එරබදු
(එරිත්‍රිනා වාරියෙගාටා - Erythrina variegata L.). අළුපාට තුනී පොත්තක් සහිත උස් ගසකි. මේ ගසේ කඳේ සහ අතුවල බොහෝ කටු තිබේ. කොළ ත්‍රිපත්‍රීය. කොළ නටුව අඟල් 4 සිට 6 දක්වා දිගය. පත්‍රිකාවක් අඟල් 4ක් පමණ දිගය. මල් තද රතු පාටය. මලේ දල සමාන නැත. අඟල් 2,½ක් පමණ වන පතාකය (standard) නෞතලයට (keel) සහ පක්‍ෂ දලවලට වඩා දිගය. කරල අඟල් 8ක් පමණ දිගය; ටොරුලාකාරය (torulose).
හිමාලය කඳුවැටිය පාමුල සිට ලංකාව, බුරුමය, මලක්කාව හා ජාවා දූපත් වැනි ප්‍රදේශ දක්වා එරබදු ව්‍යාප්ත වී ඇත. පෙබරවාරි අවසානයේ වියළි කාලයේ දී ලංකාවේ එරබදු ගස්වල කොළ වැටේ. මාර්තු මාසයේ දී මල් පිපේ.
ලංකාවේ වියළි ප්‍රදේශයේ ගං ඉවුරුවල දක්නට ලැබෙන යක් එරබදු (එරිත්‍රිනා ෆුස්කා. - E. fusca Lour.) තවත් එරබදු විශේෂයෙකි. මෙය කටු සහිත කඳකින් යුත් තරමක ප්‍රමාණයේ ගසකි. කොළ ත්‍රිපත්‍රීය. පත්‍රිකාවක් අඟල් 4ක් පමණ දිගය. මලේ පතාකය ඉතා තද රතුපාටය. නෞතලය හා පක්ෂ දල දම්පාටය. කරල අඟල් 8ක් පමණ දිගය. මල් පිපෙන්නේ ජනවාරි මාසයේ දීය.
එරබදු හා යක් එරබදු ශාක ලෙගුමිනෝසේ (බ.) කුලයෙහි පපිලියොනාටෙ උප-කුලයට අයත්ය. කටු රහිත වල් එරබදු විශේෂයක් ද ඇත.
ආයුර්වේද මතය
පාරිභද්‍ර, රක්ත පුෂ්පි ආදි නම්වලින් මේ වෘක්ෂ විශේෂය සංස්කෘත නිඝණ්ඩුවල හඳුන්වා ඇත. එරබදු, යක් එරබදු වශයෙන් එහි ප්‍රභේද දෙකකි. එරබදු උෂ්ණය, කටුකය; පථ්‍යයි; ගිනි වඩයි; අරුචිය නසයි. වා, සෙම්, ප්‍රමේහ, ඉදිමුම හා පණුවන් නැති කරයි. එරබදු මල්වලින් මූත්‍රකෘච්ඡ්‍ර, පිත්ත රෝග හා කර්ණ රෝග ශමනය කෙරේ; අග්නිදීපනය කෙරේ. උළුක්කු, ඇමැට්ටි, අරමණ, හොරි, පරංගි, දද, කුෂ්ඨ, පණුකැවිලි, කරප්පන් ආදිය සඳහා යොදන තෙල් වර්ගවලට ද ඉලිප්පී තිබෙන ඇට යථා තත්ත්වයට පැමිණවීම සඳහා ද සියලු සර්ප විෂට හා ඒ සඳහා පිළියෙල කරන ගුළිවලට ද විෂනීලාදී තෙල්වලට ද වෙනත් ඖෂධ වර්ග සමග එරබදු යොදනු ලැබේ. පීනස් ආදි රෝගයන් සඳහා සිඳින තෙල්වලට යක් එරබදු යොදති. එරබදු කොළ නිද්‍රාජනකය.
එරබදු කොළ, දළු, පොතු හා බීජ ද බෙහෙතට ගනු ලැබේ. කොළ යුෂ කර්ණ රෝග නසයි.
(සංස්කරණය: 1974)