එන්ග්‍රේව් කිරීම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අලංකාරය සඳහා හැඩවැඩ දමීම පිණිස හෝ පිටපත් ලබාගැනීමට මුද්‍රණය කිරීම සඳහා හෝ ලෝහ හා ලී වැනි තද ද්‍රව්‍යයක මතුපිට ඇතුළට කපා හැරීමෙන් විවිධ රටා, අක්ෂර, රේඛා යනාදිය තැනීම එන්ග්‍රේව් කිරීම යන්නෙන් අදහස් කෙරේ. එහෙත් පොදුවේ ගැනෙන කල චිත්‍රයන්ගේ මුද්‍රිත පිටපත් ලබා ගැනීම සඳහා යොදාගනු ලබන විවිධ උපක්‍රම එන්ග්‍රේව් කිරීම යනුවෙන් හැඳින්වේ.

ඉන්ටාලියෝ (intaglio), උන්නත (relief), පෘෂ්ඨික (surface) යයි එන්ග්‍රේව් කිරීම ප්‍රධාන වශයෙන් ත්‍රිවිධ වෙයි. ඉන්ටාලියෝ එන්ග්‍රේව් කිරීම කරනු ලබන්නේ ලෝහ මතයි. එසේ එන්ග්‍රේව් කිරීම දී ඔප දමන ලද ලෝහ තහඩුවක් මත වානේ කැටයම් කටු උපයෝගී කොටගෙන හෝ රසායනික ක්‍රම උපයෝගී කොටගෙන හෝ අවශ්‍ය රටාව හාරනු ලැබේ. මුද්‍රණය කිරීමේ දී තහඩුව මත තීන්ත ඇතිරීමෙන් කැපුම් තුළට තීන්ත හොඳින් වදින්නට සලස්වා තහඩුව මත රැඳී ඇති වැඩිමනත් තීන්ත රෙදිකඩකින් පිසදමා ඉවත් කරනු ලැබේ. අනතුරුව පෙඟුණු කඩදාසියක් තහඩුව මත තබා මුද්‍රණ යන්ත්‍රයක් මගින් තෙරපනු ලැබේ. එවිට තහඩුව මත ඇති කැපුම් තුළට වදින තෙත කඩදාසියෙහි රටාව මුද්‍රණය වේ. මෙම මුද්‍රණ ක්‍රමය අච්චු අකුරු මුද්‍රණයට හෝ ලිතෝ මුද්‍රණයට (බ.) වඩා වෙනස් වේ. උන්නත හා පෘෂ්ඨික ක්‍රමවලින් ඉන්ටාලියෝ ක්‍රමය වෙනස් වන්නේ ද, මේ මුද්‍රණය කිරීමේ විශේෂත්වය නිසායි. උන්නත එන්ග්‍රේව් කිරීමේ දී මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය රටාව සමතල තහඩු තුළට හෑරීමෙන් හෝ රටාව ඉල්පී ඉතිරි වන පරිදි අනවශ්‍ය කොටස් ඉවත් කිරීමෙන් හෝ මුද්‍රණ අච්චුව සාදාගනු ලැබේ. අනතුරුව එම අච්චුව මතුපිට තීන්ත ගල්වා මුද්‍රණය කිරීමෙන් අවශ්‍ය රටාවේ පිටපත් ලබාගත හැකියි. මෙහි දී අවශ්‍ය රටාව තහඩුව තුළට හාරා ඇති විට කළු පසුබිමකින් යුතු සුදු රේඛා මගින් ද, අවශ්‍ය රටාව ඉතිරි වන සේ අනවශ්‍ය කොටස් හාරා ඇති විට සුදු පසුබිමක කළු රේඛා මගින් ද රටාව නිරූපණය කෙරේ. පෘෂ්ඨික ක්‍රමයේ දී මුද්‍රණය සඳහා යොදා ගනු ලබන තහඩුව හෑරීමක් කරනු නොලැබේ. මේ නිසා නියම වශයෙන් බලන කල මෙහි කිසි ම එන්ග්‍රේව් කිරීමක් කරනු නොලැබේ. ලිතෝ මුද්‍රණ ක්‍රමය මීට නිදසුනකි. 1798 දී අල්වා සෙනෙෆෙල්ඩර් (Alois Senefelder) විසින්මෙම ක්‍රමය නිපදවන ලදි. මෙම ක්‍රමයේ දී සුමට ගල් තහඩුවක් මත ග්‍රීස් මුසු රටහුනුවලින් මෝස්තරය සිතුවම් කරනු ලැබේ. අනතුරුව තෙත් කරනු ලබන ගල්තහඩුව මත රෝලක් උපයෝගී කොට ග්‍රීස් මුසු තීන්ත අතුරනු ලැබේ. එවිට තෙත කොටස්වලට තීන්ත නාල්ලන අතර තෙල් රටහුනු මගින් අඳින ලද මෝස්තරය මතුපිට ග්‍රීස් මුසු තීන්ත අල්ලයි. එමනිසා මුද්‍රණය කිරීමේ දී මෝස්තරයේ පිටපත් ලැබේ.

එන්ග්‍රේව් කිරීමේ දී ලෝහ හා දැව උපයෝගී කරගනු ලැබේ. මේ නිසා ලෝහ මත එන්ග්‍රේව් කිරීම හා දැව මත එන්ග්‍රේව් කිරීම යනුවෙන් එන්ග්‍රේව් කිරීම කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.

ලෝහ මත එන්ග්‍රේව් කිරීම

එන්ග්‍රේව් කිරීම සඳහා උපයෝගී කරගන්නා මෙවලම් මගින් ලෝහ තහඩුව හෑරීමෙන් ද, රසායනික ක්‍රම උපයෝගී කොට ලෝහ තහඩුව ඛාදනය කරවීමෙන් දැයි දෙයාකාරයකින් ප්‍රධාන වශයෙන් ලෝහ මත එන්ග්‍රේව් කිරීම කළ හැකිය. බොහෝ අවස්ථාවල දී මෙම ක්‍රම දෙක ම එක ම තහඩුව නිපදවීම සඳහා යොදාගනු ලැබේ. ඔපදමන ලද ලෝහ මතුපිට වානේ කැටයම් කටුවක් මගින් V-කට්ටයක් පිහිටන අයුරු හෑරීමෙන් රේඛා එන්ග්‍රේව් කිරීමට පිළිවන. මෙසේ කිරීමේ දී කැපුමෙහි දෙපැත්තේ සියුම් ලෝහ තීරුවක් මතු වේ. සූරණයක් (scraper) මගින් එය ඉවත් කළ හැකිය. රේඛා එන්ග්‍රේව් කිරීම බොහෝවිට කරනු ලබන්නේ ආයුධය තහඩුව දිගේ ගමන් කරවනු වෙනුවට අල්ලට තෙරපෙන සේ දබර ඇඟිල්ල හා මාපට ඇඟිල්ල මගින් ආයුධය තදින් අල්ලාගෙන යෙදෙන පීඩනයට විරුද්ධව තහඩුව ගමන් කරවීමෙනි. කැපුමක් අවසාන වන තෙක් ආයුධය නොඋස්සා මෙහෙයවීමට අවස්ථාව මින් සැලසේ. තහඩුව හැසිරවීම පහසු කිරීම පිණිස සමින් කළ කොට්ටයක් මත තහඩුව තබනු ලැබේ. ඩ්‍රයි පොයින්ට් නමින් හඳුන්වනු ලබන එන්ග්‍රේව් කිරීමේ දී ඔප දමන ලද තහඩුවේ මතුපිට තියුණු ඉදිකටුවක් වැනි කැටයම් කටුවකින් සූරනු ලැබේ. සාමාන්‍යයෙන් මෙය කරනු ලබන්නේ තහඩුව මත කටුව තබා කැටයම් කරන්නා දෙසට කටුව ඇදීමෙනි. මෙහි දී තහඩුව මත කටුකොහොල් ඇති වේ. තහඩුව මත තීන්ත ගැල් වූ විට තීන්ත අල්ලන මෙම කටුකොහොල්වලින් අවශ්‍ය මෝස්තරය මුද්‍රණය වේ.

මෙඩ්සොටින්ට් (mezzotint) ක්‍රමය අනුව එන්ග්‍රේව් කිරීමේ දී ඒකාකාර කළු සටහනක් මුද්‍රණයේ දී දෙනු පිණිස තඹ හෝ වානේ තහඩුවක් මත ඉතා සියුම් සිදුරු කොටනු ලැබේ. බොහෝවිට මේ සඳහා යන්ත්‍රයක් උපයෝගී කරගනු ලැබේ. මුද්‍රිත පිටපතෙහි සුදු වර්ණය හා මඳ අඳුර තිබිය යුතු තැන් ලබාගැනීම සඳහා තහඩුවේ ඇති සියුම් සිදුරු සුදුසු ආකාරයට සූරා ඉවත් කරනු ලැබේ. මෙම ක්‍රමයේ දී මුද්‍රිත පිටපත් විල්ලූදයකින් නිමවන ලද සිතුවමක් මෙන් පෙනීයන්නේ තහඩුවේ සියුම් සිදුරු තැනීමේ දී මතුවන සියුම් කටුකොහොල් නිසාය. ක්‍රමවත්ව සියුම් සිදුරු සහිත තහඩුව සීරීමෙන් චිත්‍රයට අවශ්‍ය ආකාරයේ තාන යෙදිය හැකිය.

රසායනික ද්‍රව්‍ය යොදා එන්ග්‍රේව් කිරීමේ දී ලෝහ තහඩුව අම්ල මගින් ඛාදනය කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය නිරේඛනය කිරීම (etching) යනුවෙන් හැඳින්වේ. මෙහි දී පළමුවෙන් ම හොඳින් ඔප දමන ලද ලෝහ තහඩුව මත ඉටි, දුම්මල හා ගම් යන මේවායින් යුතු මිශ්‍රණයක් ආලේප කරනු ලැබේ. සාමාන්‍යයෙන් මෙය කරනු ලබන්නේ තහඩුව මත මිශ්‍රණය දමා රත් කිරීමෙනි. අනතුරුව නිරේඛන ඉදිකටුවක් උපයෝගී කොට චිත්‍රය ඒ මත සිතුවම් කරනු ලැබේ. මෙසේ කිරීමේ දී ඉදිකටුව දුවන මාර්ගයේ ඇති ඉටි ඉවත් වී ලෝහ මතුපිට පෑදේ. ඉන්පසු තහඩුවේ පැති හා පිටුපස ඉටියෙන් ආවරණය කොට අම්ල භාජනයක ගිල්වීමෙන් ඛාදනය වීමට ඉඩ හරිනු ලැබේ. මේ සඳහා සාමාන්‍යයෙන් තනුක නයිට්රික් අම්ලය හෝ පොටෑසියම් ක්ලෝරේට් මිශ්‍රිත තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හෝ යොදාගනු ලැබේ. සියුම් රේඛා සෑහෙන ප්‍රමාණයකින් ඛාදනය වූ පසු තහඩුව ඉවතට ගෙන වාර්නිස් ආලේප කිරීමෙන් එම රේඛා තවදුරටත් ඛාදනය වීම වළක්වනු ලැබේ. ගැඹුරු රේඛා ඛාදනය කිරීම පිණිස තහඩුව නැවත අම්ලයේ ගිල්වනු ලැබේ. මේ ක්‍රමයෙන් ඒ ඒ ප්‍රමාණයට සරිලන ගැඹුරින් යුතු රේඛා ලබා ගැනීමට පිළිවන.

මෘදු නිරේඛනයේ (soft etching) දී ලෝහ තහඩුව මත ගවතෙල් ආලේප කොට අනතුරුව ඒ මත තුනී කඩදාසියක් අතුරා එම කඩදාසිය මත චිත්‍රය අඳිනු ලැබේ. මෙහි දී පැන්සල් තුඩ තදින් එබුණු තැන්වලින් වැඩි ප්‍රමාණයක් ද අඩුවෙන් එබුණු තැන්වලින් අඩු ප්‍රමාණයක් ද යනාදි වශයෙන් කඩදාසියේ ගවතෙල් ඇලෙයි. කඩදාසිය ඉවත් කිරීමේ දී තහඩුව මත ඇතිවන සටහන නිරේඛනය කරනු ලැබේ. පැන්සලයකින් ඇඳීමෙන් ලබාගත හැකි ආකාරයේ කෘතියක් ලබාගැනීමට හැකි වීම මෙහි ඇති වාසියකි.

ඇක්වා ටින්ට් (aqua tint) ක්‍රමය ද රසායනික එන්ග්‍රේව් කිරීමේ ක්‍රමයකි. මෙහි මූලික න්‍යාය වූකලි ලෝහ තහඩුවක් මත අතුරන ලද සවිවර මාධ්‍යයක් ඔස්සේ අම්ලය කාන්දු වීමට හැරීමෙන් ලෝහය ඛාදනය කිරීමයි. මෙම ක්‍රමය යොදා චිත්‍රවල තානයක් ලබාගැනීමට පිළිවන. තහඩුව මතු පිට සියුම් දුම්මල කුඩු ඉසීමෙන් පසු ද්‍රව කිරීමෙන් ද, වයින් ස්පිරිත්තුවල දුම්මල දිය කොට තහඩුව මත ආලේප කිරීමෙන් දැයි යන දෙයාකාරයෙන් සවිවර මාධ්‍යය තහඩුව මත ඇති කළ හැකිය. මුද්‍රිත පිටපතෙහි සුදු පැහැයෙන් දිස්විය යුතු කොටස්වල වාර්නිස් ආලේප කිරීමෙන් පසු තහඩුවේ පැති ආරක්ෂා කොට අම්ලයේ ගිල්වීමෙන් නිරේඛනය කරනු ලැබේ. වැඩි වේලාවක් ඛාදනය වීමෙන් ඉතා තද කළු පැහැයෙන් මුද්‍රණය විය යුතු කොටස් ලැබේ. මේ නිසා පියවරෙන් පියවර අඩු කළු පැහැයෙන් දිස්විය යුතු කොටස්වල වාර්නිස් අතුරා ඛාදනය නැවැත්වීමෙන් චිත්‍රයට තාන යෙදිය හැකිය. එන්ග්‍රේව් කිරීම හා නිරේඛනය කිරීම එකට යොදාගැනීමෙන් ද පිටපත් මුද්‍රණය සඳහා අවශ්‍ය අච්චු නිපදවාගත හැකිය. තිත් හා ක්‍රේයොන් (stipple and crayon) ක්‍රමය මෙවැනි එකකි. මෙහිදී ඉටි අතුරන ලද තහඩුව මත චිත්‍රයේ බහිර් රේඛා තිත් රේඛා මගින් ලකුණු කොට නිරේඛනය කරනු ලැබේ. පසුව තහඩුව පිරිසිදු කොට චිත්‍රයේ ඉතිරි කොටස් කැටයම් කටුවකින් නිරේඛනය කරනු ලැබේ.

ලෝහ මත එන්ග්‍රේව් කිරීමේ දී තුත්තනාගම්, යකඩ, රිදී, වානේ හා පිත්තල වැනි ද්‍රව්‍ය උපයෝගි කරගත හැකි නමුත් තඹ මේ සඳහා බහුලව යොදා ගනු ලැබේ. අනෙක් ද්‍රව්‍ය සමග සසඳන විට තඹවල ඇති මෘදු ගතිය මීට හේතු වේ. එහෙත් අනෙක් අතට තඹ තහඩුව මුද්‍රණයේ දී පහසුවෙන් ගෙවීයාම මෙහි ඇති අවාසියකි.

මුල් පිටපත් උපයෝගී කොට එන්ග්‍රේව් කිරීමේදී පළමු චිත්‍රය දෙස බලාගෙන එය එන්ග්‍රේව් කිරීමෙන් අනතුරුව පිටපත් ලබාගත හොත් එම චිත්‍රයන්හි පාර්ශ්වික අපවර්තනයක් දක්නට ලැබේ. එහෙයින් එන්ග්‍රේව් කිරීම සඳහා චිත්‍රයක් සිතුවම් කිරීමේ දී එම චිත්‍රය තල දර්පණයකින් පරාවර්තනය වීමෙන් ලැබෙන ප්‍රතිබිම්බයේ ආකාරයට සිතුවම් කිරීම අවශ්‍ය වේ. ඡායා තහඩු සෑදීමේ ක්‍රමයේ දී (photo engraving) මෙම අපහසුව පැන නොනගී.

චිත්‍ර සිතුවම් කිරීමේ දී අවශ්‍ය චිත්‍ර සටහන් කිරීම සඳහා ඡායායාන්ත්‍රික ක්‍රමයේ දී (photomechanical process) උපයෝගී කරගනු ලබන මූල ධර්මය අනුව ඕනෑ ම චිත්‍රයක් සියුම් තිත්වලින් සමන්විත වේ. මෙවැනි කුඩා තිත් රාශිභූත වීමෙන් තද කළු පැහැය ද, කුඩා තිත් පැතිරීමෙන් මඳ කළු පැහැය ද ඇති චිත්‍ර ලැබේ. සුදු පැහැති කොටස් ලැබෙන්නේ මෙවැනි තිත් නොමැති කොටස්වලිනි. සංවේදීකෘත ලෝහ තහඩුවක් මත ආලෝකය පතිත වීමේ දී චිත්‍රයේ පාරදෘශ්‍ය කොටස් තුළින් ගමන් කරන ආලෝකය මගින්, ලෝහ තහඩුව මත ඇති තෛලෝදය අද්‍රාව්‍ය බවට පත් කෙරේ. ඊට පසුව තහඩුව සේදීමෙන් ද්‍රාව්‍ය තෛලෝද කොටස් සෝදා හැර රත් කිරීමෙන් අම්ල ඛාදනයට විරෝධය දක්වන තෛලෝද තට්ටුවක් වශයෙන් චිත්‍රය තහඩුව මත දෘශ්‍යමාන වේ.

දැව මත එන්ග්‍රේව් කිරීම හා දැව ලියැවීම

මැටි පිඩු හෝ ඉටි තහඩු මත ලාංඡන තැබීම සඳහා පුරාණයේ උපයෝගී කරගන්නා ලද ලී මුද්‍රා තවදුරටත් දියුණු කිරීමෙන් චීන ජාතිකයන් විසින් අච්චු මුද්‍රණය මගින් මෝස්තර පිටපත් ලබා ගැනීමට අවශ්‍ය ලී අච්චු නිපදවා ගත් බව විශ්වාස කරනු ලැබේ. මෙවැනි මුද්‍රිත මෝස්තර පිටපත් ලබා ගැනීම සඳහා අවශ්‍ය කඩදාසි 14 වන ශතවර්ෂය වන තෙක් යුරෝපයේ නොතිබුණ ද, ක්‍රි.ව. 105 පමණ කාලයේ සිට චීනයේ මුද්‍රණ කඩදාසි නිපදවා තිබීම සනාථ කරන වාර්තා මගින් මෙම මතය තවදුරටත් ස්ථිර කෙරේ. කඩදාසි මුද්‍රණයට ප්‍රථම රෙදිපිළීවල මෝස්තර මුද්‍රණය කිරීම සඳහා යුරෝපයෙහි ද ලියවන ලද ලී අච්චු යොදාගත් බව සඳහන් වේ.

ලියවන ලද ලී තහඩුවක මතුපිට පෘෂ්ඨයෙහි තීන්ත ආලේප කොට මුද්‍රණය කිරීමෙන් ලබා ගන්නා මුද්‍රිත පිටපත් කාෂ්ඨ චිත්‍ර යනුවෙන් හඳුන්වනු ලැබේ. මුල දී මුද්‍රණ කටයුතු දියුණු කිරීමෙහි ලා මූලික පරමාර්ථය වූයේ ආගමික හැඟීම් පතුරුවා හැරීමයි. මේ නිසා එකල නිම කරනු ලැබූ කාෂ්ඨ චිත්‍ර සියල්ල ම පාහේ ආගම් කර්තෘවරුන්ගේ හා දෙවිවරුන්ගේ කරුණාව විදහා පාන සංකේත මූල බීජ කොටගත් ඒවාය. ක්‍රිස්තුස් වහන්සේ හෙරෝද් රජු ඉදිරියෙහි සිටිනු පෙන්නුම් කරන කාෂ්ඨ චිත්‍රය නිදසුනකි. 1400 දී පමණ කරන ලද්දකැයි විශ්වාස කරනු ලබන මෙය දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි තැන්පත් කොට තිබේ. මැන්චෙස්ටර්හි ජෝන් රයිලන්ඩ් පුස්තකාලයේ ඇති ‘සාන්ත ක්‍රිස්ටෝපර්’ නමැති කාෂ්ඨ චිත්‍රයෙහි 1423 වර්ෂය සඳහන් වේ.

පින්තූර පොත් මුද්‍රණය ජනප්‍රියවීමත් සමඟ ම කාෂ්ඨ චිත්‍රවල කැපී පෙනෙන දියුණුවක් ඇති වූ බව දක්නට ලැබේ. මේ සඳහා අවශ්‍ය මුද්‍රණ අච්චු සියල්ල ම පාහේ දකුණු ජර්මනිය, ඕස්ට්‍රියාව හා නෙදර්ලන්තය යන රටවල නිපදවන ලදි. අච්චු අකුරු නිපැදවීමට ප්‍රථම මුද්‍රණය කරන ලද පින්තූර පොත්වල ශීර්ෂ ආදි අකුරු පාඨ නිමවන ලද්දේ ද චිත්‍රය මෙන් ලීයෙහි අකුරු කැපීමෙනි. Exercitium super Pater Noster (ස්වාමීන්වහන්සේගේ යාච්ඤාව පුරුදු කිරීම), Apocalypse (එළිදරවු කිරීම), Biblia Pauperum (දිළින්දන්ගේ බයිබලය) යන මේවා මෙවැනි පොත් කිහිපයකි. මෙම පින්තූර පොත්වලින් ආගමික හැඟීම් පිළිබිඹු කෙරේ.

අල්බ්රෙහ්ට් ඩ්‍යුරර් (Albrecht Dürer) (1470-1528) හා ඔහුගේ අනුගාමිකයන් විසින් 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී කාෂ්ඨ චිත්‍ර නිර්මාණය ඉතා දියුණු අවස්ථාවකට පත් කරන ලදි. ඩ්‍යුරර්ගේ කාෂ්ඨ චිත්‍රවලින් සෑහෙන ප්‍රමාණයක් වියනාහි ද බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ද ආරක්ෂිතව තැන්පත් කොට තිබේ. ප්‍රසිද්ධියට පත් නොකෙරුණු ටෙරන්ස්ගේ සුඛාන්ත නාටක නමැති පින්තූර පොතක් නිපැදවීම සඳහා සකස් කරන ලද කාෂ්ඨ චිත්‍ර රාශියක් බාල් (Basle) නගරයේ මුද්‍රණ කන්තෝරුවක තිබී සොයාගන්නා ලදි. මෙම කාෂ්ඨ චිත්‍ර සිතුවම් කරන ලද්දේ ඩ්‍යුරර් විසිනි. මෙම චිත්‍රවලින් සමහරක් සිතුවම් කළ ගමන් ම ද, තවත් සමහරක් කොටස් වශයෙන් කපා ද, සමහරක් මුද්‍රණයට සුදුසු ලෙස සකස් කර ද තිබේ. මේ නිසා කාෂ්ඨ චිත්‍ර කැපීම සඳහා එකල භාවිත වුණු ක්‍රම පිළිබඳව පැහැදිලි අදහසක් මෙම චිත්‍ර උපයෝගී කොට ලබාගැනීමට පිළිවන් විය.

16 වන ශත වර්ෂයේ මැද භාගයෙන් පටන් ගෙන 17 වන ශත වර්ෂය පුරා කාෂ්ඨ චිත්‍ර නිර්මාණයේ වැදගත්කම ක්‍රමයෙන් යටපත් කරමින් ලී එන්ග්‍රේව් කිරීම දියුණු විය. ඕලන්දයේ හෙන්ඩ්රික් ගෝල්ට්සියස් (Goltzius) හා ජාන් ලීවන්ස් (Lievens) විසින් කරනු ලැබූ උසස් චිත්‍ර කිහිපයක් බිහි වුණ ද, 18 වන ශත වර්ෂයේ අවසාන භාගය දක්වා මෙම තත්ත්වයෙහි වෙනසක් ඇති නොවීය. එහෙත් නිව්කාසල්හි තෝමස් බ්‍යුවික් (Bewick) විසින් කුරුල්ලන්ගේ සහ සත්වයන්ගේ රූප නිර්මාණය කරමින් නව ක්‍රමයකට කාෂ්ඨ චිත්‍ර නිපැදවීම නිසා, නැවත වරක් මෙම කලාව කලඑළිවිය. මුල දී කාෂ්ඨ චිත්‍ර නිපදවන ලද්දේ සුදු පසුතලයක කළු රේඛාවලින් චිත්‍රය මුද්‍රණය වන පරිදිය. මේ නිසා ලී කුට්ටියෙන් විශාල ප්‍රමාණයක් කපා ඉවත් කිරීමට සිදුවිය. එහි ඇති අවාසිය නම් ලීය මෘදු නිසා වයිරමට සමාන්තරව කපන ලද රේඛා මුද්‍රණයේ දී තෙරපෙන විට පලුදු වීමයි. බ්‍යුවික්ගේ කාලයෙන් පසු මෙම අවාසිය මග හරවා ගැනීම සඳහා වයිරමට ලම්බාකාරව පිහිටන පරිදි කපා ගන්නා ලද ලී තහඩුව මත කළු පසුබිමක සුදු රේඛා මගින් මෝස්තරය ලැබෙන පරිදි කාෂ්ඨ චිත්‍ර නිර්මාණය කරන ලදි. බ්‍යුවික් විසින් නිර්මාණය කරන ලද කාෂ්ඨ චිත්‍ර අතුරින් ඉතා ප්‍රසිද්ධියට පත් වූ චිත්‍රය වන The Chillingham Bull නම් කාෂ්ඨ චිත්‍රය පරීක්ෂා කිරීමේ දී ශිල්පියා විසින් කළු පසුබිමෙහි සුදු රේඛා එන්ග්‍රේව් කිරීමට අමතරව පැරණි ක්‍රමය අනුව කළු රේඛා ද උපයෝගී කරගෙන ඇති බව පැහැදිලිව පෙනේ.

එන්ග්‍රේව් කිරීමේ දී හා කාෂ්ඨ චිත්‍ර සඳහා අච්චු තැනීමේ දී මෘදු ලී උපයෝගී කරගනු ලැබේ. ලීයේ වයිරම පිහිටි අතට සමාන්තරව කපාගත් ලෑලි වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගනිත්. එහෙත් පිටපත් විශාල සංඛ්‍යාවක් ලබාගැනීම සඳහා අච්චුව උපයෝගී කරගන්නා විට, වයිරමට ලම්බක අතට කපාගත් ලෑලි වඩාත් යෝග්‍යය. එන්ග්‍රේව් කිරීමේ දී පළමුව ලෑල්ල මට්ටම් කරගනු ලැබේ. මෙලෙස මට්ටම් කරන ලද ලෑල්ලක ඝනකම අඟල් 0.916කි. මෙම ඝනකමට ම ලෑලි තනනු ලබන්නේ අච්චු අකුරු සමග එකට යොදා මුද්‍රණය කිරීමට හැකිවනු පිණිසය.

මෝස්තරය ලී තහඩුව මත ඇඳීමට හෝ පිටපත් කිරීමට පිළිවන. සමහර අවස්ථාවල දී කඩදාසියක අඳින ලද මෝස්තරය ලී තහඩුව මත අලවනු ලැබේ. මේ හැම අවස්ථාවක දී ම මුද්‍රණයෙන් ලබාගැනීමට අදහස් කරන චිත්‍රය ප්‍රතිවර්තව ඇඳීම අවශ්‍යය. නැතහොත් මුද්‍රණ පිටපත නොපිටට වදී. මෙම දුෂ්කරතාව මඟහරවා ගැනීම සඳහා නව කාර්මිකයන් විසින් ලී තහඩුව මත සංවේදීකෘත ආලේපයක් ගල්වා කැමරාවක් මගින් මෝස්තරයේ ප්‍රතිබිම්බය තහඩුව මත පිළිබිඹු කරනු ලැබේ. කැමරාව තුළින් ගමන් කිරීමේ දී ප්‍රතිබිම්බයේ පාර්ශ්වික අපවර්තනයක් සිදුවීම නිසා ප්‍රතිවර්ත ප්‍රතිබිම්බයක් ලබාගැනීමේ අවශ්‍යතාව සම්පූර්ණ වේ.

ලී ලියැවීමේ දී පිහියා, බොකු නියන, නියන හා අතකොළුව ද, ලී එන්ග්‍රේව් කිරීමේ දී කැටයම් කටුව, බුර්ලි කටුව, උල් කටුව, පැති කටුව, ඉරි කටුව යන මෙවලම් ද භාවිතා කරනු ලැබේ.

කාෂ්ඨ චිත්‍ර සඳහා ආකෘති නිපැදවීමේ දී මුද්‍රණය කිරීමට අවශ්‍ය චිත්‍රයේ කොටස් ඉතිරිවන පරිදි අනවශ්‍ය කොටස් සියල්ල කපා ඉවත් කරනු ලැබේ. එවිට මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය රටාව පසුබිමෙන් මතු වී ඉල්පී පෙනේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන උපකරණය පිහියයි. පිහිපාරවල් දෙකක දී V ආකාර කැපුමක් ගෙනදීම සඳහා ඇල රේඛා ඇඳීමෙන් කැපීම අරඹනු ලැබේ. පිහිය ලීවරයක් වශයෙන් යොදාගනිමින් කැපුමෙන් ඉවත් වන කැබලි ඉවත් කිරීමට පිළිවන. බොකු නියන් මගින් ආකෘතියේ ඇති අනවශ්‍ය කොටස් ඉවත් කරනු ලැබේ.

එන්ග්‍රේව් කිරීමේ දී මුද්‍රණය කිරීමට අවශ්‍ය රටාවේ රේඛා ලී තහඩුව ඇතුළට හාරනු ලැබේ. මෙවැනි ආකෘතියකින් ලැබෙන මුද්‍රණයක වර්ණවත් පසුබිමකින් යුතු සුදු රේඛා මගින් රටාව පිළිබිඹු වේ. ලී එන්ග්‍රේව් කිරීමේ දී යොදාගනු ලබන ප්‍රධාන ආවුදය කැටයම් කටුවයි. කැටයම් කටුව නිමවා ඇති ආකාරය නිසා කැපුමෙහි ගැඹුර වැඩිවන විට රේඛාවේ මහත ද වැඩි වේ. වක්‍ර රේඛා කැපීම සඳහා බුර්ලි කටුව යොදාගනු ලැබේ. පැති කටුව උපයෝගී කොට අනවශ්‍ය ක්ෂේත්‍ර ඉවත් කිරීමට ද, රේඛා පිරිසිදු කිරීමට ද පිළිවන.

එන්ග්‍රේව් කිරීම සඳහා යොදාගනු ලබන ආවුදවල මිට එක පැත්තක් පැතැලිව ද අනෙක් පැත්ත රවුම්ව ද පිහිටන සේ නිමවා තිබේ. මිටෙහි පැතැලි පැත්ත නිසා ලී කොටයේ මතුපිටට සමාන්තරව නොගැඹුරු කැපුම් කැපීමට පිළිවන් වේ. එන්ග්‍රේව් කිරීමේ දී මෙවලම් හසුරවන ආකාරය කර්මාන්තකරුගේ නිපුණත්වය මත රඳාපවතී. එහෙත් පොදුවේ ආවුදයේ මිටෙහි පැතැලි පැත්ත පහළට සිටින සේ හුළැඟිල්ලෙන් අත්ලට මිට තදවන සේ අල්ලා අනෙක් ඇඟිලි තුනෙන් මෙවලම් මිට ද, මාපටැඟිල්ල ආවුදයේ කැපෙන මූණතට ඉතා ආසන්නව ද, පිහිටන සේ අල්ලා ගනු ලැබේ. මේ නිසා ආවුදය අවශ්‍ය පරිදි තද කැපුමකට හෝ මෘදු කැපුමකට හෝ යොමු කළ හැකිය. එන්ග්‍රේව් කිරීමේදී ලී කුට්ටිය කුඩා කොට්ටයක් මත තබනු ලැබේ. කැපුමක් අවසාන වන තෙක් ආවුදය නොඋස්සා අවශ්‍ය පරිදි ඒ ඒ අතට ලී කුට්ටිය හැරවීමෙන් කැපුම සම්පූර්ණ කරගැනීමට මේ නිසා ඉඩ සැලසේ. මෙම කොට්ටය තනා ඇත්තේ රවුම් හැඩයට පිහිටන සේ සමින් තැනූ කොට්ට උරයකට වැලි පුරවා ගැනීමෙනි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එන්ග්‍රේව්_කිරීම&oldid=11097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි