ඔසමු දසයි
(1909-1948). ජපන් ජාතික නවකථාකරුවෙකි. දෙවෙනි ලෝක සංග්රාමයෙන් පසු ජපන් සාහිත්‍ය ක්ෂේත්රයෙහි ඉහළින් වැජැඹුණු ගත්කරුවකු වූ මෙතෙමේ ‘ශයෝ’ (බැසයන හිරු) නමැති ශ්‍රේෂ්ඨ නවකථාව නිසා විශේෂයෙන් ප්‍රකට වූයේය. මොහුගේ ආරූඪ නාමය ඔසමු දසයි වුව ද සැබෑ නාමය වූයේ ත්සුෂිමා ෂූජි යන්නයි.
උතුරු ජපානයේ ධනවත් ඉඩම්හිමි දේශපාලනඥයකුගේ පුත්‍රයකුව උත්පත්තිය ලැබූ ඔසමු දසයි කුඩා කාලයේ සිට ම සාහිත්‍ය විෂයයෙහි කුශලතාවක් දැක්විය. 1930 දී තෝකියෝ විශ්වවිද්‍යාලයට ඇතුළු වූ හෙතෙම ප්රංස සාහිත්‍යය හැදෑරීමට පටන් ගත්තේය. උපාධියක් නොලබා ම 1936 දී විශ්වවිද්‍යාලයෙන් අස් වීමට ඔහුට සිදු විය. ඔහු කීප වරක් ම සිය පණ නසා ගැනීමට තැත් කෙළේය. 1935 දී, ඔහු සිය දිවි හානිකර ගැනීමට තැත් කිරීමට පළමු, ‘බන්නෙන්’ (අවසාන සමය) නමින් කෙටිකථා සංග්‍රහයක් රචනා කොට තැබීය. තම මරණයෙන් පසු කිසිවකු විසින් එය පළ කරනු ඇතැයි හේ අදහස් කෙළේය. ස්ව චරිත සිද්ධි බහුල වශයෙන් දක්නට ලැබෙන මේ කථා සංග්රහයෙහි ඔහුගේ සමාජ දෘෂ්ටිය මැනවින් පිළිබිඹු වී ඇත.
ඔසමුගේ ප්‍රථම නවකථාව වූ ‘ග්යෝෆුකුකි’ (1933) වූ කලි විලකට පැන දිවි හානිකර ගන්නා දැරියක වටා ගෙතුණු දොම්නස් සහගත මනඃකල්පිතයකි. ඔසමු සීමාව ඉක්මවා යන තරම් හාස්‍ය රසය දනවන්නකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලුව ද ඔහුගේ ලේඛනයන්හි සුලභව දක්නට ලැබෙන දොම්නස්ගතිය වඩාත් ඉස්මතු වී පෙනෙන්නේ මේ කෘතියෙහිය. ඔහුට විශේෂ ප්‍රසිද්ධියක් අත් වූයේ 1935 දී ‘ග්යක්කෝ’ (පරාවර්තනය) හා ‘දෝකෙ නො හනා’ (බහුබූතයාගේ මල්) යන පරාජිත චරිත ඇතුළත් නවකථා දෙක ලිවීමෙනි. 1937 දී ‘නින්ගෙන් ශික්කකු’ (මිනිස්කමක් තවත් නොවේ) නම් නවකථාව ලියූ ඔසමු 1947 දී ‘ශයෝ’ (බැසයන හිරු) නම් නවකථාව පළ කෙළේය. ‘ඔතොගි ශෝශි’ (1945) නමින් පළ වූ අභිනව සුරංගනා කථාසංග්රහය ඔහුගේ ලේඛන ශෛලියේ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.
ඔසමු දසයිගේ ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙස විචාරකයන් විසින් සලකනු ලබන්නේ ඉහතින් සඳහන් කළ ‘ශයෝ’ (බැසයන හිරු) නමැති නවකථාවයි. ඒ වූකලි යුද්ධාවසාන සමයෙහි යසසටත් ධනයටත් අහිමිව පරිහාණි මුඛයට එළඹුණු රදල පවුලක ජීවන තතු හෙළි කරන්නකි. චරිත විකාසනයෙහි විශිෂ්ටත්වයත් යුද්ධයෙන් පසු ජපානයෙහි සමාජ තත්ත්වය යථා පරිදි විදහා පෑමත් එම නවකථාව සාර්ථක වීමට බෙහෙවින් හේතු විය. එහි ලා ඉදිරිපත් කොට ඇති චරිත ඇසුරෙන් එවක සමාජය කොතරම් තාත්වික ලෙස නිරූපණය වී ද යතහොත් ‘ශයෝ සොකු’ (බැසයන හිරු දනෝ) යන්න තත්කාලීන පීඩිත ජනතාව හැඳින්වීමේ රූඪියක් බවට පත් විය. මෙය ඔසමුගේ විශිෂ්ටතම නවකථාව වූවා පමණක් නොව යුද්ධයෙන් පසු ජපානයෙහි බිහි වූ ශ්‍රේෂ්ඨ නවකථා අතුරෙන් එකක් ලෙස ද සැලකෙන්නට වන.
ඔහු තම ජීවිතයේ අවසාන කාලයෙහි ‘සයෝනරා’ (ආයුබෝවන්) නමින් යුත් යුග්ම නවකථාවක් ලිවීමට පටන්ගෙන ශරීර සෞඛ්‍යය පවා නොතකා එම කාර්යයෙහි නිරත විය. ඔසමු සිය දිවි හානිකර ගැනීමට දැරූ අන්තිම ප්රයත්නය 1948 දී තමාගාවා ජලාශයට පැනීමෙන් සාර්ථක විය. ඔහුගේ 39 වැනි ජන්ම දිනයේ දී මෘත ශරීරය ජලයෙහි තිබී සොයා ගන්නා ලදි.
ඔසමු දසයිගේ බොහෝ කෘතිවල ස්වකීය ජීවන තොරතුරු විද්‍යමානය. ඔහු විසින් එම තොරතුරු සාහිත්‍ය විෂයක පරමාර්ථයන් කඩ නොවන පරිද්දෙනුත් කලාත්මක නිමාවක් ගෙන දෙන පරිද්දෙනුත් දක්ෂ ලෙස හසුරුවමින් චමත්කාර ලෙස ඉදිරිපත් කොට ඇත. ඔහුගේ ඇතැම් කෘතිවල නිරූපිත චරිත පරාජිත චරිත ලෙස සැලකිය හැකිය. ඔහු බටහිර ආභාසය ලබා ඇති නමුදු චිරන්තන ජපන් සාහිත්‍යයට ඉඳුරා ම ණය ගැති බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. ‘බැසයන හිරු’, ‘මිනිස්කමක් තවත් නොවේ’ යන නවකථා දෙක ඇතුළු නවකථා හා කෙටි කථා කීපයක් ම ඉංග්‍රීසි බසට පරිවර්තනය කොට තිබේ.
(සංස්කරණය: 1974)