එඬේර කුරුල්ලා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ලෙයුකොසිර්කා අවුරෙයොලා කොම්ප්‍රෙසිරොස්ට්‍රිස් - Leucocirca aureola compressirostris Blyth). ගේ කුරුල්ලාට වඩා තරමක් කුඩා පක්ෂියෙකි. ලංකාවේ දකුණු පළාතේ වියළි ප්‍රදේශවල ද නැගෙනහිර හා ඌව පළාත්වල ද මේ කුරුල්ලා දක්නට ලැබේ. ඌ සාමාන්‍යයෙන් ගැවසෙන්නේ ගස් අතුවලය. බිමට බසින්නේ කලාතුරකිනි. බිම සිටින්නේ ද ටික වේලාවක් පමණකි. කිසි විටෙකත් නිශ්චලව නොසිටී. උගේ ශරීරයේ කොටසක් කළුපාටය, අනික් කොටස සුදුපාටය. පෙඳය දිගය; පළල්ය. උගේ පියාපත් තරමක් දිගය. කකුල් කුඩාය; දුර්වලය. හොට කුඩාය. පැතැළිය; පළල්ය. අධෝහනු දෙපැත්තේ ශක්තිමත් දිග රළු කෙඳි තිබේ. කෘමීන් අල්ලා ගැනීමට ඌ මේවා උපකාර කරගනී.

එඬේර කුරුල්ලා තම ප්‍රධාන ආහාරය වන කෘමීන් අල්ලා ගන්නේ පියාසර කරමින්ය. උගේ ශරීරය ඊට හැඩ ගැසී තිබේ.

මේ කුරුල්ලා උගේ පෙඳය අවානක් සේ විදහාගෙන පියාපත් පහත් කරගෙන නටයි. එබැවින් ඌ නටන කුරුල්ලා යන නමින් ද හැඳින්වේ. මොවුහු ජෝඩු වශයෙන් ජීවත් වෙති. කුරුල්ලා හා කිරිල්ල පෙනුමෙන් එක සමානය. උන්ගේ ප්‍රජනන කාලය ජනවාරි සිට ජූලි දක්වාය. කෙඳි, මුල් ආදියෙන් වැඩි මුවාවක් නැති එළිමහනේ කූඩු සාදන බැවින් කාක උරගාදීන්ගෙන් උගේ බිත්තරවලට හානි සිදු වේ. කිරිල්ල එක වරකට බිත්තර දෙකක් හෝ තුනක් දමයි. ඒවා ඇත්දත් පාටය. සාමාන්‍යයෙන් පැටවුන්ගේ ශරීර තිත් සහිතය.

ඉන්දියාව, බුරුමය හා තායිලන්තය යන රටවලත් මේ කුරුල්ලෝ දක්නට ලැබෙත්. එඬේර කුරුල්ලා පසෙරිපෝමේස් (Passeriformes) ගෝත්‍රයෙහි මුස්කිකපිඩෙ (Muscicapidae) කුලයට අයත්ය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එඬේර_කුරුල්ලා&oldid=10957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි