එඩ්වඩ් ද කොන්ෆෙසර්
සිංහල විශ්වකෝෂය වෙතින්
(1003-1066). දෙවැනි එතල්රෙඩ් නම් ඉංග්‍රීසි රජතුමාගේ පුතකු වූ මොහු ක්‍රි.ව. 1042 සිට 1066 දක්වා එංගලන්තයෙහි රජ කෙළේය. ආගමට දැක් වූ ලැදියාව නිසා සාන්තුවරවාචී 'ද කොන්ෆෙසර්' යන විරුද නාමය ලත් මෙතෙම පෞද්ගලික වශයෙන් එංගලන්තයේ නෝමන්වරුන්ට පක්ෂපාතීව ක්‍රියා කළ බව පෙනේ. මේ හේතුකොටගෙන, එවක එංගලන්තයේ ඉතා ම බලසම්පන්න රදලවරයා වූ ද රජුගේ මාමණ්ඩි වූ ද ගොඩ්වින් ආදිපාදවරයා සහ රජු අතර බලවත් භේද ඇති විය. රජුගේ නියෝග කඩකොට විදෙස්ගත වූ ගොඩ්වින් සිය පුතුන් ද සමඟ අන්තිමේ දී 1051 දී ආපසු පැමිණ සිය බලය විදහා දැක්වූයෙන් ගොඩ්වින්ගේ අදහස්වලට අනුකූලව කටයුතු කිරීමට රජුට සිදු විය. නරපාලකයකුට වඩා තාපසයකුට ඔබින ගුණාංගවලින් යුක්ත වූ එඩ්වඩ් තෙමේ 1066 දී කලුරිය කෙළේය. සුප්‍රකට වෙස්ට්මින්ස්ටර් ඇබි දේවස්ථානය ප්‍රතිෂ්ඨාපනය කෙළේ ඔහුය.
(සංස්කරණය: 1974)