ඔටාවා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කැනඩා රාජ්‍යයේ අගනුවර වූ ඔටාවා නගරය කාල්ටන් කවුන්ටියේ පාලන මධ්‍යස්ථානය ද වේ. ඔටාවා නදියේ දකුණුදිග ඉවුරබඩ ගැට්නෝ (ගතීනෝ) ඔටාවා, රිදෝ යන නදීන් එක් වන තැන අසල උස් භූමියක මෙය පිහිටියේය. මොන්ට්‍රියෝල් නගරයේ සිට මීට දුර සැතපුම් 101කි. රාජ්‍යයේ අනිකුත් නගර හා සසඳා බලන විට විශාලත්වයෙන් සවැනි තැන මීට හිමි වේ.

නගර නිර්මාණය අතින් මෙන් ම පිහිටීම අතින් ද මෙය අතිශයින් චිත්තාකර්ෂණීයය. මේ නිසා සංචාරකයෝ බොහෝ දෙනෙක් මේ කරා ඇදී එති. ඔටාවා නදියේ දිය සුළි නංවමින් ඇද හැළෙන ශෝදියේ දිය ඇල්ලෙන් ද සැඩපහරින් ඒ මේ අත ශීඝ්‍රව විසිර යන අඳුරුවන් ජලය සහිත රිදෝ නදියේ එනමින් ම හැඳින්වෙන දිය ඇල්ලෙන් ද ලැබෙන ශෝභාව නගරයේ චමත්කාරජනක දර්ශනය දියුණු තියුණු කිරීමට හේතු වේ. ඔටාවා නගරයේ දියුණුවට මේ ගංගාවලින් ලැබෙන සහාය ද ඉමහත්ය. ශෝදියේ දිය ඇල්ල සහ රිදෝ දිය ඇල්ල ද ගඟ ද ජල විදුලිය නිපදවීමට මහෝපකාරී වේ. එමෙන් ම උතුරු දිග වනාන්තරවලින් විශාල ගස් කපා ඒ ඒ ස්ථාන කරා දැව පාකර හැරීමට ඔටාවා සහ ගැට්නෝ ගංගා ඉවහල් වේ. එහෙත් ඔටාවා නදියේ ඇති දිය ඇලි නිසා එහි නැව් යාත්‍රා කරවීම දුෂ්කරය. රිදෝ ගඟෙන් කපන ලද ඇළකින් මේ නගරය ඔන්ටේරියෝ විලබඩ පිහිටි කිංස්ටන් නගරයට සම්බන්ධ කර තිබේ. කැනේඩියන් පැසිෆික්, කැනේඩියන් නැෂනල් හා නිව් යෝක් සෙන්ට්‍රල් යන දුම්රිය මාර්ග මෙනුවරට සම්බන්ධය. දියුණු ගුවන් තොටුපළක් ද මෙහි වේ.

දැව කර්මාන්තය විශාල වශයෙන් කෙරෙන මෙහි ලීමෝල් බොහෝ ගණනක් පිහිටුවා ඇත. කඩදාසි කෙඳිවලින් සාදන භාණ්ඩ, ගිනිකූරු, සිමෙන්ති, සම්භාණ්ඩ, උළු, ලීබඩු, දුම්රිය මැදිරි, විදුලි රථ ආදිය මෙහි නිපදවනු ලැබේ. ඔටාවා නදී නිම්නය අතිශයින් සාරවත් පසින් යුක්තය. මේ නිසා එහි ගොවිතැන දියුණුය. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය ෆැ. 41කි.

ඔටාවා නගරය එහි ඇති අලංකාර ගොඩනැඟිලි සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඔටාවා නදියට ඉහළින් හුනුගල් සහිත හෙලක ඇති පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ගොතික් ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද්දකි. 1858 දී කරවන ලද මේ ගොඩනැඟිල්ල 1916 දී ගින්නෙන් විනාශ විය. ඉන්පසු එය තවදුරටත් විශාල කොට ගොඩනංවන ලදි. එහි මහජන මන්ත්‍රී මණ්ඩලය හා සෙනට් ගොඩනැඟිල්ල ද ඇත. පළමුවන ලෝක සංග්‍රාමයේ දී මියගිය කැනේඩියානු ජාතිකයන් සිහිකිරීම සඳහා අඩි 300ක් උස ස්තම්භයක් ඉදි කර තිබේ. ඊට සම්බන්ධ කර ගොඩනංවා ඇති සාම මන්දිරයෙහි විශාල ඝණ්ටා 53ක් එල්ලා ඇත. ජාතික පුස්තකාලය, අභිනව නගරශාලාව, ආසන දෙව්මැදුරු, අග්‍රාණ්ඩුකාරයාගේ මන්දිරය, රාජකීය ටඞ්කශාලාව, ආකාශවස්තු පරීක්ෂණගාරය, රාජ්‍යලේඛනාගාරය, වික්ටෝරියා මෙමෝරියල් කෞතුකාගාරය, ජාතික කලාභවන, ශ්‍රේෂ්ඨාධිකරණ ශාලාව, කැනඩා බැංකුව, ඔටාවා විශ්වවිද්‍යාලය, කාල්ටන් විද්‍යාලය මෙහි ඇති වෙනත් සැලකිය යුතු ගොඩනැඟිලිය. නගරයේ ඇති විශාලතම භෝජන ශාලාව වූ ශතෝ ලෝරියේ ලෝකයේ ඇති දර්ශනීය හෝටල්වලින් එකකි. නගරයට අලංකාරය ගෙන දෙන උද්‍යාන කීපයක් ද තන්හි තන්හි ඇත.

1613 දී මෙහි පැමිණි සමුවෙල් ද ශොම්ප්ලැං අනාගතයෙහි ඔටාවා නගරය බවට පැමිණෙන භූමිය සටහන් කෙළේය. ෆිලමන් රයිට් විසින් 1800 දී ඔටාවා ගඟෙන් උතුරු පෙදෙසේ හල්, ක්විබෙක් යන නගර පිහිටි භූමියෙහි පළමුවන ජනාවාසය කරවන ලදි. ඉන්පසු නිකලස් ස්පාක්ස් දකුණු පෙදෙසෙහි පදිංචි විය. එහෙත් එය නියම වශයෙන් ජනාවාසයක් වීම ආරම්භ වූයේ 1826 දී රිදෝ ඇළ කැපීම සඳහා පැමිණි ක'නල් ජෝන් බයිගෙනි. ඉන්පසු කලෙක මේ නගරය බයිටවුන් නමින් හඳුන්වන ලදි. 1847 දී උපනගරයක් බවට ද 1855 දී නගරයක් බවට ද පත් කිරීමෙන් පසු ඔටාවා යන නම තබන ලදි. 1858 දී වික්ටෝරියා බිසව විසින් එය කැනඩා එක්සත් පළාතේ අගනුවර බවට පමුණුවන ලදි. 1867 දී එය කැනඩාවේ ජාතික අගනුවර වශයෙන් ප්‍රකාශ කැරිණ. මෙහි ජනගහනයෙන් 50%ක් පමණ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් පැවත එන්නෝය. 41%ක් ප්‍රංස ජනයාය. 9%ක් වෙනත් ජාතිකයෝය. 1966 දී මෙහි ජනගහනය 290,741ක් විය. පිටිනුවර ද සමඟ ජනගහනය (1966) 494,535කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔටාවා&oldid=11414" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි