එන්නත් කිරීම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එන්නත් සාරයක් හෙවත් වැක්සීනයක් යනු නාශනය කළා වූ නොහොත් විකෘත කළා වූ රෝග බීජ අඩංගු සාරයකි. එන්නත් කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ ප්‍රතිග්‍රාහකයා තුළ ආරක්ෂක ප්‍රතිදේහවල හෙවත් ප්‍රතිශක්ති ද්‍රව්‍යවල වර්ධනය අටගැන්වීම සඳහා වැක්සීනයක් ශරීරගත කිරීම හෙවත් විදීමයි. (ප්‍රතිශක්තිකරණය බ.). එසේ වුව ද පොදු ව්‍යවහාරයේ දී එන්නත් කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ මසූරිකා (වසූරි) රෝගයෙන් වැළැකීම පිණිස වැක්සීනයක් විදීම යනුයි.

වසූරිය නමැති බිහිසුණු රෝගය ප්‍රාග්-ඓතිහාසික කාලවල සිට ම පෙරදිග පැවැතුණු බව දන්නා කරුණකි. 10 වැනි ශතවර්ෂයේ දී රේසීස් විසින් ඒ රෝගය ගැන විස්තරයක් කොට ඇත. වසූරි සැරව බිබිළකින් ගත් සැරව ශරීරගත කිරීමෙන් එම රෝගයෙන් ආරක්ෂා වීමේ ක්‍රමය ශතවර්ෂ බොහෝ ගණනක් මුළුල්ලේ ම පෙරදිග ක්‍රියාවේ යෙදිණි. පෙරදිග දී මේ ක්‍රමය දැක තම පුත්‍රයා ද එන්නත් කරවාගත් මේරි වෝට්ලි මොන්ටේගු ආර්යාව 1717 දී එය එංගලන්තයට හඳුන්වා දුන්නාය. එහි දී ඊට සැලකිය යුතු තරමේ ප්‍රසිද්ධියක් ලැබිණි. දෙවෙනි ජෝජ් රජුගේ වෛද්‍යවරයා වූ මීඩ් (Mead) රජවාසලේ කුමරුන් එන්නත් කළේය. මෙසේ එන්නත් කරනු ලැබූ අයට සාමාන්‍යයෙන් වසූරිය ඉතා සුළුවෙන් වැලඳී නිසැකව ම ප්‍රතිශක්තිය (immunity) ලැබුණ ද මේ ක්‍රමය අනතුරු විරහිත නොවීය. එන්නත් කළ පසු වසූරිය වැලඳී ඉන් මිය ගිය අය විරල නොවූහ. ඇතැම් විට එන්නත් කරනු ලැබූ පුද්ගලයාගෙන් ආසාදනය පැතිරී යෑමෙන් මසූරිකා වසංගත ද හටගත්තේය. ඇතැම් විට උපදංශය (ඵිරංග) වැනි රෝග බෝවීමට එය හේතු විය. විශේෂයෙන් ම වඩා ආරක්ෂා සහිත වූ වර්තමාන ක්‍රමය සොයාගනු ලැබීමෙන් පසු ඒ පැරණි ක්‍රමය ටිකින් ටික අපකීර්තියට පත් වී කෙළවර එය නීති විරෝධීබව 1840 දී ප්‍රකාශ කරන ලදි.

එන්නත් කිරීම සොයාගැනීම

වසූරිය රෝගය උග්‍ර වෛද්‍ය ප්‍රශ්නයක්ව පැවැති 1780 වර්ෂය පමණේ දී එංගලන්තයේ ග්ලෝස්ටර්ෂයර්හි ගම්බද වෛද්‍යවරයකු වූ එඩ්වඩ් ජෙනර් (Jenner) වසූරි රෝගය පැතිරී යෑම වැළැක්වීමේ ප්‍රයත්නයක් වශයෙන් වසූරි බිබිලිවලින් ගත් සැරව ශරීරගත කිරීමේ එවක ප්‍රචලිත ක්‍රමය අනුගමනය කරමින් සිටියේය. කෙනකුන්ට ගෝමසූරිකාව වැලඳුණ හොත් වසූරිය නොවැලඳෙන්නේය යන පාරම්පරික ගැමි විශ්වාසයක් ඔහුට දැනගන්නට ලැබිණි. කිරි බුරුලුවල වණ හා සැරව බිබිළි ඇති එළදෙනුන්ගේ සැරව ශරීරයෙහි තැවරීමෙන් බිබිළි නැඟුණු කිරිපට්ටි සේවිකාවන්ට හා ගොවිපළවල කම්කරුවන්ට වසූරිය නොවැලඳෙන බවක් පෙනිණි. ජෙස්ටි නමැති ගොවියකු තම භාර්යාවට වසූරිය නොවැලඳෙනු පිණිස ඇයට ගෝමසූරිකාව එන්නත් කළ බව වාර්තාගතව ඇත. කෙනකු ඔහුගේ සගයන්ගෙන් ඉස්මතු කොට කැපී පෙනෙන්නට සලස්වන ගුණාංගයන් වන කුතූහලභාවයත් කල්පනාකාරීබවත් යන ආශීර්වාද ජෙනර්ට ලැබී තිබිණ. එවක සිටි උගත්, බලවත් පුද්ගලයන් මූඪ විශ්වාසයකැයි සැලැකූ ඉහත සඳහන් පුරුද්ද ජෙනර් පරීක්ෂණ මාලාවකට භාජන කෙළේය. ප්‍රාදේශීය වශයෙන් ඇති වූ බාධක හා එම දිස්ත්‍රික්කයේ ගෝමසූරිකා රෝගය සුලභ නොවීම නිසා ඔහුගේ කටයුතුවලට අවහිර ඇති විය. එහෙත් හේ දෘඨෝත්සාහයෙන් පරීක්ෂණ පවත්වා ගෙන ගියේය. ඔහුගේ නිවැරැදි වූ ද සවිස්තර වූ ද ශායනික පරීක්ෂණ වෛද්‍යවිද්‍යා විෂයයෙහි සදහට ම අගනා වූ ආවිෂ්කරණයකට මඟ හෙළි කළේය. ගෝමසූරිකාව වැලදී සිටියා වූ කිරිපට්ටි සේවිකාවකගේ අතකින් සැරව ගෙන ළමයකුට එය විදීමෙන් පසු එම ළමයාට වසූරි ආක්‍රාමණයට ප්‍රතිශක්තිය දැනවී ඇති බව පෙන්වීමෙන් හේ 1796 දී තීරක අත්හදා බැලීමක් කෙළේය.1798 දී ජෙනර් විසින් මෙම ක්‍රමය ප්‍රකාශයට පත් කරන ලදි. 1799 දී වුඩ්විල් (Woodwille) ද 1800 දී වෝටර්හවුස් (Waterhouse) ද ජෙනර්ගේ නිගමන තහවුරු කළහ.

එන්නත් සාරය පිළියෙල කිරීම

ගෝමසූරිකා සැරව බිබිළිවලින් එක්රැස් කරගනු ලබන ද්‍රව්‍යයේ ශක්තිය පවත්වාගනු ලබන්නේ එය වසුපැටවාගෙන් රටහාවාටත් රටහාවාගෙන් වසුපැටවාටත් යනු විසින් මාරුවෙන් මාරුවට එන්නත් කිරීමෙනි. වසුපැටවකුගේ උදරයේ ලෝම ගා දමා සම සූරා ඊ මතු පිට සත්ව ද්‍රව්‍යය තැවරීමෙන් එන්නත් කරනු ලැබේ. මෙයින් ඇති වන රිෂ්ට (lesions) දින පහකින් පමණ පැපූල (papules), ආශයිකා (vesicles) යන අවස්ථා පසු කොට පූයිකා හෙවත් සැරව බිබිළි (pustules) බවට පෙරළේ. මේ අවස්ථාවේ දී රිෂ්ට සූරාගෙන ග්ලිසරින්වලින් අඹරා මාසයක පමණ කාලයක් තුළ සෙ. 10° උෂණත්වයක තබනු ලැබේ. මේ කාලය තුළ දී සියලු ම බැක්ටීරියා විනාශ වී යයි. එවිට වැක්සීනය හෙවත් කවුරුනුත් දන්නා වහු වසා (calf lymph) පාවිච්චිය සඳහා සූදානම්ය. වහු වසා සාමාන්‍ය උෂ්ණත්වයෙහි තිබෙන විට ශීඝ්‍රයෙන් නරක් වෙයි. එය අධිශීතකරණයකින් ඉවතට ගනු ලැබීමෙන් සතියක් ඇතුළත ප්‍රයෝජනයට ගත යුතුය. වෛද්‍යවරුනට හා වෛද්‍ය ආයතනවලට (වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින්) නිකුත් කරනු ලබන වහු වසාවලට දින මුද්‍රාව යොදනු ලැබේ. නිකුත් කළ දින සිට සතියකින් පසු ඒ පාවිච්චි නොකළ යුතුය.

වැක්සීනය දැන් පිළියෙල කරනු ලබන්නේ කුකුළු කලලයේ කෝරියම්-අලින්ථ (chorio-allantoic) පටලය මත වයිරසය වැඩෙන්නට සැලැස්සීමෙනි. මේ ක්‍රමය වැඩි ප්‍රමාණයේ ජීවාණුහරණයක් ස්ථිරව ලබාදෙයි.

එන්නත් කිරීමේ ක්‍රමය

එන්නත් කිරීම සඳහා ඉතා ම යෝග්‍ය කාලය තෙමස් වියයි. වසංගතයක් ඇතහොත් විනා අවුරුදු 1ත් අවුරුදු 14ත් අතර වූවන් මූලික එන්නත් කිරීමෙන් වැළකීම මැනැවි. එන්නත් කිරීමට තෝරාගත් පෙදෙස සබන් ගා සෝදා එහි ස්ප්‍රීතු තවරා වියළී යෑමට හරිනු ලැබේ. එන්නත් කිරීමේ සාමාන්‍ය ක්‍රමය වනුයේ ඒ සඳහා සූදානම් කළ ස්ථානයේ හම මතුපිට වහු වසා බිංදුවක් දමා ඒ හරහා අඟල් 1/4ක් දිගට නිර්ජීවාණු ශලාකාවකින් ලේ නොඑන පරිදි යම්තමින් සීරීමයි. ඒ මත වියළි වැස්මක් දැමීමට පෙර (යටත් පිරිසෙයින් විනාඩි 15ක් වත්) වසාව වියළීමට ඉඩ හැරිය යුතුයි.

බහුපීඩන ක්‍රමයත් අන්තර්චර්මීය ක්‍රමයත් එන්නත් කිරීමේ අන් ක්‍රමයෝයි.

එන්නත් කිරීමෙන් සිව්වැනි දවස පමණේ දී පැපූලයක් මතු වී ඊළඟ දවසෙහි එය ආශයිකාවක් බවට පත් වේ. ඒ වටා රක්තවර්ණ ක්ෂේත්‍රයක් සෑදෙයි. ආශයිකාව අනුක්‍රමයෙන් විශාල වී අට වැනි දවස තරමේ දී එහි අඩංගු ද්‍රව්‍ය පාරාන්ධ කහවන් බවට පැමිණේ. දසවැනි හෝ එකොළොස් වැනි දවස තරමේ දී ප්‍රදාහය අඩුවීමට පටන් ගනී. අනතුරුව කබොල්ලක් සැදී එය සති තුනකින් පමණ ගැළවී යයි.

ප්‍රතිශක්ති කාලසීමාව

එන්නත් කිරීම හේතුකොටගෙන අවුරුදු තුනක් පමණ බලපවත්නා පරිපූර්ණ නොහොත් ප්‍රමාණවත් ප්‍රතිශක්තිය ද තව අවුරුදු කීපයක් මුළුල්ලේ බලපවත්නා සැලැකිය යුතු තරමක වුව ද ක්‍රමයෙන් පිරිහී යන ප්‍රතිශක්තිය ද ලැබේ.

අන්තර්ජාතික සංචාරය උදෙසා එන්නත් කිරීම

(නිරෝධායන) කොරන්ටයින් රෙගුලාසිවලට අනුව කොයි වයසේත් සංචාරකයන් එන්නත් කරවා ගැනීම අවශ්‍යය. ළදරුවන් එන්නත් කිරීමේ දී තෙමස වන තුරු පමා කිරීම වඩා යෝග්‍යයි.

සහතිකයේ වළංගුකම

මූලික එන්නත් කිරීමෙන් පසු 8 දිනක් ගිය තැන් සිට ද නැවත එන්නත් කළ තැන් පටන් අවුරුදු 3ක් යන තුරු ද සහතිකය වළංගු වෙයි.

වසූරියට එන්නත් කරවා ගැනීමෙන් සති 3ක් ඇතුළත දී අන්‍ය නිවාරණ ආක්‍රාමණවලින් හැකි නම් වැළැකී සිටීම මැනැවි.

(කර්තෘ: ආර්.ඩී. ද ඒ. සෙනෙවිරත්න)

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එන්නත්_කිරීම&oldid=11209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි