එල්ගන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මැද අප්‍රිකාවේ උගන්ඩා-කෙන්යා දේශ සීමාවෙහි, වික්ටෝරියා විලට නැගෙනහිරින් පිහිටා ඇති මළ යමහල් කන්දකි. මෙය ‘මාස්‍සාවා’ යන නමින් ද හැඳින්වේ. උස අඩි 14,176කි. යමහල් මුඛය අඩි 2,000ක් ගැඹුරුය. මේ කන්දේ උතුරු, බටහිර සහ දකුණු බෑවුම් ප්‍රපාතාකාරය. නැගෙනහිර බෑවුමේ බැස්ම අනුක්‍රමයෙනි. දකුණු පස කඳු ප්‍රපාතවල ගල්ගුහාය. මේවා බොහෝ කාලයක් මුළුල්ලේ ස්වදේශිකයන් විසින් වාසස්ථාන වශයෙන් පාවිච්චි කොට ඇති බව පැහැදිලිය. පටු ගිරිකඳුරු මගින් වෙන් කරනු ලැබූ ප්‍රපාතාකාර නෙරු කන්දේ සිට පිටතට විහිදී යයි. මෙය ඉතා දැකුම්කලු දර්ශනයකි. ගිරිකඳුරු හරහා ගලා යන ගංගා නයිල් ගඟටත් වික්ටෝරියා විලටත් රුඩොල්ෆ් විලටත් ගලා බසී. මේ කන්දේ පහළ බෑවුම් සාරවත්ය. කෙසෙල් සරුවට වැවේ.

මෙහි උතුරු දෙසෙහි වූ සාවේ දිස්ත්‍රික්කය වූකලි අරාබි සහ ස්වාහීලි තවලම්කරුවන්ගේ නවාතැන් පොළයි. බටහිර දෙස බෑවුම්වල බන්ටු-නීග්‍රෝ ගෝත්‍රිකයෝ වාසය කරති. මේ කන්දට ‘මාස්සාවා’ යන නාමය ව්‍යවහාර කරන්නේ ඔවුන්ය. ‘එල්ගන්’ යන නාමය උතුරු සහ දකුණු පාර්ශ්වයන්හි වාසය කරන එල්ගොන්යි ගෝත්‍රිකයන්ගේ නාමය අනුව ව්‍යවහාර වූවකි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එල්ගන්&oldid=11091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි