රබන්ධ සංඛ්‍යාව ඉකුම්වයි. සෑම තන්හි මැ ඇය දැක්වෙනුයේ තන්වැසි බසෙහි සපන් සියුම් නුවණැති අභිමානවත් මැහැල්ලක ලෙසයැ. ඇයට පිටුබල වූවන් කෙරෙන් මුල් තැන ගන්නේ අදිහමාන් රජයැ. එහෙයින් පුරනානූරුවෙහි එන ඇයගේ පබඳ කෙරෙන් වැඩි හරියක් මැ මේ රජුගේ ගුණ කීර්තන යැ. වරක් ඇය රාජ දූතයකු කැරැ අදිහමාන් රජුට පිළිමල් වූ තොණ්ඩෛමාන් නම් ප්රතාපවත් රජකු වෙත යවනු ලැබිණි. එහි දී ඒ තොණ්ඩෛමාන් රජු ස්වකීය ආයුධ ශාලාවෙහි එල්ලා තුබුණු නව ආයුධ සම්භාරය පෙන්නූ විටැ අච්වෛ ඔහුට දුන් පිළිතුර උපහාසයෙන් පිරුණකි.
පියා පත්නෙන් සැදි - මාලායෙනුදු සුලකළ
තෙල් අලෙව් කළ තෙල - කැටයමින් හෙබි මිටි ඇති
අවි රැස තොප රකින - මෙහලේ දිලේ වැජඹේ.
එහෙත් රුපු සමුදා - කොටා උන් කඩු බිඳි අවි
ඇදුරාගේ සිඟිති - කම්හල හෙළිය කරවයි.
(පුරනානූරු 95)
අදිහමාන් රජුගේ අභාවප්‍රාප්තිය මෑ කොට අව්වෛ ලියූ ශෝක ගීත තුනෙකි. ඉන් එකක් - පුරනානූරු 235 - දෙමළ සාහිත්‍යයේ එන ඉහළ මැ ශෝක ගීතය කොට සැලැකේ. පුරනානූරුවෙහි එන ඇයගේ ප්‍රබන්ධයන්ගෙන් අව්වෛගේ උදාර කව් ශක්තිය මැනැවින් පැහැදිලි වේ. ඕ දුර්ලභ ගණයේ කිවිවරියකි.
දශගීතයේ (පත්තු-ප්-පාට්ටුවෙහි) අන්තර්ගත නෙඩු නළ්වාඩෛ, තිරු මුරුගාට්රුප්පඩෛ යන කාව්‍යද්වය කළ නන්කීරර් අදත් ජනප්‍රිය කවියෙකි. ඔහුගේ නෙඩුනල්වාඩෛයට සම කළ හැකි අන් පබඳෙක් සංගම් සාහිත්‍යයෙහි නැති. කාව්‍යකරණයෙහි ලා තමාට පිටුබල වූ නෙඩුඤ්චේලියන් රජුගේ ගුණ කීර්තනයක් වන ඒ කාව්‍යය වනාහි ද්‍රවිඩ ප්රශස්ති සාහිත්‍ය ලෝකයට මුදුන් මල්කඩක් වැන්න. තිරුමුරුගාට්රුප්පඩෛ භක්ති කාව්‍යයෙකි. කඳකුමරුගෙන් වරප්‍රසාද ලබා ගන්නා සැටි පැවැසෙන එ ද ද්‍රවිඩ භක්ති කාව්‍ය ලෝකයේ වැජඹෙන්නේ මුල් තැනෙහියැ. එට්ටු-ත්-තොහෛයෙහි නක්කීරර්ගේ පබඳ එනුයේ අහනානූරුවෙහියැ. මෙහි ඔහු වෙසෙසි රුචියක් දක්වන්නේ පාලෛත්තිණෛ වර්ණනයට යැ. සංගම් සාහිත්‍ය ලෝකයේ උපමා රූපක විෂයෙහි ඔහුට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. වයසින් කබිලර්ට කනිටු වුව ද කවිත්වයෙන් කනිටු නොවූ නක්කීරර් තත්කාල කවිලෝකයේ ප්රමුඛස්ථානයක් ගත් මහ කිවියෙකි.
(සංස්කරණය: 1974)