ඔක්සින
(Auxins). ඉතා හොඳින් දන්නා ශාක හෝර්මෝන (hormones) සමූහයයි. සත්වයන්ගේ ශරීර තුළ ක්‍රියා කරන හෝර්මෝන කලක සිට ම දැනගෙන තිබිණ. ඒවා ආහාර නොවේ. එහෙත් ඒවා මගින් සත්වයන්ගේ වර්ධනය පාලනය කෙරේ. ඉතා කුඩා ප්‍රමාණ වශයෙන් ජීවියා තුළ ම මේ හෝර්මෝන නිෂ්පාදනය කෙරේ. තවද ඒවායින් ඇති වන ප්‍රතිඵල දැකිය හැක්කේ ඒවා නිෂ්පාදනය කෙරෙන ස්ථානයට තරමක් ඔබ්බෙහිය. මීට සමාන ද්‍රව්‍යයන් ශාකවලත් හමු වී තිබේ. ඒවාට ශාක-හෝර්මෝන (phyto-hormones) හෙවත් ශාක වර්ධන ද්‍රව්‍ය යයි කියනු ලැබේ.
ඔක්සිනවල සක්‍රියතාව ඕට් බීජාග්‍රපය (coleoptile) සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ මගින් පෙන්වා දී තිබේ. බීජාග්‍රපයේ හිස හෙවත් ඉහළ කොටස කපා දැමුවහොත් බීජාග්‍රපයේ වර්ධනය නවතී. හිස කපා දැමූ බීජාග්‍රපය මත හිස කොටස හෝ ඊට සමාන බීජාග්‍රප අග්‍රයක් හෝ නැවත තැබුවහොත් බීජාග්‍රපයේ වර්ධනය යළි ඇරඹේ. මෙහි වර්ධනය ඇති වන්නේ බීජාග්‍රප පාදයේ තිබෙන සෛල ලොකු වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. බීජාග්‍රප අග්‍රයන් කපා ස්වල්ප වේලාවක් ගත වන තුරු තුනී ඒගාර් (agar) තහඩුවක් මත තබා එහි කුඩා කැබලි හිස කොටස් කපා දමන ලද බීජාග්‍රප මත තැබුවහොත් හිස කොටස් නැති බීජාග්‍රප මත නැවත හිස කොටස් තැබූ විට සිදුවන්නාක් මෙන් බීජාග්‍රපවල දික්වීම සිදු වේ.
මෙයින් පෙන්වන්නේ බීජාග්‍රපයේ හිස කොටසේ නිෂ්පාදනය කෙරෙන රසායන ද්‍රව්‍යයකින් බීජාග්‍රප පාදයේ තිබෙන සෛලවල දික්වීම පාලනය කෙරෙන බවය. මේ හැර එම රසායන ද්‍රව්‍යය ජලයේ ද්‍රවණය වන බව ද එය එක ලක්ෂ්‍යයක දී සංශ්ලේෂණය වී එහි ප්‍රතිඵල පෙන්නුම් කරන වෙනත් ස්ථානයකට පරිවහනය වීමෙන් හෝර්මෝනයක් සේ ක්‍රියා කරන බව ද දැක්වේ. හෝර්මෝනයේ අසමාන ව්‍යාප්තිය ආවර්තී උත්තේජනයට (tropic stimulation) හේතු වේ. බීජාග්‍රපයට ඒක පාර්ශ්වික ලෙස ප්‍රදීපනය ඇති වන විට ප්‍රදීප්ත පැත්තේ තිබෙන ඔක්සින ප්‍රමාණය අනික් පැත්තේ තිබෙන ප්‍රමාණයට වඩා අඩුය. එබැවින් අඳුරු පැත්තේ වැඩි ඔක්සින ප්‍රමාණයක් තිබෙන නිසා වැඩි වර්ධනයක් ඇති වේ. එබැවින් බීජාග්‍රපය ආලෝකය දෙසට නැමේ. මෙයින් ධන ප්‍රභාවර්තී (phototropic) වක්‍රතාවක් ඇති වේ.
හෝර්මෝනය වෙන් කොට ගෙන එය ශුද්ධ කරන ලදි. එහි සක්‍රිය මූලය (active principle) ට්රිප්ටොෆේන් (tryptophane) ඇමයිනො අම්ලයේ ප්‍රෝටීන් සංකීර්ණයක් වූ පුරෝගමයකින‍් (precursor) නිෂ්පාදනය කැරුණක් බව දැනගන්නට ලැබිණ. ස්වාභාවික ලෙස තිබෙන ඔක්සින ප්‍රභේද තුනකට වර්ග කළ හැකිය. α ඔක්සින, β ඔක්සින හා හෙටෙරොඔක්සින යනුවෙනි. මින් ඉතා සුලභ හෙටෙරොඔක්සිනය. මෙය ඉන්ඩෝල්-ඇසිටික් අම්ලයයි. ඉන්ඩෝල්-ඇසිටික් අම්ලය බවට ට්රිප්ටොෆේන් පරිවර්තනය කිරීම එන්සයිමයක් මගින් උත්ප්‍රේරණය කරනු ලැබේ. මෙයට සින්ක් අවශ්‍යය.
සෛල ලොකු වීම හැර ඔක්සිනවලින් ඇති වන වෙනත් ප්‍රතිඵල ද ඇත. නිර්බීජ ඵලෝද්භවය (parthenocarpy) විකසනය කිරීම, පුෂ්ප ආරම්භ කිරීම, මුල් ආරම්භ කිරීම පාර්ශ්වික අංකුර නිෂේධනය කිරීම හා අකලට ගෙඩි වැටීයාම වැළැක්වීම යනාදිය මෙයින් සමහරකි. තක්කාලි මල්වලට හෝර්මෝනයක් ඉසීමෙන් ඇට නැති ගෙඩි ලබා ගත හැකිය. වර්ධක අන්නාසි පැළයක් තුළ නැප්තලීන් ඇසිටික් අම්ලයේ සුළු ප්‍රමාණයක් තැබීමෙන් අවාරයේ දී එහි ඵල ඇති කළ හැකිය. මෙසේ කිරීමෙන් එක ඍතුවක දී ඵල අධිකත්වයක් ද වර්ෂයේ ඉතිරි කාලයේ දී ඵල දුර්ලභත්වයක් ද වශයෙන් දැන් පවත්නා තත්වය වෙනුවට මුළු වර්ෂය තුළ දී ම ඵල ලබාගත හැකිය. ශාකයකින් හිටුවන කැබැල්ලක අංකුර කීපයක් ඇත්නම් වඩා හොඳට මුල් විකසනය වන බව කලක් පටන් ම දැනගෙන තිබේ. එසේ වන්නේ මුල් ආරම්භ කිරීමට හිතකර වන හෝර්මෝන අංකුරවල තිබෙන ළපටි පත්‍රවලින් නිෂ්පාදනය කෙරෙන හෙයිනි. ශාක කැබැලි හිටවීමට කලින් දැන් එවා හෝර්මෝන ද්‍රාවණවල තබනු ලැබේ. අග්‍රස්ථ අංකුරයෙන් නිෂ්පාදනය කෙරෙන ඔක්සිනවලින් පාර්ශ්වික අංකුර නිෂේධනය කරනු ලබන හෙයින් අග්‍රස්ථ ප්‍රමුඛතාව ඇති වේ. කස ගසේ හැඩයට හේතුව අග්‍රස්ථ අංකුරයෙන් පාර්ශ්වික අංකුර කෙරෙහි ඇති වන බලපෑම්ය.
පත්‍ර තලයේ නිෂ්පාදනය කෙරෙන ඔක්සිනවලින් පත්‍ර නටුවේ ඡේදස්තරය (absciss layer) සෑදීම නිෂේධනය කෙරෙයි. කොලෙයුස් (Coleus) ශාකයේ ඉතා පැහැදිලි ලෙස මෙය පෙනේ. කොලෙයුස් බ්ලුමෙයි (C. blumei) ශාකයේ අග්‍රයෙන් පහළ 3 වැනි හෝ 4 වැනි ගැටයේ තිබෙන පත්‍රයේ පත්‍ර නටුව ඉතිරි කරමින් පත්‍ර තලය කපා දැමුවහොත් පැය 24 සිට 48 දක්වා කාලයක් තුළ දී තලය නැති පත්‍ර නටුව කඳෙන් වෙන් වී පහසුවෙන් වැටෙන බව පෙනේ. මීට හේතුව මේ පත්‍ර නටුවේ පාදයෙහි ඡේදස්තරයක් සෑදීමය. ඒ ගැටයේ අනික් පැත්තේ තිබෙන සම්පූර්ණ පත්‍රයේ ඡේදස්තරයක් නොසෑදේ. එබැවින් ඒ පත්‍ර නටුව නොවැටේ. පත්‍ර තලය ඉවත් කළ පත්‍ර නටුවේ කපාපු කෙළවර ඉන්ඩෝල්-ඇසිටික් අම්ලය සහිත ලැනොලීන් ස්වල්පයකින් වසා තුබුවහොත් පත්‍ර නටුව කඳෙන් වෙන් වී වැටෙන්නේ නැත. මීට හේතුව නම් පත්‍ර තලයේ නිෂ්පාදනය කෙරෙන හෝර්මෝනය නොඑසේ නම් ලැනොලීන්වල තිබෙන හෝර්මෝනය පත්‍ර නටුවේ ඡේදස්තරයේ සෑදීම නිෂේධනය කිරීමයි.
අධික සාන්ද්‍රණයන්හි දී ඔක්සිනයන්ගෙන් විෂ ප්‍රතිඵල ඇති කෙරේ. විශේෂයෙන් ම ෆෙනොක්සි ඇසිටික් අම්ලවලින් මෙසේ සිදු වේ. නිතර ම වාගේ පාවිච්චි කරනු ලබන්නේ 2-4-ඩයික්ලොරොෆෙනොක්සි ඇසිටික් අම්ලය (2-4-D) වේ. පළල් පත්‍ර සහිත අකාෂ්ඨ වල්පැළෑටි කෙරෙහි ක්‍රියා කරන මෙය ධාන්‍ය වර්ග කෙරෙහි ක්‍රියා නොකරයි. එබැවින් 2-4-D වරණ වල් පැළෑටි නාශකයක් (selective weedicide) සේ යොදනු ලැබේ.
(කර්තෘ: බී.ඇල්.ටී. ද සිල්වා)
(සංස්කරණය: 1974)