එන්ඩ’බි දේශය
සිංහල විශ්වකෝෂය වෙතින්
(Enderby Land). ඇන්ටාක්ටිකාවෙහි නැ.දේ. 40° හා 60° අතර පිහිටි ප්‍රදේශයයි. 1832 දී ජෝන් බිස්කෝ නමැති නාවිකයකු විසින් මෙම ප්‍රදේශය පළමුවරට සොයාගන්නා ලදි. හේ සිය ස්වාමියා වූ ද ලන්ඩන්හි ව්‍යාපාරිකයකු වූ ද සැමුවෙල් එන්ඩ'බි නමින් තමන් සොයාගත් මෙම ප්‍රදේශය නම් කෙළේය. 1929-30ත් අතර කාලයේ දී සර් ඩග්ලස් මෝසන් නමැති භූවිද්‍යාඥයෙක් ද මෙහි සැපත් විය. බිස්කෝගේ හා මෝසන්ගේ ගමන් නිසා බ්‍රිතාන්‍යය මෙම පෙදෙසට අයිතිවාසිකම් දැක්වීය. එහෙත් නැ.දේ. 45°න් බටහිර දිග පෙදෙසට නෝර්වේ රාජ්‍යයත් එම දේශාංශයෙන් බටහිර පෙදෙසට ඕස්ට්‍රේලියාවත් හිමිකම් දක්වයි. මෙහි වෙරෙළෙහි ඇති විශාල බොක්කක් ආමුන්ඩ්සන් බොක්ක නමින් හැඳින්වේ.
(සංස්කරණය: 1974)