ඔකඳපොළ විහාරය
විහාර අස්න නම් වූ නම්පොතෙහි සඳහන් වන මෙම රජමහා විහාරස්ථානය වයඹපළාතේ කුරුණෑගල දිස්ත්රික්කයට අයත් උඩපල ඕතර නැගෙනහිර කෝරළයේ ඔකඳපොළ නම් ග්රාමයෙහි පිහිටියේය. විශාල වූ රමණීය ගල්තලයන් මතුයෙහි පිහිටි පුරාණ ප්රතිමා මන්දිරය කවර කලෙක ගොඩනඟන ලද දැයි දැක්විය හැකි ඓතිහාසික සටහනක් නැත ද, කීර්ති ශ්රී රාජසිංහ මහරජාණන් සමයෙහි මේ පූජනීය ස්ථානය කීර්තියක් ඉසිලීය. වැලිවිට පිණ්ඩපාතික සරණංකර සංඝරාජයන්ගේ ශිෂ්යරත්නයක් වූ ධම්මජෝති නම් තෙරණුවෝ මේ විහාරස්ථානයෙහි වැඩහිඳ ‘බාලාවතාර’ නම් පාලි ව්යාකරණ ග්රන්ථයේ ලියන සන්නය නිපදවූහ. දැනුදු ‘ඔකඳපොළ සන්නය’ නමින් ප්රසිද්ධව පවත්නේ එම ලියන සන්නයයි. ලක්දිව ශාස්ත්රාගම පිරිහී ගිය අවදියෙහි මේ විහාරස්ථානය මගින් ඒ ප්රදේශයෙහි ශාස්ත්රෝද්දීප්තිය සිදු වූ හෙයින් මහනුවර රාජ්ය සමයෙහි එම විහාරස්ථානය ‘නිරුත්ත්යලංකාර විහාරය’යි ප්රසිද්ධියට පැමිණියේය. ඔකඳපොළ නිරුත්ත්යලංකාර විහාරය දැනුදු බෞද්ධ මහජනයාගේ පූජ්ය ස්ථානයක්ව පවත්නේයි.
(සංස්කරණය: 1974)