එඩුයි
(Aedui). ප්‍රංසයේ ල්වාර් (Loire) හා සෝන් (Saône) යන ගංගා දෙක අතර ප්‍රදේශයේ විසූ කෙල්ටික් කොට්ඨාසයට අයත් මනුෂ්‍ය වර්ගයකි. ක්‍රි.පූ. 121 දී ඔව්හු තම අසල් වැස්සන් වූ ආවර්නිවරුන්ට (Arverni) විරුද්ධව රෝමවරුන්ගේ පක්ෂය ගත්හ. මධ්‍ය ගල්ලියා ප්‍රදේශයේ මනුෂ්‍ය වර්ග කීපයක් යටත් කරගත් ඔව්හු ක්‍රි.පූ. 61 දී සෙක්වානිවරුන් (Sequani) විසින් පරාජය කරන ලදහ. මේ පරාජයෙන් පසුව ඔවුන් මුදාගනු ලැබුවේ ජුලියස් සීසර් විසිනි. පළමු කොට සීසර්ගේ පක්ෂය ගත් ඔව්හු පසුව සීසර්ට විරුද්ධ කැරැල්ලකට උදව්දුන්හ. එහෙත් රෝමවරුන්ගෙන් ක්ෂමාව ලත් ඔව්හු ඔගස්ටස් සීසර්ගේ අණ පරිදි ඔවුන්ගේ පුරාණ ප්‍රධාන නගරය වූ බිබ්රැක්ටි (Bibracte) අත්හැර දමා ඔගස්ටොඩ්‍යුනම් (Augustodunum) නම් අලුත් නගරය ගොඩනඟා ගත්හ. ක්‍රි.ව. 21 දී ඔවුන් රෝමවරුන්ට විරුද්ධව කැරලි ගැසූ නමුත් රයින් හමුදාව විසින් ලේසියෙන් කැරැල්ල මැඩ පවත්වන ලදි. ඉන් පසු ඔව්හු රෝමයෙන් ගැළවීමේ අදහස හැර දැමූහ. ක්‍රි.ව. 48 දී ඔවුන් අතුරෙන් රෝම සෙනට් සභාවට මන්ත්‍රීවරු තෝරාගනු ලැබූහ. ගල්ලියා කොමාටාවට (Gallia Comata) අයිති මනුෂ්‍යවර්ග අතුරෙන් මුලින් ම සෙනෙට්සභිකවරුන් තෝරාගනු ලැබුවේ ද එඩුයිවරුන්ගෙනි.
(සංස්කරණය: 1974)