එස්ටේ
ඉතාලියේ පැඩුවා ප්‍රදේශයෙහි මොන්ටෙවෙරෝ කඳු බෑවුමෙහි පිහිටි නගරයකි. ජනගහනය (1957) 16,186කි. මෙය පුරාණයේ දී අටෙස්ටේ නමින් හැඳින්විණ. එස්ටේ නගරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව සමය දක්වා පැරණිය. ක්‍රි.පූ. 8 වන සියවසින් ඔබ්බෙහි සිට ම අටෙස්ටේවාසීන් කලා ශිල්ප අතින් දියුණුව සිටි බව පැරණි නගරයෙන් සොයාගනු ලැබූ පුරාවස්තුවලින් පැහැදිලි වේ. ඔවුන්ට ලෝකඩ හා මැටි භාණ්ඩ තැනීමෙහි විශේෂ පුහුණුවක් තිබිණි.
දීර්ඝ කාලයක් අත්හැර දමා තිබුණු එස්ටේ නගරය මධ්‍යකාලීන යුගයේ දී බලකොටුවක් හා යුද කඳවුරක් වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලීය. 1275 දී පැඩුවාවරුන් විසින් පලවා හරිනු ලබන තුරු මෙම නගරය එනමින් ම හැඳින්වුණු සුප්‍රසිද්ධ එස්ටේ පෙළපතට අයත් විය. 1405 දී එය වැනිසියන්වරුන්ගේ ආධිපත්‍යයට යටත් වූයේය. මධ්‍යකාලීන යුගයට අයත් ගොඩනැඟිලි අතර මාළිගයක් හා රෝමනෙස්ක් ආසන දෙව්මැදුරක් ද ඇළ වී ගිය විශාල ඝණ්ටා කුලුනක් ද දක්නට ලැබේ. මෙම ගොඩනැඟිලි නිසා නගරයේ මධ්‍යකාලීන ස්වරූපය තවමත් ආරක්ෂා වී ඇත.
මිටියම් කොට හැඩගන්වා නිම කළ ලෝකඩ තහඩු බාල්දි (situlae) එස්ටේහි තිබී සොයාගන්නා ලද පුරාවස්තු අතුරින් විශිෂ්ට වේ. මේවා ජ්‍යාමිතික හා රූප මෝස්තරවලින් අලංකාර කර ඇත.
(සංස්කරණය: 1974)