ඒකබීජපත්‍රිකයෝ
(Monocotyledons). මේ වූකලි මහා වර්ග දෙකකින් සමන්විත ආවෘත බීජකයන්ගේ එක් වර්ගයකි. අනික් වර්ගය නම් ද්විබීජපත්‍රිකයෝයි (බ.). ඒකබීජපත්‍රිකයන්ගේ කලලයෙහි තනි බීජ පත්‍රය අග්‍රස්ථව පිහිටීම ද කඳෙහි අග්‍රය පාර්ශ්වික ලෙස පිහිටීම ද ඒවායේ විශේෂ ලක්ෂණයි. ද්විබීජපත්‍රිකයන්ගේ කලලයෙහි බීජ පත්‍ර දෙක පාර්ශ්වික ලෙස පිහිටා තිබීම ද කඳෙහි අග්‍රය අග්‍රස්ථව පිහිටා තිබීම ද ඒවායේ විශේෂ ලක්ෂණයි. ඒකබීජපත්‍රිකයන්ගේ කලලයෙහි කඳෙහි අග්‍රය පාර්ශ්වික ලෙස පිහිටා තිබීම වැඩි වශයෙන් සිදු වී ඇත්තේ ද්විතීයික ලෙසය. කොමෙලිනාසේ (Comelinaceae) හා ඩියොස්කොරෙයාසේ (Dioscoreaceae) වැනි ඒකබීජපත්‍රික ශාක කුල ස්වල්පයක කඳේ අග්‍රය සැබවින් ම අග්‍රස්ථ ලෙස පිහිටා තිබේ.
ඒකබීජපත්‍රිකයන් හා ද්විබීජපත්‍රිකයන් අතර ඇති පරිණාමික සම්බන්ධය බොහෝ වාද විවාදයනට භාජන වූවකි. ද්විබීජපත්‍රිකය වඩා පැරණි කාණ්ඩය ලෙස බොහෝ දෙනා සලකති. මේ මතයට අනුව ඒක බීජපත්‍රික තත්වය ලැබී ඇත්තේ එක බීජපත්‍රයක් යටපත් වී යෑමෙන් හෝ විශේෂණයකට භාජන වීමෙනි. ඒකබීජපත්‍රිකයන් වඩා පැරණි කාණ්ඩය යයි ද ද්විබීජපත්‍රික තත්ත්වය ඇති වූයේ තනි බීජපත්‍රය දෙකට බෙදී යැමේ ප්‍රතිඵලයක් වශයෙන් යයි ද තවත් අය සිතති. වැඩි දෙනා අතර අද පිළිගැනී ඇති මතය නම් ද්විබීජපත්‍රිකයන් වඩා පැරණි කාණ්ඩය වන බවත් වැඩි කල් යන්ට මත්තෙන් කිසියම් ද්විබීජපත්‍රික කුලයකින් ඒකබීජපත්‍රිකයන් පරිණාමය වූ බවත්ය. ඒ ද්විබීජපත්‍රික කුලය රණාලීය සංකීර්ණයට (Ranalian complex) අයත් වූවක් විය හැකිය. රනාලේස් ගෝත්‍රයට අයත් ශාකයන්ට මෙන් වඩා පැරණි ඒකබීජපත්‍රිකයන්ට ද අපාණ්ඩපික (apocarpus) ඡායාංගයක් ද බොහෝ රේණුවලින් යුත් පුමාංගයක් ද ඇත. පැරණි ඒකබීජපත්‍රික ගෝත්‍රයක් වන අලිස්මටාලේස් (Alismatales) ශාකවලට භ්‍රෑණපෝෂය නැතත් ඒකබීජපත්‍රිකයන්හි ද්විබීජපත්‍රික රනාලේස් ශාකවල මෙන් බෙහෙවින් භ්‍රෑණපෝෂ තිබේ. අලිස්මටාලේස් ගෝත්‍රයෙහි භ්‍රෑණපෝෂයක් නැති වීමට හේතුව එම ගෝත්‍රයට අයත් ශාක ජලයේ ජීවත් වීමට පුරුදු වීම විය හැකි බව දක්වා ඇත.
බොහෝ ඒකබීජපත්‍රික බීජවල ප්‍රරෝහණය අධෝභෞමය (hypogeal). තනි බීජපත්‍රය පොළව යට බීජය තුළ රැඳී පවතිමින් භ්‍රෑණපෝෂයෙහි සංචිත ආහාර අවශෝෂණය කරයි. පොල් ගෙඩියේ පැළ මදය හා ඉරිඟු බීජයේ වරථිකාව (scutellum) මීට හොඳ නිදසුනි. ඉරිඟුවල බීජ පත්‍රය විශේෂණය වී ඇති ප්‍රමාණය වෙසෙසින් සිත්ගන්නාසුලුය. වර්ධනය වන කලලයට ආහාර අවශෝෂණය කිරීම වරථිකාවේ කෘත්‍යය වේ. අනික් කොටස වන බීජාග්‍රපය (coleoptile) බීජාංකුරය (plumule) ආරක්ෂා කරයි. දෙක ම තනි බීජපත්‍රයක කොටස්ය.
කාණ්ඩ දෙක ම එක පොදු මුල් ස්ථානයක් ප්‍රභව කොට ඇති බව ද මෑතක දී කරන ලද කලල විද්‍යාත්මක පර්යේෂණවලින් පෙනේ. මේවායින් පෙන්වන්නේ කාණ්ඩ දෙකෙහි ම කලලවල මුල් අවස්ථාවල දී ඒකාකාර ඛණ්ඩන මෝස්තර (segmentation patterns) තිබෙන බවය.
මෙම සාක්ෂි අනුව ද්විබීජපත්‍රිකයන්ගේ ප්‍රභවය ඒකවංශික බව පෙනේ. පොසිල ඉතිහාසය මෙහි ලා එතරම් ප්‍රයෝජනවත් නොවේ. භූ ඉතිහාසයේ එකම නිධිවල කාණ්ඩ දෙක ම දක්නට ලැබේ. එබැවින් ඊටත් කලින් වූ පොදු මුත්තනු ශාක පන්තියකින් සමාන්තර කාණ්ඩ වශයෙන් මේවා පරිණාමය වන්නට ද ඉඩ තිබිණ.
කාණ්ඩ දෙක අතර ඇති සම්බන්ධතා ගැන පොදු එකඟත්වයක් තවමත් නැත. ඇතැම් විද්‍යාඥයන් වඩා පැරණි සේ සලකන කාණ්ඩයට වඩා අනෙක පැරණි යයි ඇතැම්මු සලකත්. කෙසේ වුවත් කාණ්ඩ දෙකෙන් ද්විබීජපත්‍රිකයන් වඩා පැරණිය යනු තුලනාත්මක රූප විද්‍යාව පදනම් කොටගෙන මෑත විද්‍යාඥයන් එළඹ ඇති නිගමනයයි.
පුෂ්ප ලක්ෂණ ගැන සලකා බලන විට ආදි ම ඒකබීජපත්‍රිකයන් විභේදනය වූ පරිපුෂ්පයක් සහිත ද්විබීජපත්‍රිකයන්ට සමාන බැව් 1934 දී හචින්සන් (Hutchinson) විසින් පෙන්වා දෙන ලදි. මේ ද්විබීජපත්‍රිකයන්ගේ පරිපුෂ්පයේ බාහිර වලය පලාවන්ය; මණිපත්‍රාභය. අභ්‍යන්තර වලය සුදු හෝ වර්ණවත්ය; දලාභය. පරිණාමය වෙමින් ආ මාර්ග දෙකක් හචින්සන් පිළිගෙන තිබේ. එයින් එකක් බුටොමාලේස් (Butomales) හා අලිස්මටාලේස් කෙරෙන් ආරම්භ වී කොමෙලිනාලේස් (Commelinales) හරහා ගොස් සින්ගිබෙරාලේස් (Zingiberales) ශාකවලින් අවසාන වේ. මේවායේ මණිපත්‍ර හා දල වෙන් වෙන්ව අඳුනා ගත හැකි සේ පිහිටා තිබේ. මේවා කැලිසිපෙරෙ (Calyciferae) හෙවත් මණිධරයෝ යනුවෙන් හචින්සන් නම් කරයි. අනික් කාණ්ඩයේ මේ කොටස් වෙන් වෙන්ව අඳුනාගැනීම නොහැකි වන්නට පුළුවන. ඒවා එකට ඒකාබද්ධ වන්නට පවා පුළුවන. මෙය ලිලියාසේ, අමරිලිඩාසේ හා ඉරිඩාසේ කුලවල බොහෝවිට දක්නට ලැබේ. මේ දෙවැනි වර්ගයට ඔහු කොරොලිපෙරෙ (Corolliferae) යන නම දෙයි. එය ලිලියාසේවලින් ආරම්භ වී ඉරිඩාසේ, අරාසේ, වියොස්කොරෙයාසේ, පල්මෙ හා ඕකිඩාසේ වැනි කුල කිහිපයකින් කුළුගැන්වේ. ග්රමිනෙ හා සිපෙරාසේ අඩංගු ග්ලුම්ප්ලොරෙ ගෝත්‍රය ලිලි පෙලන්තියෙන් ආරම්භ වූ හායන ශ්‍රේණියකි.
ඒකබීජපත්‍රිකයන්ගෙන් වැඩි හරිය අකාෂ්ඨ ශාක වන අතර ඒකබීජපත්‍රික ගස් තාල වර්ගයේ ගස්වලට ද උණ ගස්වලට ද අරාසේ හා ලිලියාසේ කුලවලට අයත් කාෂ්ඨීය ශාකවලට ද සීමා වේ. ද්විබීජපත්‍රිකයන්ගේ අකාෂ්ඨ ශාකයෝ එම වර්ගයේ ගස්වලට වඩා දියුණු වූ ශාකයන් සේ සලකනු ලැබෙත්. එහෙත් ඒක බීජපත්‍රිකයන්ගේ කාෂ්ඨීය ශාක වඩා දියුණු සේ සලකනු ලැබේ. හචින්සන් සලකනුයේ ලිලියාසේ කුලයට අයත් ශාකවලින් තාලවර්ගයේ ගස් පරිණාමය වී ඇත කියාය. අරාසේ කුලයට අයත් කාෂ්ඨිය ශාකවල පුෂ්ප ව්‍යූහය ඒ කුලයට අයත් අකාෂ්ඨ ශාකවල පුෂ්ප ව්‍යූහයට වඩා දියුණු වී ඇති බවත් ඔහු පෙන්වයි.
ඒකබීජපත්‍රිකයන්ගෙන් වැඩිහරිය අකාෂ්ඨ බහුවාර්ෂිකයෝය. ශීත ඍතුව හෝ නිවර්තන ප්‍රදේශවල ඉඩෝරය වැනි අහිතකර ඍතූන් මේ ශාක ගත කරන්නේ ඒවායේ අලුතෙන් වර්ධනය වන අංකුර පොළොව යට පස් තට්ටුවකින් ආරක්ෂා කොටගෙනය. මේවාට භූශාක (geophytes) යයි කියනු ලැබේ. විකරණය වූ නොයෙක් කඳන් හා මුල් වර්ග ඒවා අතර දක්නට ලැබේ.
වෙනත් කැපී පෙනෙන්නා වූ වර්ධක හා පුෂ්ප ලක්ෂණ කිහිපයක් ඒකබීජපත්‍රිකයන් කෙරෙහි දක්නට ලැබේ. වැඩි වශයෙන් මේ ශාක මුදුන් මුලක් නැති බහුවාර්ෂික පැළෑටිය. බඩ ඉරිඟු වැනි ශාකවල කරුමුල් විකසනය වීමෙන් ශාකයට ආධාර ලැබේ. මේ මුල්වල බාහික කලාපයේ ඝන ඝන්ධාරක නිර්මාණය අකාෂ්ඨ ද්විබීජපත්‍රිකයන්ගේ කඳන්වල නිර්මාණයට තරමක් සමානය. තවද ඒකබීජපත්‍රික ගස්වල ශාඛනය පමණ දියුණු වී නැත. මීට හේතුව ඒකබීජපත්‍රිකයන්ගේ කඳන්වල ද්වීතියික ඝනවීමක් නැතිවීම විය හැකිය.
ඒකබීජපත්‍රිකයන්ගේ පත්‍ර සරලය. සංයුක්ත පත්‍ර දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් පත්‍රවල හැඩය රේඛීය වේ. ගස් ස්වල්පයක හැර අනික් ඒවායේ පත්‍ර වෘන්තය නැත. සම්පූර්ණයෙන් ම වාගේ කඳ කොපුවකින් මෙන් වසා සිටින පළල් පත්‍ර පාදයක් ඇත. වැඩි වශයෙන් පත්‍රවලට උපපත්‍ර (stipules) නැත. රීතියක් වශයෙන් පත්‍රවල නාරටි වින්‍යාසය සමාන්තරය. පොදුවේ, ස්මිලැක්ස් (Smilax), ඩියොස්කොරෙයා (Dioscorea), කොලොකාසියා (Colocasia), අන්තූරියුම් හා අලිස්මටාසේ කුලයට අයත් ශාක වැනි ශාක ස්වල්පයක පත්‍ර පළල්ය. ද්විබීජපත්‍රිකයන්ගේ පත්‍රවල මෙන් මේවායේ පත්‍රවල නාරටි වින්‍යාසය ජාලාභය (reticulate). මේ ලක්ෂණ ඇතැම් මුත්තණු ලක්ෂණයක ප්‍රවර්තනයක් (survival) ලෙස ඇතැමෙක් සලකති. ශාක කිහිපයක (නි. ඉරිඩාසේ) පත්‍ර සෘජු ලෙස පිහිටා තිබේ. ඒවා ද්විබීජපත්‍රිකයන්ගේ පත්‍ර මෙන් පෘෂ්ඨෝදර (dorsiventral) නොව සමද්විපාර්ශ්ව (isobilateral) වේ. මේ පත්‍රවල අභ්‍යන්තර ව්‍යූහයෙහි ඉනි මෘදුස්තරය (palisade parenchyma) නැත. ඒ වෙනුවට මුළු පත්‍රමධ්‍යය (mesophyll) කුඩා වටකුරු සෛලවලින් සමන්විතය. මේ අතින් බොහෝ ඒකබීජපත්‍රිකයන්ගේ පත්‍රවල අභ්‍යන්තර ව්‍යූහය සෙවණෙහි වැඩෙන ශාකයන්ගේ පත්‍රවල අභ්‍යන්තර ව්‍යූහයට සමානය. සිත් ගන්නා අපිශාක සහිත ඕකිඩාසේ හා බ්රොමෙලියාසේ වැනි ඇතැම් කුලවලට අයත් ශාක දක්නට ලැබෙන්නේ නිවර්තන තෙත් වනාන්තරවල පමණක් ම වාගේ බව සැලකිය යුතු කරුණකි. සිලින්ඩරාකාර පත්‍ර ඇති ලූනු වැනි ශාකවල පත්‍රය වටේ ම ඉනි පටකය ඇත.
බොහෝ ඒකබීජපත්‍රිකයන්ගේ පත්‍රවල අපිවර්මීය සෛලයෝ පත්‍රයේ දිග අක්ෂය දෙසට දික් වී සිටිත්. සාමාන්‍ය හැඩහුරුකමින් යුත් පුටිකා මේ අපිචර්මීය සෛල අතර විසිරී තිබේ. තෘණ කුලයට අයත් ශාකයන්ගේ පුටිකාවල ‘ඩම් බෙල්’ හැඩය ඇති පාලක සෛල දෙකක් දක්නට ලැබේ. සිරස් පත්‍රවල දෙපැත්තේ ම පුටිකා එක ලෙස තිබේ. එහෙත් සනාල කලාපවල සාමාන්‍ය සංලග්න (collateral) සැලැස්මක් දක්නට ලැබේ. බෙලන්කන්ඩා (Belancanda) වැනි ශාකවල සිරස් පත්‍ර කලාපවල ප්‍රතිලෝම දිශානතියක් (inverse orientation) දක්නට ලැබේ. මේ ලක්ෂණය ද පත්‍රවල සමාන්තර නාරටි වින්‍යාසය ද ඒකබීජපත්‍රිකයන්ගේ පත්‍ර සැබවින් ම පත්‍රාභයක් (phyllode) යයි යන මතය සනාථ කිරීමට ඉදිරිපත් කරන සාක්ෂ්‍යවලින් සමහරකි. මේ මතය අනුව ඒකබීජපත්‍රිකයන්ගේ පත්‍රය පත්‍රාභයක් වන බැවින් එයට පත්‍ර වෘන්තයක් නැත. බොහෝ ඒකබීජපත්‍රික පත්‍ර පත්‍රාභ ලෙස සැලකිය හැකි වුවත් තාල වර්ගයේ ගස්වල පත්‍ර වැනි පත්‍ර එලෙස සැලකීම දුෂ්කරය.
