ඔලිව් තෙල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හොඳින් ඉදුණු ඔලිව් ඵලයක ඵලාවරණයෙහි 20%-30% ප්‍රමාණයක ඔලිව් තෙල් ඇත. තෙල් ලබා ගැනීම සඳහා හොඳින් ඉදුණු ඔලිව් ඵල යන්ත්‍ර මගින් මිරිකනු ලැබේ. තෙලෙහි තිබිය හැකි මඳ තිත්ත ගතිය ඉවත් කිරීම සඳහා ජලයේ සෝදා වෙළඳ පොළට යැවීමට පෙර පරණ වීමට කලක් තබනු ලැබේ. කෑමට ගනු ලබන උසස් තත්වයේ තෙල් සඳහා ඔලිව් ඵල මිරිකීමෙන් පසු හැකි පමණ ඉක්මනට තෙල් රොඩ්ඩ හා සමග ගැටීමෙන් ඉවත් කිරීම ද මේද අම්ලයන්ගෙන් තෙල අපවිත්‍රවීම වැළැක්වීම ද වැදගති.

පිරිසිදු ඔලිව් තෙල් රන්පැහැයෙන් යුත් ද්‍රවයකි. එහි විශිෂ්ට ගුරුත්වය 0.91කි. ද්‍රවාංකය සෙ.6°කි. එය ජලයේ අද්‍රාව්‍යය. මද්‍යසාර, ඊතර, ක්ලොරොෆෝම් වැනි ද්‍රාවකයන්හි දිය වේ. සංඝටකයන්හි සාමාන්‍ය අනුපාතය මෙසේය: චලෙයික් අම්ලය 70%-85%; ලිනොලෙයි අම්ලය 4%-12%; පැල්මිටික් අම්ලය 7%-14%; ස්ටියරික් අම්ලය 1%-2%. බොහෝ විට කපු ඇට තෙල්, රට කජු තෙල් වැනි තෙල් සමග මිශ්‍ර කිරීමෙන් ඔලිව් තෙල් බාල කළ හැකිය. එහෙත් එවැනි අවස්ථාවන්හි දී රසායනික ක්‍රම මගින් ඒ බව හඳුනාගත හැකිය.

ඇතැම් කෑම ද්‍රව්‍ය පිළියෙල කිරීමේ දී ද ලෝම රෙදි පිළී නිෂ්පාදනයේ දී ද ටින් මාලු ඇහිරීමේ දී ද සුවඳ විලවුන් වර්ග හා සබන් වර්ග නිෂ්පාදනයේ දී ද ඇතැම් ඖෂධ වර්ග නිෂ්පාදනයේ දී ද ඔලිව් තෙල් ප්‍රයෝජනයට ගනු ලැබේ. (ඔලිව් ද බ.).

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔලිව්_තෙල්&oldid=11739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි