එලියා
ක්‍රි.පූ. 9 වැනි සියවසේ වැජඹි හේබ්‍රෙව් අනාගතවක්තෘවරයෙකි. බයිබලයේ රාජාවලිය (I, II) ශුද්ධ වූ මතෙව්, ලූක්, යොහන් යන අපෝස්තුලුවරුන්ගේ ශුභාරංචි ආදි පොත්වල මෙතුමා ගැන සඳහන් වේ.
ඊශ්‍රායෙලයේ ආහබ් රජු පිනීසියානු ජෙසබෙල් කුමරිය බිසවු කොට ගැනීමෙන් පසු ඇගේ පිටුබලය ලැබ පිනීසියානු (ටයිරියානු) බාල් දේව වන්දනය ඊශ්‍රායෙලයේ ප්‍රචලිත වන්නට විය. මෙම විදේශීය වන්දනයට විරුද්ධව නැගී සිටි, එරට ජාතිකාගමේ දෙවියා වූ යාඃවේ දෙවියන් ඇදහූවන්ගේ පුරෝගාමිත්වය හා නායකත්වය ගත්තේ එලියාය. එතුමා යාඃවේ එක ම දෙවියන්වහන්සේ බව පවසමින් බාල් වක්තෘවරුන් හා වාදයට එළඹ ඔවුන් පරදවා සියතින් ම මරා දැමීය. බාල් පිදීමාදි ඊශ්‍රායෙල්වරුන්ගේ අගතිගාමී ක්‍රියාවලට දඬුවම් වශයෙන් එලියා තෙවසක් පවත්නා නියඟක් ඇති කිරීම, නියඟ නිසා ඇති වූ දුර්භික්ෂ සමයේ දී කපුටුවන් ගෙනා අහරින් යැපීම, පසුව ශාරේපත්හි වැන්දඹුවකගෙන් ලත් අහර අද්භූත ලෙසින් අධික කිරීම, එම වැන්දඹුවගේ මිය ගිය පුතාට පණ දීම හා සුළි සුළඟක් මගින් ස්වර්ගයට ගෙනයනු ලැබීම ආදි ප්‍රාතිහාර්ය ගැන බයිබලයේ සඳහන් වේ. එලියාගෙන් පසු එලිෂා (බ.) එතුමාගේ තැන ගත්තේය.
යුදෙව්වරුන් විසින් එලියා ඊශ්‍රායෙල් ජාතියේ හා ආගමේ ආදිකර්තෘ වූ මෝසෙස්තුමා හා සමීප තත්වයේ ලා සලකනු ලැබේ. ක්‍රිස්තු භක්තිකයන්ගේ අලුත් ගිවිසුමේ එතුමාට උසස් තැනක් ලැබී ඇත. ඉස්ලාම් භක්තිකයෝ ද එලියා අනාගතවක්තෘවරයකු හැටියට සලකති.
කාර්මල් කන්දේ පිහිටි එලියා අනාගතවක්තෘගේ ගුහාව නමින් දන්නා ස්ථානය අද දක්වා යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන්ගේ ගෞරවයට පාත්‍රව පවතී.
(සංස්කරණය: 1974)