එළු අත්තනගලු වංශය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දඹදෙණි රාජ්‍ය සමයෙහි අත්තනගලු විහාරයෙහි නෙතෘභාවෝපගතව විසූ ශ්‍රී අනවමදර්ශී සංඝරාජයාණන්ගේ මෙහෙයීමෙන් ලියන ලද ජනප්‍රිය චම්පූ කාව්‍යයක් වන පාලි හත්ථවනගල්ල විහාරවංසය සිංහලයට නඟා දැහැමි සිරිසඟබෝ රජුගේ උදාර වූ බෝධිසත්ව චරිතය ගෙනහැර පාමින් රචිත ගද්‍ය කාව්‍යයකි. ගම්පොළ පස්වන බුවනෙකබා රජුගේ සත්වන රාජ්‍ය වර්ෂයෙහි, එනම් ක්‍රි.ව. 1382 දී, අලකේශ්වර, අර්ථනායක යන බුවනෙකබා රජුගේ ඇමතිවරුන් දෙදෙනාට හිතවත්ව විසූ ශත්‍රැසිංහකුංජරාභිධාන සේනානායක මන්ත්‍රීශ්වරයාගේ ඇරයුමෙන් මෙම ග්‍රන්ථය රචිත බව කියැවේ. කර්තෘ කවරෙක් දැයි අප්‍රකට වුවත් අනවමදර්ශී සංඝරාජයාණන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙහි කෙනකුන් වන්නට ඇතැයි සිතිය හැකියි.

එළු අත්තනගලු වංශය පාලි හත්ථවනගල්ල විහාරවංශය ළඟින් ඇසුරු කරමින් රචිත ග්‍රන්ථයක් වුව ද තරුණ සිරිසඟබෝ කුමරුට මයිල් නන්ද හිමියන් දුන් අවවාද වැනි තැන් ගත්කරු පරිවර්තනයෙහි පෑ දස්කම හෙළි කරයි. ශබ්දාලංකාරයන්ගෙන් මෙන් ම අලංකාර වර්ණනයන්ගෙන් ද යුත් මෙම ග්‍රන්ථයෙහි බාණයන්ගේ කාදම්බරියෙන් ද ආර්‍ය්‍යශූරයන්ගේ ජාතකමාලාවෙන් ද ලත් ආභාසය දැක්ක හැකිය.

විශේෂයෙන් අත්තනගලු වංශයේ අවවාද පරිච්ඡේදය ශිෂ්‍යභාවයෙන් මිදී ජීවිතයාත්‍රාවට බැසගන්නා තරුණ ජනයාගේ ජීවිතයාත්‍රාව නිරුපද්‍රැත කිරීමට සමර්ථ වන බව කිව යුතුය.

තවද හත්ථවනගල්ල විහාරවංසය පරිවර්තනය කිරීමෙන් වීදාගම මෛත්‍රෙය මහතෙරණුවන් විසින් කථිතව උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂු නමක් විසින් ලියන ලද ‘අත්තනගලු විහාරවංස’ නමින් පළව ගිය ග්‍රන්ථයෙකුදු ඇත. එක් මැ ග්‍රන්ථයක පරිවර්තන හෙයින් ග්‍රන්ථාශ්‍රය වශයෙන් වෙනසක් නැත ද පරිවර්තකයන්ගේ භාෂාශෛලිය විසින් ඇති වූ යම් යම් වෙනස්කම් පමණක් දැක්ක හැකි වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එළු_අත්තනගලු_වංශය&oldid=11458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි