ඔරෙන්ජ් ගඟ
දකුණු අප්‍රිකාවේ දිග ම ගංගාවයි. ඉන්දියන් සාගරයට හැ. 200ක් පමණ දුරින් බසූටෝලැන්ඩ් ප්‍රදේශයෙන් පටන්ගෙන බටහිර දෙසට හුරුව ගලා ගොස් අත්ලන්තික් සාගරයට වැටෙන මෙම ගංගාව එහි අතු ගංගාවන් ද සමඟ ව.සැ. 170,000කට අධික ප්‍රදේශයකට ජල සම්පාදනය කරයි. සැ. 1,300ක් පමණ දික් වූ මෙහි ගංගා නිම්නය ව.සැ. 328,000ක් පමණ වේ.
ඔරෙන්ජ් ගංගාව පෝෂණය කරන ඇළ දොළ ආරම්භ වනුයේ ඩ්රාකෙන්ස්බර්ග්, මලුති යන කඳුවැටිවලිනි. සියලු ම ඇළ දොළවල් අඩි 10,000කටත් ඉහළින් ආරම්භ වන සිංකු නම් වූ මූලික ගඟට සම්බන්ධ වෙයි. සිංකු ගඟ මලුති හා ඩ්රාකෙන්ස්බර්ග් කඳුවැටි අතර වූ කඳුකර මිටියාවත් හරහා නිරිත දෙසට ගලා බසී. සැ. 200ක් පමණ ගලා ගිය පසු, ඒ වන විටත් ඔරෙන්ජ් නමින් හැඳින්වෙන සිංකු ගංගාව මාචාචා කන්දෙන් පටන්ගන්නා මකාලෙං හෙවත් කොර්නට් ස්පරුයිට් (සැ. 90) ගඟ ද සම්බන්ධ කරගනී. ඔරෙන්ජ් ගඟ දකුණු අප්‍රිකාවේ මහා අභ්‍යන්තර සානුවට අවතීර්ණ වනුයේ මෙහි දීය. මීට සැතැපුම් ගණනක් පහළ දී එහි විශාල අතු ගංගාවක් වන කැලිඩන් (සැ. 230) හා ඒකාබද්ධ වෙයි. සංගමස්ථානයේ දී ඒකාබද්ධ ගංගාවේ පළල යාර 350කි. ඔරේන්ජ් ගඟ එහි දක්ෂිණ කෙළවරේ දී වයඹ දෙසට නැඹුරුව සැතැපුම් 200ක් පමණ ගලා ගොස් එහි මහා අතු ගංගාවක් වූ වාල් ගඟ (සැ. 303) හා සම්බන්ධ වේ. එය මෙහි දී නැවතත් දකුණට හැරී නොයෙක් වංගු සහිතව ගලා ගොස් බෙචුවානා, බුෂ්මන් සහ නමාක්වලැන්ඩ් යන ශුෂ්ක තැනිතලා පෙදෙස් තරණය කරයි. ඔරෙන්ජ් ගංගාවේ විශාල දිය ඇලි ඇත්තේ ද.අ. 28° 35' හා නැ.දේ. 20° 20' හිය. අඩි 450ක් උසැති ඕග්රාබීස් ඇල්ල විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙය ගල් පියසි, ගල් පර, කොදෙව් ආදියෙන් බෙදී පවතී. පටු මුහුදුබඩ තැනිතලාව මැදින් ගලන ඔරෙන්ජ් ගඟ නිරිත දෙසට හුරුව ගලා ගොස් කුඩා දූපත්වලින් සැදි තනි මෝයකින් සාගරයට ඇතුළු වෙයි.
(සංස්කරණය: 1974)