එල්ජින්හි හා කින්කාඩින්හි ජේම්ස් බ්රූස් අ’ල්වරයා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1811-63). 1861 සිට 1863 දක්වා ඉන්දියාවේ පාලන භාරය ඉසුලූ ප්‍රතිරාජයායි. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි තැන්පත් කොට ඇති ‘එල්ජින් මාබල්ස්’ (Elgin Marbles) නමින් ප්‍රකට පැරණි විශිෂ්ට ග්‍රීක ප්‍රතිමා එකතු කොට එංගලන්තයට ගෙන ආ එල්ජින්හි සත්වන අ’ල්වරයාගේ පුත්‍ර මෙතෙම 1841 දී එල්ජින්හි අටවන අ’ල්වරයා බවට පත් විය. 1842 දී ජැමෙයිකාවේ ආණ්ඩුකාර පදවියට පත් කරනු ලැබූ මෙතෙම 1846 සිට 1854 දක්වා කැනඩාවේ අග්‍රාණ්ඩුකාර පදවිය හෙබවිය.

1857 දී හේ චීන දූත මෙහෙයක යෙදුණේය. ඔහු චීනුන් මැඩීමට ගෙන ගිය සේනා එවක ඉන්දියාවේ පැවති භට හමුදා කැරැල්ල මැඩීම පිණිස කල්කටාවට හරවනු ලැබූහ. 1858 අලුත් සේනාවන් ලබා චීනයේ කැන්ටන් නගරය අල්ලා ගත් ඔහු තියෙන්ත්සින් ගිවිසුම අත්සන් කොට ගෙන ජපානයට ගොස් තමන්ට වාසි සහගත යෙදෝ ගිවිසුම අත්සන් කොට ගත්තේය.

1859-60 කාලයේ එංගලන්තයේ තැපැල්පති හැටියට කටයුතු කළ ඔහු ඉන්දියාවේ ප්‍රතිරාජ හා අග්‍රාණ්ඩුකාර පදවියට අග්‍රාමාත්‍ය පාමස්ටන් විසින් තෝරනු ලැබුයේ 1861 දීය. 1863 දී එම පදවිය දරමින් සිටිය දී ම රුසියාවේ ධර්මශාලා නම් කඳුකර සුඛස්ථානයේ දී හේ මිය ගියේය. පථාන් ගෝත්‍රිකයන් මැඩීම පිණිස ‘උම්බෙයිලා ව්‍යාපාරය’ ගෙන ගියේ ඔහුය.

(සංස්කරණය: 1974)