ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලය
ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලය ලෝකයේ සුප්‍රකට විශ්වවිද්‍යාලයක් මෙන් ම එංගලන්තයේ පුරාණතම විශ්වවිද්‍යාලය ද වේ. එංගලන්තයේ ආගමික, දේශපාලන හා බුද්ධිවිෂයක ජීවිතය සම්බන්ධයෙන් වැදගත් තැනක් ගන්නා මේ විද්‍යායතනය ආරම්භ වූයේ 12 වැනි සියවසේ මුල් භාගයේ දී ආචාර්ය ශිෂ්‍ය පිරිසකගේ සාමුහිකත්වයෙන් එක්තරා සංගමයක් පිහිටුවනු ලැබීමෙන් ඉක්බිතිවය. එතැන් පටන් අද දක්වා මෙම විශ්වවිද්‍යාලය ප්‍රමාණය අතිනුත් වැදගත්කම අතිනුත් ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලය පිහිටුවනු ලැබීමෙන් ශතවර්ෂයක කාලය ඇතුළත එය කොතරම් දියුණු වී ද යත් එය දෙවෙනි වූයේ එවක සුප්‍රකට පැරිස් විශ්වවිද්‍යාලයට පමණි.
ලෝකයේ අති රමණීය ගොඩනැඟිලි සමූහයන් අතුරින් එකක් වන ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලය සමන්විතව ඇත්තේ යුනිවර්සිටි (1249), බේලියල් (1263) ම'ටන් (1264), සෙන්ට් එඩ්මන්ඩ් හෝල් (1269), එක්සටර් (1314), ඕරියල් (1326), ක්වීන්ස් (1340), හ්යු (1379), ලින්කන් (1427), ඕල් සෝල්ස් (1437), මොඩ්ලින් (1458), බ්රේස්නෝස් (1509), කෝපස් ක්‍රිස්ටි (1516), ක්රෛස්ට් ච'ච් (1546), ට්‍රිනිටි (1554), සෙන්ට් ජෝන්ස් (1555), ජීසස් (1571), වොඩම් (1610), පෙම්බ්‍රෝක් (1624), වූස්ටර් (1714), කීබල් (1871), හාට්ෆඩ් (1874) සහ සෙන්ට් ඇන්ටනීස් (1948), වනිතාවන් සඳහා වූ ලේඩි මාගරට් හෝල් (1878), සොමර්විල් (1879), සෙන්ට් හ්‍යුස් (1886), සෙන්ට් හිල්ඩා (1893) සහ සෙන්ට් ඈන්ස් (1952), සමාජ අධ්‍යයන පිළිබඳ පර්යේෂණ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම හැරුණු නෆීල්ඩ් (1937) යන ‘කොලීජි’ (colleges) නමින් දන්නා විද්‍යාලවලිනි. (වරහන් තුළ දැක්වෙන්නේ කොලීජිය පිහිටුවන ලද වර්ෂයයි.) මුලින් ම ස්ත්රීන්ට උපාධි ප්රදානය කරන ලද්දේ 1920 දී වුව ද වනිතා විද්‍යාල පහ අනෙක් විද්‍යාල හා සම තත්වයෙහි ලා ගැණෙන්නට වූයේ 1960 පටන්ය.
දේවධර්මය හා පෙරදිග අධ්‍යයන, නීතිය, ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය, මධ්‍යතන හා නූතන ඉතිහාසය, මානවීය ශාස්ත්‍ර, සමාජ අධ්‍යයන, වෛද්‍යවිද්‍යාව, භෞතික හා රසායන විද්‍යාව, ජීවවිද්‍යාව, මානවවිද්‍යාව, භූ ගර්භවිද්යාව, කෘෂිකර්මවිද්යාව, වනවිද්‍යාව හා සංගීතය ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ අධ්යයනේන්ද්රියයන්ට ඇතුළති. ග්‍රීක හා ලතින් සාහිත්‍ය, දේවධර්මය හා දේශපාලන විද්‍යාව අතින් මෙම විශ්වවිද්‍යාලය විශිෂ්ට කීර්තියක් ඉසිලූ අතර වර්තමාන භාෂා සාහිත්‍ය ඉගැන්වීම දැන් මෙහි ඉතා දියුණු අන්දමින් කෙරෙන්නකි.
මෙහි ඉගැන්වීම ප්‍රධානකොට ම කෙරෙන්නේ දේශන මාර්ගයෙනි. දේශනවලට අමතරව එක් එක් ශිෂ්‍යයකු විසින් නියමිත මාතෘකාවක් යටතේ ලියනු ලබන නිබන්ධනයක් ඒ ඒ ශිෂ්‍යයා භාරව සිටින අධ්‍යාපන සහායකවරයා (tutor) සමග පැයක් දෙකක් සාකච්ඡාවට භාජන කෙරෙන නිබන්ධන සැසියක් සතිපතා පැවැත්වේ. මේ අධ්‍යාපන සහායකවරයා හුදෙක් ආචාර්‍ය්‍යවරයකු වශයෙන් පමණක් නොව මාර්ගෝපදේශකයකු හා මිත්‍රයකු වශයෙන් ද සැලකේ. රොජර් බේකන්, ඩන්ස් ස්කෝටස්, ජෝන් වික්ලිෆ් වැනි විශාරද පඬිවරු මෙම විශ්වවිද්‍යාලය ඇසුරු කොළෝ වෙති.
ඇෂ්මෝලීයන් කෞතුකාගාරයත්, බොඩ්ලීයන් පුස්තකාලයත් මෙහි ඉස්මතු වී පෙනෙන ආයතනයෝය. 1602 දී පිහිටුවන ලද සුප්‍රකට බොඩ්ලියන් පුස්තකාලයේ පමණක් ඇති පොත් සංඛ්‍යාව 1,500,000කට අධිකය. ඊට අනුබද්ධ පුස්තකාල කිහිපයක් ද වේ. විද්‍යාව පිළිබඳ රැඩ්ක්ලිෆ් (1734), ඉන්දියානු ආයතනයස්ථ පුස්තකාලය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය හැදෑරීම සඳහා වූ රෝඩ්ස් හවුස් පුස්තකාලය ඉන් සමහරකි. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයෙහි උගන්නා විදේශීය ශිෂ්‍යයනට ශිෂ්‍යත්ව පිරිනැමීම උදෙසා සිසිල් රෝඩ්ස් විශාල ධනයක් ප්රදානය කොට ඇත. මෙහි ශිෂ්‍ය සංගම් අතර ප්‍රධාන ගණයෙහි ලා සැලකෙන ඔක්ස්ෆඩ් සමිතියත් පිට් සංගමයත් පරම්පරා ගණනක් මුළුල්ලේ ම දේශපාලනඥයන් හා චතුර කථිකයන් පුහුණු කිරීමේ අභ්යාසායතන බඳු විය. 1948 වන තුරු ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලය වෙනුවෙන් නියෝජිතයෝ දෙදෙනෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පෙනී සිටියහ.
(සංස්කරණය: 1974)