ඒකබීජපත්‍රික කඳන්වල සහ මුල්වල අභ්‍යන්තර ව්‍යූහ ඉතා ලාක්ෂණිකය. බඩඉරිඟුවල හා තාල වර්ගයේ ගස්වල මෙන් මෙම කඳන් වැඩි හරියක ම සනාල කලාප පූරක පටකයෙහි (ground tissue) සෑම තැන ම වාගේ විසිරී ඇත. පිටතින් තිබෙන සනාල කලාපවල සන්ධාරක පටකය වැඩියෙන් විකසනය වී ඇත. බොහෝ ශාකවල ඒවා අධශ්චර්මීය (hypodermal) දෘඪස්තර (selerenchymatous) මුදුවක ගිලී තිබේ. වඩා මැදින් තිබෙන කලාප සාමාන්‍යයෙන් ලොකුය. ඒවායේ ඇත්තේ සන්ධාරක පටක ස්වල්පයකි. සනාල කලාප වැසුණු කලාප වශයෙන් විස්තර කරනු ලබන්නේ ඒවා බොහොමයක දක්නට ලැබෙන කලාප කොපුව (bundle sheath) නිසා නොව ඒවායේ කැම්බියමක් (cambium) නැති නිසාය. ප්‍රතිශෛලම (metaxylem) ළඟට ප්ලෝයම (phloem) තිබීමෙන් සනාල කලාපයේ සාමාන්‍ය සංලග්න පිළියෙල වීම දැක්වේ. ප්ලෝයම පෙනේර නළවලින් හා සහචර සෛලවලින් සමන්විතය. ප්ලෝයමේ මෘදු ස්තරය නැත. සනාල කලාපයේ ව්‍යූහයේ විකරණ කිහිපයක් දක්නට ලැබේ. බඩඉරිඟුවල දක්නට ලැබෙන භංගජාත (lysigenous) කුහරයට නෙරා සිටින ප්‍රාක්ශෛලමේ ලොකු වලයාකාර වාහිනී සහිත මෝස්තරය ඒකබීජපත්‍රිකයන් අතර බහුල නොවේ. ඇස්පැරගස්වල (asparagus) ශෛලමය (xylem) Y හැඩයක් ගනී. Y ලකුණේ බාහු දෙක දිගේ ප්‍රතිශෛලමය ද ඒ දෙක අතර ෆ්ලෝයම ද තිබේ. අකෝරුස් කලමුස් (Acorus calamus), ඩ්රසීනා (Dracaena), කෝඩිලිනෙ (Cordyline) යනාදි ශාකවල සනාල කලාප උභය-ශෛලමීය (amphivasal) වශයෙන් හැඳින්වේ. ඊට හේතුව නම් ඒවායේ මැද තිබෙන ප්ලෝයම ශෛලමෙන් වට කොට තිබීමයි. වෙනත් ඒකබීජපත්‍රිකයන්ගේ මැද තිබෙන මජ්ජාව වටේ ද්විබීජපත්‍රිකයන්ගේ මෙන් සනාල කලාප පිළියෙල වී තිබෙන්නට පුළුවන (නි. ඩියොස්කොරෙයා).
ඩ්රසීනා, කෝඩිලිනෙ හා යුකා වැනි ලිලියාසේ කුලයට අයත් කාෂ්ඨීය ශාක ස්වල්පයක ද්විතීයික වර්ධනය ඇති වේ. එහෙත් ද්විබීජපත්‍රිකයන්ගේ ද්විතීයික වර්ධනයට වඩා මෙය බෙහෙවින් වෙනස්ය. පිටතින් ම තිබෙන ප්‍රාථමික කලාපවලට පිටින් වූ ප්‍රදේශයේ ද්විතීයික විභාජක පටකයක් (meristematic tissue) ඇති වේ. මේ විභාජක පටකය පරිචක්‍ර (pericycle) ප්‍රදේශයෙහි හෝ බාහික ප්‍රදේශයෙහි හෝ තිබිය හැකිය. මේ විභාජකයෙන් ඇති වන සෛලවලින් ද්විතීයික කලාප සෑදේ. ප්ලෝයමීය සෛල ස්වල්පයක් වට කරන ශෛලමෙන් මේ කලාප සමන්විතය. ප්‍රාථමික කලාප කලින් තිබුණු හැටියට පවතී.
බොහෝ ඒකබීජපත්‍රිකයන්ගේ මුල්වල තරමක් ලොකු මජ්ජා කලාපයක් දක්නට ලැබේ. ශෛලම හා ප්ලෝයම සෛල මාරුවෙන් මාරුවට මජ්ජාව වටේ පිළියෙල වී තිබේ. එක් එක් සමූහයේ ලොකු ප්‍රතිශෛලම සෛල ස්වල්පයක් ඇත. හරස්කඩක මේවා ඉලිප්සීය හෝ වෘත්තාකාර හෝ විය හැකිය. අන්තශ්චර්මය ඉතා හොඳින් විභේදනය වී ඇත. එහි අරීය බිත්තිවල හා අභ්‍යන්තර ස්පර්ශක බිත්තිවල සුබෙරින් සූස්තරයක් (suberin lamella) දක්නට ලැබේ. ප්‍රාක්ශෛලමීය සෛල කිහිපයක් ඉදිරියෙහි වූ අන්තශ්චර්මයේ තුනී බිත්ති සෛලවලින් මං සෛල (passage cells) සෑදේ. ඕකිඩ් පැළෑටිවල වායව මුල්හි හරස්කඩවල අන්තශ්චර්ම සෛලයන්ගේ බිත්ති සතර ම ඝන වී ඇති බව පෙනේ. තවද ත්වචය (velamen) නමින් හැඳින්වෙන විශේෂ පටකයක් ද මේ වායව මුල්වල දක්නට ලැබේ. ත්වචය වූකලි හොඳින් විභේදනය වූ බහිශ්චර්මයකට (exodermis) පිටතින් වූ බහුඅපිචර්මයකි. වායව මුල් මත වැටෙන වැසි ජලය හා පිනි අවශෝෂණය කර ගැනීමට ත්වචයට ශක්තියක් තිබේ.
අන්තශ්චර්මය ඇතුළතින් පටන් ගන්නා කැම්බියම් කලාපයක සක්‍රියතාවෙන් ඩ්රසීනාවල මුල්වලත් ද්විතීයික වර්ධනය ඇති වේ. පසු අවස්ථාවක දී අන්තශ්චර්ම සෛලවල ඇත්තා වූ සුබෙරින් සූස්තර ප්‍රතිශෝෂණයට (resorption) භාජන වේ. ඊට පසු විභාජක සක්‍රියතාව මේ ස්තරයෙන් පටන් ගන්නට පුළුවන.
ඒකබීජපත්‍රිකයන්ගේ පුෂ්ප සාමාන්‍යයෙන් ත්‍රි-අංකය. ඒවායේ පරිපුෂ්ප වලයන් 2ක් ද රේණු වලයන් 2ක් ද අණ්ඩප වලයක් ද ඇති බැවින් පුෂ්පය පංචචක්‍රීය (pentacyclic) (P3+3 A3+3 G3) වේ. ග්ලුම්ප්ලොරෙ හා ප්රින්කිපේස් (Principes) වැනි ගෝත්‍ර කිහිපයක පුෂ්ප ව්‍යූහයේ ප්‍රභේදන ද දක්නට ලැබේ. කෙසේ වුවත් ද්විබීජපත්‍රිකයන්ට ලාක්ෂණික වූ පංචාංක තත්වය මෙහි දක්නට නොලැබේ.
ආර්ථික වැදගත්කම අතින් ඒකබීජපත්‍රිකයන් අතර ඉතා ම වැදගත් කුලය නම් ග්රමිනෙ හෙවත් තෘණ කුලයයි. ලොව මුළුල්ලේ ම වාගේ මිනිසාගේ ප්‍රධාන ආහාරය (සහල්, තිරිඟු, බඩ ඉරිඟු යනාදිය) සහ බොහෝ සතුන්ගේ ආහාරය මේ කුලයට අයත් ශාකවලින් ලැබේ. මද්‍යසාරමය පාන වර්ග කාර්මික ලෙස නිෂ්පාදනය කිරීම සඳහා බාර්ලි වැනි ඇතැම් ධාන්‍ය වර්ග යොදනු ලැබේ. ආහාර ද කර්මාන්ත කිහිපයකට අවශ්‍ය වන මේද හා තෙල් වර්ග ද තාල වර්ගයේ ගස්වලින් ලැබේ. ඇතැම් මද්‍යසාර ද ඒවායින් නිෂ්පාදනය කරගනු ලැබේ. රටඉඳි ඇතැම් ප්‍රදේශවලට ආර්ථික ලෙස ඉතා වැදගත් වේ. ආර්ථික වැදගත්කමක් ඇති කෙසෙල් ගෙඩි හා අලවර්ග ද ඒකබීජපත්‍රික ශාකයන්ගෙන් ලැබේ. ඕකිඩ් පැළෑටි, ලිලි, අයිරිස්, ටියුලිප්, ඇන්තූරියම් හා ෆෑන් පාම් වැනි නොයෙක් තාල වර්ගයේ පැළ උද්‍යාන විද්‍යාව අතින් ඉතා වැදගත් වේ.
(කර්තෘ: බී.ඇල්.ටී. ද සිල්වා)
(සංස්කරණය: 1974)