ඒකනායක
පොළොන්නරු සමයෙන් පසු සිංහල රාජ සභාවෙහි වූ ඉතා උසස් පදවියක් සේ සැලකේ. කඳවුරු සිරිතෙහි කලිකාල සාහිත්‍ය පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ පිරිවර නිලධාරීන් අතුරෙහි මුලින් ම එන සේනානායකයනට පසුව ද හංස සන්දේශයෙහි රාජසභා වර්ණනයෙහි මුල්තැන ගන්නා රාජකුමාරවරුනට පසුව එහෙත් වික්‍රමසිංහ අදිකාරම්ට හා සේනානායකවරුනට පෙරාතුව ද ඒකනායක ගැන සඳහන් වේ. මේ හැර ඒකනායකවරුන් ගැන පැවසෙන අන් තැනක් ගැන ඉතිහාසඥයන් මෙතෙක් සොයාගෙන නැති අතර ඒකනායක පදවියට අයත් බලතල හා රාජකාරි කවරේ දැයි කිසි තැනක සඳහන්ව ඇත්තේ ද නැත. ඒ කෙසේ වුවත් ඉහත දැක්වෙන නිලකාර වට්ටෝරුවල ඉතා මුදුන් තැනක් ගෙන ඇති ඒකනායක පදවිය ඉතා ම වගකිවයුතු උසස් නිලයක් වූ බවට සැකයක් නැත.
හංස සන්දේශයෙහි ‘ඒකනායක මැති මහන්තේ’ යයි පවසා තිබීමෙන් අදහස් වනුයේ ඒකනායකවරයා ‘මහන්ත’ යන ගරු නම ද දැරූ බව යයි සිතන පරණවිතාන සූරීහු ඒකනායක පදවිය වත්මන් මහාමාත්‍ය යන්නෙන් අදහස් වන පදවියට අනුරූප වූවක් විය හැකි යයි ද කල්පනා කරති. පසු කාලයෙහි වාසල මුදලි තත්වයේ ඒකනායක පදවියක් වූ බව සාලිඇලේ මණිරතන හිමියන් කළ කව්මුතුහරෙහි එන “කොළඹ වාසල ඒකනායක මුදලිඳුය පරසිදු උනා” (54) යනාදි කවෙන් පෙනේ.
(සංස්කරණය: 1974)