ඒගාර්-ඒගාර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Agar-Agar). තනිකර ‘ඒගාර්’ යනුවෙන් ද හැඳින්වෙන මෙය රතුපාට මුහුදු අල්ගේ පැළෑටිවලින් නිෂ්පාදනය කරනු ලබන ජෙලටින් වැනි ද්‍රව්‍යයකි. වැඩි වශයෙන් මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ ගෙලිඩියම් (Gelidium) නමැති රතු අල්ගේ පැළෑටියෙනි. ග්රකිලේරියා (Gracilaria), ආන්‍ෆෙල්ටියා (Ahnfeltia) හා ටෙරොක්ලඩියා (Pterocladia) නමැති රතු අල්ගේ පැළෑටිවලින් ද ඒගාර්-ඒගාර් ලැබේ. මේ රතු අල්ගේ පැළෑටිවල මේ ද්‍රව්‍යය තිබෙන්නේ සෛල බිත්තිවල සංඝටකයක් වශයෙනි. රසායනික ලෙස ඒගාර්-ඒගාර් රේඛීය ගැලැක්ටනයක (linear_galactan) සල්පියුරික් එස්ටරයක් (ester) වශයෙන් සැලකිය හැකිය. රතු අල්ගේ පැළෑටිවල ඒගාර්-ඒගාර් කැල්සියම් ලවණයක් වශයෙන් හෝ කැල්සියම් හා මැග්නීසියම් ලවණ මිශ්‍රණයක් වශයෙන් හෝ තිබිය හැකිය. කුඩක් හෝ පතුරු හෝ තීරු හෝ වශයෙන් ඒගාර්-ඒගාර් වෙළඳ පොළවල දක්නට ලැබේ.

ඒගාර්-ඒගාර් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉහත සඳහන් මුහුදු අල්ගේ පැළෑටි ජලයේ උණු කිරීමෙනි. ඒගාර්-ඒගාර් සිසිල් ජලයේ දිය නොවේ. එහෙත් එහි බරෙන් 20 ගුණයක් පමණ ජලය උරා ගනියි. උණු ජලයේ ඒගාර්-ඒගාර් දිය වේ. මේ ද්‍රාවණය සිසිල් කළ විට එය ඝන වී තද ජෙලයක් (gel) සෑදේ. මේ ද්‍රාවණයේ ඒගාර්-ඒගාර්වල සාන්ද්‍රණය 0.5% පමණ වුවත් එය සිසිල් වන විට ඝන වේ. ඒගාර්-ඒගාර් ජෙලයක ස්වල්ප වශයෙන් ඍණ විද්‍යුත් ආරෝපණයක් ඇත.

ඒගාර්-ඒගාර් බෙහෙවින් යොදනු ලබන්නේ බැක්ටීරියා වගා කරන මාධ්‍යයක් ලෙසය. ජෙලි වැනි ආහාර ද්‍රව්‍ය සෑදීමට එය යොදනු ලැබේ. ඖෂධ කැප්සුල සෑදීමට ද එය පාවිච්චි කරනු ලැබේ.

ඒගාර්-ඒගාර් වැඩි වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ ජපානයෙහිය. චීනය, රුසියාව, ඇමෙරිකාව, මෙක්සිකෝව හා ඕස්ට්‍රේලියාව යනාදි රටවලත් එය නිෂ්පාදනය කරනු ලැබේ. ලංකාව අවට මුහුදේ වැවෙන ග්රකිලේරියා විශේෂවලින් දැන් ලංකාවේ ද ඒගාර්-ඒගාර් සුළු වශයෙන් නිෂ්පාදනය කරනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒගාර්-ඒගාර්&oldid=11505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි