එස්ඩ්‍රඊලොන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Esdraelon). මධ්‍යම පලස්තීනයේ පිහිටි සාරවත් තැන්නකි. මෙය ජෙස්රීල් මිටියාවත හෙවත් මෙගිදෝ තැන්න යනුවෙන් ද හැඳින්වේ. කාර්මල් කන්ද අසලින් මධ්‍යධරණී මුහුදේ සිට ජෝර්දාන් නදිය දක්වා විහිදී යන මේ තැන්න සාමාන්‍යයෙන් ත්‍රිකෝණාකාරය. මේ තැනිතලාව මැදින් කිෂොන් ගංගාව ගලා යයි. තවද පලස්තීනය හරහා වැටී ඇති මුහුදුබඩ මහා මාර්ගය ද මේ තැන්න ඔස්සේ දිවෙයි.

පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුත් ප්‍රදේශයක්ව පැවැතුණු මෙය දැන් කෘෂිකර්මය අතින් දියුණු තත්වයක් උසුලයි. මුල දී මේ තැන්න ගොවිතැනට අහිතකර වූ යමහල් හා දියළු පසින් යුත් වගුරුවලින් ගහනව තිබුණු නමුදු 1920 දී බ්‍රිතාන්‍යයට භාර ප්‍රදේශයක්ව පැවැති කාලයේ පටන් සයන්වාදී (Zionist) හා ඊශ්‍රායෙල් සංවර්ධන සැලැසුම් යටතෙහි ජනපද වාසීන් විසින් එය සාරවත් ගොවිබිමක් බවට පමුණුවන ලදි. දැන් එහි කෘෂිකාර්මික ජනපද පිහිටුවා ඇත; නූතන මහා මාර්ග තනා ඇත. එස්ඩ්‍රඊලොන් තැන්නෙහි ප්‍රවාහණ මධ්‍යස්ථානය වූ ඇෆියුල් නගරය හරහා දිවෙන මාර්ග තෙල් අවීව්, හයිෆා යන වෙළඳ නගර දක්වාත් ජෝර්දාන් මිටියාවත දක්වාත් විහිදී යයි. පැරණි නටබුන් නගරයක් වූ මෙගිදෝ නගරය පාරම්පරික වශයෙන් පමණක් නොව පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් ද බයිබලයේ ආර්මගෙදොන් නමින් සඳහන්ව ඇති හාර්-මෙගිදොන් නගරය බව හඳුනාගෙන ඇත. තවද පුරාවිද්‍යාත්මක කැණීම් මගින් මෙහි ඉපැරණි ජනාවාස හා බලකොටු ද මිසර පාරාවෝවරුන්ගේ ආරාම සලකුණු ද සොයාගෙන ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එස්ඩ්‍රඊලොන්&oldid=11363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි