ඒමන් ද වැලේරා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1882 - 1975) අයර්ලන්ත දේශපාලන නායකයෙකි. අයර්ලන්ත සමූහාණ්ඩුවේ අගමැතිවරයෙකි, ජනාධිපතිවරයෙකි. අයර්ලන්ත නිදහස් සමූහාණ්ඩුවේ නිර්මාතෘවරයෙක් වූ ඔහු මුල් අඩ සියවස තුළ එහි ඇති වූ දියුණුවට මුල් වූ අයෙක් ද විය.

1882 ඔක්තෝම්බර් මස 14 වැනි නිව්යෝක් නගරයේ දී වැලේරා උපත ලැබී ය. ස්පාඤ්ඤ ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ ඔහුගේ පියා ඔහු දෙහැවිරිදි වියේදී මිය ගියේ ය. එහෙයින් අයර්ලන්තයේ ලිමරික්හි විසූ සිය මිත්තණියන් වෙත යවනු ලැබූ වැලේරා එහි හැදී වැඩුණේ ය.

ගමේ පාසැලෙන් හා ඩබ්ලිනයේ බ්ලැක්රොක් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගෙන අනතුරුව රාජකීය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගණිත ගුරුවරයෙකු වශයෙන් ඔහු රැකියාවක් ලබා ගත්තේ ය. 1916 පාස්කුවේ ඩබ්ලිනයේ ඇති වූ කැරැල්ල මෙහෙය වූ එක් නායකයෙකු වූ වැලේරා එම සටනින් අන්තිමට ම යටත් වූ නායකයා ද විය. ඇමරිකානු උත්පත්තිය නිසා හිස ගසා නොදමා බරපතළ වැඩ සහිත සිර දඩුවමකට ඔහු යටත් කරනු ලැබී ය.

1917 දී නිදහස ලැබූ නමුත් 1918 දී නැවතත් ඔහු සිරභාරයට ගෙන එංගලන්තයට පිටුවහල් කරන ලදි. කැරැල්ලෙන් දිවි ගලවා ගත් ප්‍රධාන ම පුද්ගලයා වූ වැලේරා 'සින් ෂේයින්' නම් නීති විරෝධී පක්‍ෂයේ නායකයා හැටියට ද තෝරා ගනු ලැබිණි.

1918 පෙබරවාරි මාසයේ දී එංගලන්තයේ සිර අඩස්සියෙන් මිදී ඇමෙරිකාවට පළායාමට ඔහු සමත් වූයේ ය. වෙස්වලා ගෙන එහි ජීවත්වෙමින් අයර්ලන්ත නිදහස් සටන සඳහා ආධාර එකතු කිරීමට ඔහුට හැකි විය.

යළිත් වරක් අයර්ලන්තයට පැමිණි වැලේරා 1919-1922 දක්වා අයර්ලන්ත ව්‍යවස්දායක සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කෙළේ ය. 1921 දී ඇන්ග්ලෝ අයිරිෂ් ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට ඔහු එංගලන්තයට යවන ලදි. ඔහු එම ගිවිසුමට විරුද්ධ වුව ද ඉතා සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් අයර්ලන්ත මන්ත්‍රණ සභාව එම ගිවිසුම සම්මත කළේ ය. ඒ මඟින් බ්‍රිතාන්‍යයට යටත් අයර්ලන්ත නිදහස් රාජ්‍යයක් බිහි විය. මීට විරුද්ධ ව අයර්ලන්තයේ සිවිල් යුද්ධයක් ඇති විය. එහි දී සමූහාණ්ඩුවාදීන් හා එක්ව ගිවිසුමට විරුද්ධව සටන් කළ ද ඔවුන්ට ජය ලැබීමට නොහැකි විය.

ගිවිසුමට විරුද්ධව යුද්ධයට සහභාගීවීමේ වරදට සිරභාරයට ගනු ලැබූ වැලේරා නිදහස ලැබීමෙන් පසු අලුත් දේශපාලන පක්‍ෂයක් බිහි කෙළේ ය. 'සින් ෆෙයින්' නම් වූ ඒ පක්‍ෂයේ නායකයා වූයේ ඔහු ය. 1921 ගිවිසුමෙන් අයර්ලන්තය පිළිගත් එංගලන්ත කිරීටයට අවනත වීමේ පොරොන්දුවට විරුද්ධ වූ ඔවුහු අයර්ලන්ත මන්ත්‍රණ සභාව වර්ජනය කළහ. කෙසේ නමුත් 1926 දී ඔහු තම අනුගාමිකයන් පිරිසක් හා එක්ව අවනතභාවය පිළිබඳ පොරොන්දුව හිස් දේශපාලන රීතියක් ලෙස පිළිගත්හ. විරුද්ධ පක්‍ෂයක් සංවිධානය කර ගත්තේ ය. 'ෆියනා ෆේල්' නම් වූ එම විරුද්ධ පක්‍ෂය අනතුරුව අයර්ලන්ත මන්ත්‍රණ සභාවේ කටයුතුවලට සහභාගී විය.

මෙම පක්‍ෂයේ අරමුණු වූයේ අවනතභාවය පිළිබඳ ගිවිසුම අවලංගු කොට ඔවුන්ගේ භාෂාවට හා සංස්කෘතියට නව ජීවනයක් ලබා දී ආර්ථික අතින් රට ස්වයංපෝෂිත කිරීමයි. 1932 දී අයර්ලන්ත මන්ත්‍රණ සභාවේ සභාපති හා විදේශ ඇමති වශයෙන් පත් වූ වැලේරා වහාම බ්‍රිතාන්‍යය සමඟ වූ සබඳතා නැවැත්වීමට කටයුතු කෙළේ ය. ඉඩම්වලින් වාර්ෂිකව එංගලන්තයට ගෙවූ බදු නතර කර දැමී ය. එයින් දෙරට අතර ආර්ථික යුද්ධයක් ආරම්භ විය. මේ තත්‍වය යටතේ රට ආර්ථික ස්වයංපෝෂිත තත්ත්වයක් කරා ගෙන යෑමට වැලේරා සමත් විය.

1937 දී අයර්ලන්ත නිදහස් රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් වෙන් වී 'අයර්' හෝ 'අයර්ලන්තය' යන නමින් ස්වාධීන රටක් බවට පත් විය. එහි අගමැති තනතුරට පත් වූ වැලේරා විදේශ ඇමති තනතුර ද ඉසිලුවේ ය. 1933 හා 1938-1939 යන වර්ෂවල දී ජාතීන්ගේ මණ්ඩලයේ සභාපති පදවිය ද ඔහුට හිමි විය.

1938-1939 අතර කාලයේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තියක් ඔහු අනුගමනය කෙළේ ය. II ලෝක මහා සංග්‍රාමයේ දී ද ඔහු මැදිහත් ප්‍රතිපත්තියක් අනුගමනය කෙළේ ය. ඒ අනුව අයර්ලන්ත නැව්තොටවල් ප්‍රයෝජනයට ගැනීමට බ්‍රිතාන්‍යයට අවකාශ නොලැබිණි.

1948 මැතිවරණයෙන් ප්‍රමාණවත් වැඩි ඡන්ද සංඛ්‍යාවත් ලබා ගැනීමට ඔහුගේ පක්‍ෂය අපොහොසත් වූයෙන් අගමැති පදවියෙන් ඉල්ලා අස් වී ටික කාලයක් ගත කිරීමට ඔහුට සිදු විය. මේ කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව යන රටවල ඔහු සංචාරයන්හි යෙදුණේ ය.

1951 දී නැවත වරක් ඔහු අගමැති පදවියට පත් වූයේ ය. 1954 මැතිවරණයෙන් ජය ලැබීමට අපොහොසත් විය. 1957 මාර්තු මාසයේ දී ඔහු බලාපොරොත්තු වූ පරිදි ම විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබමින් අගමැති පදවියට පත්වීමට ඔහුට හැකි විය. 1959 දී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට වැලේරා කැමැත්ත පළ කර සිටියේ ය. එම වසරේ ජූනි මාසයේ දී ඡන්ද විශාල ප්‍රමාණයක් ලබමින් ඔහු ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් විය. 1966 ජූනි මාසයේ දී තවත් හත් වසරක් සඳහා ජනාධිපති පදවියට නැවතත් තේරී පත්විය.

අයර්ලන්තයේ ජාතික විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් 1921 දී පත් වූ වැලේරා ඩබ්පිනයේ උසස් අධ්‍යාපන ආයතනය ද ආරම්භ කෙළේ ය.

වැලේරා මුල් කාලයේ දී දැරූ යුද්ධකාමී විඥානවාදී අදහස් නිදහස් අයර්ලන්ත රාජ්‍යයේ බිහිවීම කෙරෙහි මහත් සේ බලපෑවේ ය. අයර්ලන්තයට ස්වයං පාලනයක් ලබාදීමට බ්‍රිතාන්‍යයට සිදුවූයේ විශේෂයෙන් ම මොහුගේ නායකත්‍වය යටතේ ඇති වූ බලපෑම් හේතු කොට ගෙන ය.

1932 බලයට පැමිණීමෙන් පසු ඔහු නූතන අයර්ලන්ත රාජ්‍යයේ දියුණුවට පදනම දැමී ය. රටේ ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූයේ ඔහු ය. තවත් රටවල් කීපයක් ම ඔවුන්ගේ ව්‍යවස්ථාවන් සකස් කිරීමේ දී ආදර්ශය වශයෙන් ගනු ලැබුවේ එයයි.

1950 දශකය මැද භාගයේ පටන් ඔහුගේ දෙනෙතේ පෙනීම දුර්‍වල වන්නට පටන් ගත්තේ ය. එහෙයින් පසු කාලයේ දී ඔහු සිටියේ රටේ නාමමාත්‍ර නායකයා වශයෙන් පමණි. වැදගත් ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් විසිනි.

1975 අගෝස්තු 29 වැනිදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී ඔහු මිය ගියේ ය.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1993)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒමන්_ද_වැලේරා&oldid=5191" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි