එවරස්ට්
ලෝකයෙහි උස ම කන්දය. උස අඩි 29, 028කි. හිමාලය කඳුවැටියෙහි නැගෙනහිර පාර්ශ්වයෙහි, නේපාල-ටිබෙට් දෙරට අතර බටහිර බෙංගාලයෙහි ඩාජීලිං නගරයට සැ. 110ක් වයඹ දෙසින් පිහිටා තිබේ. ඉන්දියාවෙහි මිනින්දෝරු ජනරාල් ධුරය දැරූ ශ්‍රීමත් ජෝජ් එවරස්ට් මහතා සිහිකිරීම් වස් 1863 දී මෙය එවරස්ට් යනුවෙන් නම් කරන ලදි. ටිබෙට් ජාතිකයෝ මෙය චොමොලුංමා (දේව මාතා) යනුවෙන් හඳුන්වති.
1841 දී ශ්‍රීමත් ජෝජ් එවරස්ට් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මිනින්දෝරු කණ්ඩායමක් හිමාලය කඳුවල සිතියම් සකස් කිරීම ඇරැඹූහ. ඉන් පසු 1849 දී ඉන්දියාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් හිමාලය කඳු රාශියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලදි. එකල පවා නිර්නාමිකව හා තොරතුරු අප්‍රකටව පැවැති මේ කන්දෙහි උස අඩි 29,002කැයි 1852 දී එවක ප්‍රධාන සංඛ්‍යා නිලධාරි තැනව සිටි ශ්‍රී රාධානාථ සික්දර් විසින් නිගමනය කරන ලදි.
පටුන
- 1 එවරස්ට් තරණ
- 2 1921 දී තොරතුරු පිරික්සනු වස් ගිය ප්‍රථම ගමන
- 3 1922 දී කඳුමුදුනට නැඟීමට දැරූ ප්‍රථම උත්සාහය
- 4 1924 දී දැරූ උත්සාහය
- 5 1933 දී දරන ලද ප්‍රයත්නය
- 6 1935 දී පිටත් වූ ගවේෂක කණ්ඩායම
- 7 1936 දී දැරූ උත්සාහය
- 8 1938 දී සංවිධානය වූ කණ්ඩායම
- 9 1951 දී දැරූ උත්සාහය
- 10 1952 දී දරන ලද ප්‍රයත්නය
- 11 1953 දී එවරස්ට් කඳුමුදුනට ළඟාවීම
- 12 1956 දී එවරස්ට් හා ලොට්සේ යන කඳු මුදුන් දෙකට ම එකවර නැඟීම
- 13 1960 දී ඉන්දියානු කණ්ඩායමක් විසින් දරන ලද ප්‍රයත්නය
- 14 1963 දී ඇමෙරිකානු කණ්ඩායමක් එවරස්ට් මස්තකයෙහි පර්යේෂණ පැවැත්වීම
- 15 1965 දී නැඟි ඉන්දියානු කණ්ඩායම
එවරස්ට් තරණ
එවරස්ට් කඳු මුදුනට නැඟීමට පළමුවරට වෑයම් කළේ 1921 දී ලෙෆ්ටිනන්ට් ක’නල් සී.කේ. හවඩ්-බෙරිගේ ප්‍රධානත්වයෙන් යුත් බ්‍රිතාන්‍ය ගවේෂක කණ්ඩායමකි. මොවුනට නැඟිය හැකි වූයේ අඩි 23,000ක් පමණි. ඉක්බිති 1922, 1924, 1925, 1933, 1935, 1936, 1938, 1951 යන වර්ෂවල දී ද බ්‍රිතාන්‍ය කණ්ඩායම් කන්ද නැඟීමට යත්න දැරූහ. ඔවුනට නැඟිය හැකි වූ වැඩි ම උස ප්‍රමාණය අඩි 28,100කි. මෙය ඉටු කරගත හැකි වූයේ 1933 දී කඳු නැඟීමෙහි යෙදුණු හ්‍යු රට්ලෙජ්ගේ ප්‍රධානත්වයෙන් යුත් ගවේෂක කණ්ඩායමටය. 1952 දී ස්විස් ජාතික කණ්ඩායම් දෙකක් ම මේ සඳහා උත්සාහ දැරූහ.
මේ දුෂ්කර කාර්යය 1953 මැයි 29 වැනි දා ක’නල් හන්ට් විසින් මෙහෙයවන ලද බ්‍රිතාන්‍ය ගවේෂක කණ්ඩායම විසින් ඉටු කරන ලදි. ලෝකයෙහි උස ම ස්ථානය වන මෙහි පළමු කොට පා තැබුවහු නේපාලයේ ෂර්පා ගෝත්‍රික ටෙන්සිං නෝර්කේ හා නිව්සීලන්තයේ එඩ්මන්ඩ් පී. හිලරි යන දෙදෙනාය.
1921 දී තොරතුරු පිරික්සනු වස් ගිය ප්‍රථම ගමන
ලෙෆ්ටිනන්ට් ක’නල් හවඩ්-බෙරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්, තොරතුරු පරීක්ෂා කිරීමේ ප්‍රථම කණ්ඩායමේ මූලික කාර්යය වූයේ ෂේකාර් සහ බාර්තා ෂේකාර් යන දිස්ත්‍රික්ක ඔස්සේ එවරස්ට් කන්දට යන මාර්ග හොඳින් පරීක්ෂා කොට සිතියමට නැඟීමයි. උතුරු පසින් කඳු මුදුනට නඟින මං හොඳින් සෝදිසි කළ මෙම කණ්ඩායම සියලු ම මූලික කටයුතු ඉතා සාර්ථක අන්දමින් ඉටු කෙළේය. මෙම කණ්ඩායමේ සමාජවිද්‍යාඥයකු වූ කෙලස් මහතා ටිබෙට් දේශයේ දී ම මියයෑම ඔවුනට විශාල පාඩුවක් විය.
මොව්හු රොංබුක් මිටියාවත පර්යේෂණයට භාජන කළහ. අඩි 22,200ක් උසින් පිහිටි ලාක්පා නමින් යුත්, නැගෙනහිර රොංබුක් ග්ලැසියරයට යන දුර්ග මාර්ගයක් ද එතැන් සිට කන්දට නැඟීමට පහසු යැයි අදහස් කරන ලද මාර්ගයක් ද සොයාගත් මේ කණ්ඩායම, එවරස්ට්හි සිට බස්නා ප්‍රධාන උතුරු වැටියෙහි පිහිටි ගෙල කපොල්ලකට මහත් වෙහෙස දරා නැංගාහ. ඔව්හු මීට වෑංලා හෙවත් උතුරු ගෙල කපොල්ල යයි නම් තැබූහ. මෙසේ මේ කණ්ඩායම තොරතුරු මහත් රාශියක් රැස්කර ගත්තා පමණක් නොව, එවරස්ට් කඳු මුදුනට උතුරින් පිහිටි ප්‍රදේශය සිතියමට ද නැඟූහ.
1922 දී කඳුමුදුනට නැඟීමට දැරූ ප්‍රථම උත්සාහය
තොරතුරු පිරික්සීමේ ගමනින් රැස් කොටගත් තොරතුරු අනුව යමින්, බ්‍රිගේඩියර් ජනරාල් සී.ජී. බ්‍රෑස් විසින් ගවේෂක කණ්ඩායමක් සංවිධානය කරන ලදි. 1922 අප්‍රේල් අග දී රොංබුක් මිටියාවතේ දී එක් රැස් වූ මේ කණ්ඩායම, බටහිර රොංබුක් ග්ලැසියර තුඩේ සිට සැතැපුම් දෙකක් ඇතුළත අඩි 16,500ක් උසින් ආධාරක කඳවුරක් පිහිටුවූහ.
ආධාරක කඳවුරේ සිට 3 වැනි කඳවුර (උතුරු ගෙල කපොල්ල තෙක් විහිදී ගිය බෑවුම් පාදය අසල) දක්වා කඳවුරු පිහිටුවූ මොව්හු 3 වැනි කඳවුර අසල අඩි 21,000ක් උසින් ප්‍රධාන කඳවුර පිහිටුවා ගත්හ. සියලු බඩු බාහිරාදිය මෙතැනට රැස් කරගන්නා ලදි. ඔව්හු සාර්ථක ලෙස උතුරු ගෙල කපොල්ලෙහි ද කඳවුරක් බැඳගත්හ. ඔක්සිජන් නොලබා කඳු මුදුනට නැඟීමට පළමුකොට මහන්සි ගන්නා ලද්දේ මෙහි සිටය. ගෙල කපොල්ලේ සිට ගමනාරම්භ කළ නෝටන්, සමර්වෙල්, මැලරි, මෝස්හෙඩ් යන සිව්දෙන ඉතා අමාරුවෙන් අඩි 25,000ක් උසින් කඳවුරක් පිහිටුවූහ. මැයි 20 වෙනි දා නෝටන්, සමර්වෙල්, මැලරි යන තිදෙනා මෙතැන් සිට තවත් ඉහළට නැඟීමට පටන් ගත්හ. අඩි 26,985ක් දක්වා ගිය ඔවුනට ඉන් ඔබ්බට යා නොහැකි වූවා පමණක් නොව බෙහෙවින් දුබලව ගිය බැවින් ආපසු බැසීමට පවා සිදු වූයේ ඉතා දුකසේය.
මැයි 25 වෙනි දා කඳු මස්තකයට සම්ප්‍රාප්ත වීමේ පරමාර්ථයෙන් දෙවෙනි වරටත් ෆින්ච් සහ සී.ජී. බ්‍රෑස් යන දෙදෙන 3 වැනි කඳවුරේ සිට ම පිටත් වූහ. ඔක්සිජන් උපකරණ පිහිට කොටගත් මොව්හු පළමු කණ්ඩායම ගිය ගමන් මාර්ගයෙහි ම ගොස් අඩි 25,500ක් උසින් කඳවුරු බැඳගත්හ. අඩි 27,300ක් දක්වා ඉහළට නැඟි ඔවුනට ඉන් ඔබ්බට යා නොහැකි විය. ආපසු ගමනේ දී ද ඔව්හු ඔක්සිජන් ආධාරකොට ගත්හ. එහෙත් පළමු කණ්ඩායමට වඩා මොවුන්ගේ තත්ත්වය බෙහෙවින් සතුටුදායක විය. ඔව්හු ආපසු බැසීම ඉතා ඉක්මනින් කළා පමණක් නොව, ගෙල කපොලු කඳවුරේ සිට 3 වැනි කඳවුර දක්වා වූ දුර ප්‍රමාණය අතරමඟ නොනැවතී ම ගෙවා ආහ.
1922 දී ම තෙවෙනි වරටත්, ගවේෂක කණ්ඩායමක් එවරස්ට් තරණයෙහි යෙදුණාහ.
1924 දී දැරූ උත්සාහය
මෙම කණ්ඩායම බ්‍රිගේඩියර් ජනරාල් සී.ජී. බ්‍රෑස්ගේ නායකත්වයෙන් ද ලෙෆ්ටිනන්ට් ක’නල් ඊ.ඇෆ්. නෝටන්ගේ උපප්‍රධානත්වයෙන් ද යුක්ත විය. ඩාජීලිංහි සිට පිටත් වූ මොව්හු ඉතා ඉක්මනින් ම රොංබුක් කඳවුරට පැමිණියහ. අතරමඟ දී බ්‍රෑස් රෝගාතුර වූයෙන් ඔහුට ආපසු ඉන්දියාවට පැමිණීමට සිදු විය. මේ කණ්ඩායම උතුරු ගෙල කපොල්ල මස්තකයෙහි ආධාරක කඳවුරක් පිහිටුවීමට දෑරු පරිශ්‍රමය විශාල විය. මේ හේතුකොටගෙන ඔවුන්ගේ ශක්තිය බොහෝ සෙයින් පිරිහී ගියේය.
නෝටන් විසින් විඩාවට පත් මේ පිරිස විශ්‍රාම ගැනීම සඳහා රොංබුක් මිටියාවත අසල වූ ආරාමයට කැඳවාගෙන යනු ලැබූහ. එහි සිටි ලාමා විසින් ඉටු කරන ලද සෙත් ශාන්තියෙන් පසු ඔව්හු නැවතත් සංවිධානය වී කඳු නැඟීම ආරම්භ කළහ.
ජූනි 1 වැනි දා 4 වැනි කඳවුර විශාල ලෙස බැඳගන්නා ලදි. මැලරි, බ්‍රෑස් යන දෙදෙනා අඩි 25,000ක් උසින් 5 වැනි කඳවුර පිහිටුවූහ. ඔවුන් දෙදෙනාගේ සේවකයන්ගේ ශ්‍රාන්තිය හේතුකොටගෙන ඔවුනට ඊට වඩා ඉදිරියට යා නොහැකි විය. සමර්වෙල් තදබල ලෙස රෝගාතුර වූ අතර නෝටන්ගේ ඇස් අන්ධ වූයේය.
මැලරි සහ අ’වින් කඳුමුදුනට නැඟීමට නැවතත් උත්සාහ දැරූහ. ජූනි 6 වැනි දා අඩි 25,000ක් ඉහළින් පිහිටි කඳවුරේ සිට පිටත් වූ ඒ දෙදෙන ආපසු නොපැමිණියහ.
1933 දී දරන ලද ප්‍රයත්නය
1933 කණ්ඩායමේ නායකත්වය දැරූයේ හ්‍යු රට්ලෙජ්ය. තද කුණාටු නිසා උතුරු ගෙල කපොල්ලේ කඳවුර මැයි 15 වැනි දා වන තුරු ම පිහිටුවීමට නොහැකි විය. මැයි 22 වැනි දා අඩි 25,700ක් උසින් කඳවුර පිහිටුවනු ලැබුව ද තද කුණාටු හේතු කොටගෙන ආපසු බැසීමට සිදුවූයෙන් නැවත එතැනට ළඟා වූයේ 28 වෙනි දාය. ඊළඟ දිනයෙහි ඔව්හු අඩි 27,400ක් උසින් 6 වෙනි කඳවුර පිහිටුවූහ. වින් හැරිස් සහ වේජර් යන දෙදෙනා ඉදිරියට යෑමට පටන්ගත් නමුත් අඩි 28,100ක් දක්වා නැඟ බලවත් වෙහෙස නිසා ආපසු බසින්නට වන්හ.
1935 දී පිටත් වූ ගවේෂක කණ්ඩායම
එරික් ෂිප්ටන්ගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමේ මූලික අදහස වූයේ කඳු මුදුනට බටහිර දෙසින් යන මාර්ග සෝදිසි කර බැලීමත් මෝසම් සුළං තත්වය පිළිබඳ වැඩි දුර කරුණු සෙවීමත්ය. ඔවුන් උතුරු ගෙල කපොල්ලෙහි කඳවුරක් පිහිටුවාගත් නමුදු භයානක හිමධාවය (avalanche) හේතු කොටගෙන ඔවුනට පසුබැසීමට සිදුවිය.
1936 දී දැරූ උත්සාහය
හ්‍යු රට්ලෙජ්ගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමට අස්වාභාවික ලෙස මෝසම් සුළං ඇතිවීම බලවත් කරදරයක් විය. ඔවුන් මැයි 13 වෙනි දා උතුරු ගෙල කපොල්ල දක්වා වූ ගමන අවසාන කොට කඳවුර පිහිටුවා ගත්තා පමණි. හිම පතනය අධික වූයෙන් එතෙකින් ගමන නවතා ආපසු හැරීමට ඔවුනට සිදු විය.
1938 දී සංවිධානය වූ කණ්ඩායම
එච්.ඩබ්ලිව්. ටිල්මන් විසින් මෙහෙයවන ලද මෙම කණ්ඩායමේ ඇතැම් සාමාජිකයෝ ඔක්සිජන් භාවිත කළහ. මැයි 20 වෙනිදා 3 වැනි කඳවුරේදී මුණගැසී ගමනාරම්භ කළ මොව්හු මැයි 24 වෙනි දා උතුරු ගෙල කපොල්ලෙහි කඳවුර බැඳගත්හ. අධික හිමපතනය නිසා ගමන් මාර්ගය වෙනස් කොට ගෙල කපොල්ලට බටහිර පාර්ශ්වයෙන් අන්‍ය මාර්ගයක් සොයාගත්හ. ජූනි 6 වෙනි දා පස්වෙනි කඳවුර බැඳගන්නා ලදින් 8 වෙනි දා ෂිප්ටන්, ස්මිත් යන දෙදෙනො ෂර්පාවරුන් සත්දෙනකුන් සමඟ භයානක හිම අතරින් අඩි 27,200ක් දක්වා නැඟ ගත්හ. හිම නිසා ම ඉන් ඉදිරියට යෑමට ඔවුනට නොහැකි විය.
1951 දී දැරූ උත්සාහය
දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු දේශපාලන හේතු නිසා තිබ්බතය හරහා එවරස්ට් කඳු නැඟීම දුෂ්කර විය. එහෙයින් කන්දෙහි දක්ෂිණ පාර්ශ්වයෙහි තොරතුරු පරීක්ෂා කිරීම සඳහා නේපාල ආණ්ඩුවෙන් අවසර ලබාගන්නා ලදි. එරික් ෂිප්ටන් විසින් මෙහෙයවන ලද මේ කණ්ඩායම සැප්තැම්බර් 22 වැනි දා නම්චේ බසාර් නම් ස්ථානයට පැමිණියහ. ඛුම්බු ග්ලැසියරය මතින් ගමන් ගත් ඔව්හු ලොට්සේ, එවරස්ට් යන කඳු මුදුන් දෙක අතර වූ සර්කය (cirque) - එනම්, ග්ලැසියර ඛාදනය නිසා කඳුවලින් වට වී ඇති වෘත්තාකාර සමතල බිමමතින් දකුණු ගෙල කපොල්ලට යා හැකි පහසු මාර්ගයක් සොයාගත්හ.
1952 දී දරන ලද ප්‍රයත්නය
1952 වසන්තයේ දී ද ආචාර්ය විස් ඩ්‍යුනන්ට්ගේ මෙහෙයීමෙන් යුත් කණ්ඩායමක් එවරස්ට් කඳු නැඟීමෙහි යෙදුණාහ. අප්‍රේල් 26 වැනි දා ඔව්හු අයිස් ෆෝල් නම් ස්ථානයට සම්ප්‍රාප්ත වූහ. දකුණු ගෙල කපොල්ලට පැමිණීම සඳහා තරණය කළ යුතු වූ ලොට්සේ කන්දට එප්රොං දෙ ෂනේව්වා නම් කන්ද අසලින් වැටී ඇති මාර්ගයක් ඔස්සේ නැඟීමට ප්‍රයත්න දැරූහ. මැයි 26 වෙනි දා කණ්ඩායමෙන් පිරිසක් එප්රොං කඳු මස්තකයට (අඩි 26,000) නැඟ එහි සිට ගෙල කපොල්ලට බැස කඳවුරක් පිහිටුවා ගත්හ. ලැම්බර්ට් සහ ටෙසිං අඩි 28,000ක් පමණ උස් ස්ථානයකට නැඟ ඔක්සිජන් උපකරණ ප්‍රමාණවත් නොවීම නිසා ආපසු හැරුණහ.
1952 සරත් කාලයේ දී ද අන්‍ය කණ්ඩායමක් මේ සඳහා මහන්සි ගත් නමුත් තදබල සරත් කුණාටු නිසා ගමන අතරමඟ නැවතිණි.
1953 දී එවරස්ට් කඳුමුදුනට ළඟාවීම
ක’නල් එච්.සී. හට්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට ඊ.පී. හිලරි සහ බඩු අදින්නන්ගේ ප්‍රධානයා වූ ෂර්පා ගෝත්‍රික ටෙන්සිං නෝකේ ද ඇතුළත් වූහ. මේ පිරිස සති තුනක පමණ කාලයක් ඒ අසල කඳු නැගීමෙහි යෙදී පුහුණුව ලැබූහ. බෝර්ඩිලන් සහ එවන්ස් යන දෙදෙනා දකුණු ගෙල කපොල්ලේ සිට කඳු නැඟීම ආරම්භ කළ යුතු යයි ද හිලරි සහ ටෙන්සිං යන දෙදෙනා ඔවුනට පසුව යා යුතු යයි ද ක’නල් හන්ට් තීරණය කෙළේය. සියල්ලට ප්‍රථම ලොට්සේ තලයට පැමිණිය යුතු වූ බැවින් සියලු ම භාණ්ඩාදිය දකුණු ගෙල කපොල්ලට ගෙන යන ලදි. මැයි 17 වැනි දා අඩි 24,000ක් උසින් කඳවුරු බැඳගන්නා ලදි. මැයි 22 වැනි දා වයිලි, හිලරි, ටෙන්සිං ආදි පිරිස දකුණු ගෙල කපොල්ලට සම්ප්‍රාප්ත වූහ. 26 වැනි දා එවන්ස් සහ බෝර්ඩිලන් යන දෙදෙනා එවරස්ට්හි දක්ෂිණ මස්තකයට (අඩි 28,700) ළඟා වූ නමුත් නොයෙක් දුෂ්කරතා හේතුකොටගෙන ඔවුනට ඉන් ඔබ්බට යාගත නොහැකි විය. 29 වැනි දා පෙරවරු 9.00ට දකුණු මස්තකයට පැමිණි හිලරි සහ ටෙන්සිං ඊට පැය දෙකහමාරකට පසු අවසාන වැටිය තරණය කොට එවරස්ට් කඳු මස්තකයෙහි සිටගත්හ.
1956 දී එවරස්ට් හා ලොට්සේ යන කඳු මුදුන් දෙකට ම එකවර නැඟීම
මේ කාර්යය ඉටු කෙළේ ඒ. ටේලර්ගේ ප්‍රධානත්වයෙන් යුත් ස්විස් ජාතික කණ්ඩායමකි. බ්‍රිතාන්‍යයන් ගිය මාර්ගය ඔස්සේ ම ගිය මේ කණ්ඩායමේ රයිස් සහ ලුක්සිංගර් යන දෙදෙනා මැයි 18 වැනි දා ලොට්සේ මස්තකයට නැඟි අතර මාර්මට් හා ෂ්මීට් යන දෙදෙනා මැයි 23 වැනි දා ද ගුංටන් හා රයිස්ට් යන දෙදෙනා මැයි 24 වැනි දා ද එවරස්ට් මස්තකයට නැංගාහ.
1960 දී ඉන්දියානු කණ්ඩායමක් විසින් දරන ලද ප්‍රයත්නය
බ්‍රිගේඩියර් ග්යාන් සිං මේ කණ්ඩායමේ නායකත්වය දැරීය. දක්ෂිණ පාර්ශ්වයෙන් කඳු මස්තකයට නැඟීමට අදිටන් කරගත් මොව්හු අප්‍රේල් 19 වැනි දා බටහිර සර්කයෙහි (cirque) කඳවුරු බැඳගත්හ. දේශගුණය එතරම් සතුටුදායක නුවුව ද එක් පිරිසක් මැයි 9 වැනි දා දකුණු ගෙල කපොල්ලට ළඟා වූහ. අඩි 28,300ක් ඉහළට නැඟි මොවුහු අයහපත් කාලගුණය නිසා ආපසු පැමිණියහ.
මැයි 25 වැනි දා ෂි චාන්-චුන් නමැත්තකුගේ නායකත්වය යටතේ වූ චීන කණ්ඩායමක් ද උතුරු පාර්ශ්වයෙන් එවරස්ට් මස්තකයට නැඟි බව කියනු ලැබේ.
1963 දී ඇමෙරිකානු කණ්ඩායමක් එවරස්ට් මස්තකයෙහි පර්යේෂණ පැවැත්වීම
නෝ’මන් ජී. ඩයිරන්ෆ’ත්ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට කායිකවිද්‍යාඥයන්, මනෝවිද්‍යාඥයන්, ග්ලැසියර විද්‍යාඥයන් හා කාලගුණ විද්‍යාඥයෝ පිරිසක් සහභාගි වූහ. කඳු මස්තකයට නැඟීම මෙන් ම විද්‍යාත්මක පර්යේෂණ පැවැත්වීම ද මේ පිරිසේ අරමුණ විය. පෙබරවාරි 20 වැනි දා කාට්මාංඩු නගරයෙන් පිටත් වූ මේ කණ්ඩායම කඳු මස්තකයට නැඟ පර්යේෂණ කටයුතු අවසන්කොට පෙරළා ඇමෙරිකාවට ගියේ ජූලි 8 වැනි දාය. මෙම කණ්ඩායම විසින් පවත්වන ලද විද්‍යාත්මක පර්යේෂණවල සාර්ථකත්වය නිසා ම ඔවුනට හිටපු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි විසින් ජාතික භූගෝල විද්‍යා සංගමයේ හබඩ් මුද්‍රිකාව පිරිනැමිණි.
1965 දී නැඟි ඉන්දියානු කණ්ඩායම
ලෙප්ටිනන්ට් කමාන්ඩර් එම්.එස්. කෝලිගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමේ සාමාජිකයන් විසිඑක්දෙනාගෙන් 9 දෙනෙක් ම එවරස්ට් මස්තකයට නැංගාහ. මොවුනතුරෙන් නවාං ගොම්බු මීට පෙර ද 1963 දී ඇමෙරිකානු කණ්ඩායම සමග එවරස්ට් මස්තකයට නැංගේය. මේ අනුව ඉන්දියාව ලෝකයේ උස ම ස්ථානය වූ එවරස්ට් මස්තකයට සම්ප්‍රාප්ත වූ සිව්වැනි ජාතිය වන්නේය.
(සංස්කරණය: 1974)