ඔවු-යාං චිං-වු
(1871-1943). චීනයේ ජනරජ යුගයේ දී ඉහළින් වැජඹුණු බෞද්ධ පඬිවරයෙකි. මොහු බහුශ්රැත ධර්මකථික උපාසකයාණ කෙනකු හැටියට මුළු මහත් චීනයේ ම ප්රසිද්ධියට පත්ව සිටියේය.
1871 දී කියාංසි පළාතේ ඉ-හ්වාං දිස්ත්රික්කයෙහි උපත ලැබූ මොහු තරුණ වියේ දී ම කොන්ෆියුසියානු ධර්මය හදාරා ඉක්බිති මහායාන බෞද්ධ ධර්මය හදාරන්නට පටන් ගත්තේය. එවක විසූ උසස් ම තාන්ත්රික පඬිවරයා වූ කුයි පෝ-හ්වාංගේ මාර්ගයෙන් යාං වෙන්-හුයි නමැති කීර්තිධර උපාසකයාණන්ගේ ආශ්රයට වැටුණු හේ සත් තිස් හැවිරිදි වියේ දී නැන්කිංහි ජේතවන ජේතවන විහාරයට ඇතුළත්ව යාං වෙන්-හුයිගේ මඟ පෙන්වීම යටතේ තව දුරටත් බෞද්ධ සාහිත්යය හදාළේය. ක්රි.ව. 1910 දී යාං වෙන්-හුයි මරුමුවට පත් වූ පසු ඔහුගේ කාර්ය ද ඔවු-යාං චිං-වු වෙත පැවැරිණි. මොහු විසින් බෞද්ධ ත්රිපිටක ග්රන්ථ ප්රකාශයට පමුණවනු ලැබුවා පමණක් නොව චීන අභිධර්මායතනය ද නැන්කිංහි ධර්ම ලක්ෂණ විශ්වවිද්යාලය ද පිහිටුවන ලදි. මේ ආයතන ‘ජීවිතයේ කේන්ද්රස්ථානය චිත්තයයි’ යන මාතෘකාව පදනම් කරගත් ඉගැන්වීම් ක්රමය ප්රචාරයට පැමිණවූ මධ්යස්ථානයෝ වූහ. ඔවු-යාං චිං-වුගේ ශිෂ්යවරයන් වන ලූ-චෙන් කාං යොං තුං, චෙන්මිං-හ්සු ආදීහු නූතන චීනයෙහි ශ්රේෂ්ඨ බෞද්ධ පඬිවරයන් ලෙස සැලකෙත්. එසේ ම මෑත කාලයෙහි චීනයේ බෞද්ධ ධර්ම ප්රචාරයෙහි නිරත වූ හැම කෙනකු ම පාහේ මෙතුමාගේ ද ශ්රේෂ්ඨ බෞද්ධ නායකයකු වූ තායි-හ්සු තෙරුන්ගේ ද ආයතන ඇසුරු කළ අය බව කියනු ලැබේ.
අවුරුදු හැත්තෑ දෙකක් ආයු වැළඳූ ඔවු-යාං චිං-වු 1943 පෙබරවාරි 23 වැනි දා පරලෝ සැපත් විය. මෙතුමා විසින් චීන බසින් රචිත ධර්ම ග්රන්ථ දහයක් පමණ වේ.
(සංස්කරණය: 1974)