ඔසාකා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(ඕසකා). ජපානයේ දෙවන විශාලතම නගරය ද එරට ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානය ද වූ ඔසාකා නගරය ඕසකා-ෆූ නමින් දන්නා පරිපාලන කොට්ඨාසයේ අගනුවරය.

ඕසකා-ෆූ පිහිටා ඇත්තේ බටහිර ජපානයේ හොන්ෂු දිවයිනෙහිය. මෙම කොට්ඨාසයෙන් සෑහෙන කොටසක් යෝදෝ හා යමාතා යන ගංගාවල ඩෙල්ටා ප්‍රදේශයට අයත්ය. ව.සැ. 699ක් විශාල ඕසකා-ෆූහි ජනගහනය (1970) 7,620,000කි. ඔසාකා නගරය යෝදෝ ඩෙල්ටාවෙහි ඔසාකා බොක්ක අසල පිහිටියේය. ප්‍රධාන ගංගාව ද අතු ගංගා හා ඇළ මාර්ග ද කී වරක් දිගින් හරහින් නගරය ඔස්සේ ගලා යන්නේ දැයි කිවහොත් පාලම් එකසිය පනහකට අධික ගණනක් තැනීමෙනි, නගරයේ මාර්ග සම්බන්ධය රැකගෙන ඇත්තේ. ඔසාකාහි ප්‍රධාන ව්‍යාපාරාකීර්ණ කොට්ඨාසය වූ නකනොෂිමා (මැද දූව) එනම් වී ඇත්තේ එය නාගරික ඇළ මාර්ගවලින් වට වී ඇති හෙයිනි. ජලමාර්ග බාහුල්‍යය නිසා ම ඔසාකා පෙරදිග වැනිසිය යන නම ද ලබා ඇත.

ඔසාකා නගරය පැරණි ඉතිහාසයක් ඇත්තකි. ක්‍රි.ව. 200 පමණේ දී ‘නනීවා’ නමින් හැඳින්වුණු මෙම ප්‍රදේශයෙහි ඕජිත් නම් වූ අධිරාජිනිය මාළිගයක් තැන වූ බව ඉතිහාසගතය. 4 වන සියවසේ දී නින්තෝකු නම් වූ 16 වන ජපන් අධිරාජයාගේ අගනුවර වූයේ ද ඔසාකා නගරයයි. කොරියාවෙන් ජපානයට මුලින් ම බුද්ධාගම ගෙන යන ලද්දේ (ක්‍රි.ව. 522) ඔසාකා වරාය ඔස්සේ පැමිණි ධර්මදූතයන් විසින් බැවින් ජපන් බෞද්ධ ඉතිහාසයේ ද මෙනුවරට වැදගත් තැනක් හිමි වේ. ජපානයේ ඉදි කැරුණු ප්‍රථම සිද්ධස්ථානය වූ ෂිතෙන්නෝජි විහාරය පිහිටා ඇත්තේ ද මෙනුවරය. 15 වන සියවසේ දී ෂින්ෂු නිකායේ අටවැනි නායකයා වූ රෙනිනෝ ෂොනින්තුමා විසින් ද මෙනුවර විහාරයක් තනවා එය එම නිකායිකයන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කරන ලදි. ක්‍රි.ව. 1580 දී හිදෙයෝෂි නම් වූ රණකාමී රදල නායකයා මේ ප්‍රදේශයේ පාලනය අල්ලාගෙන ඔසාකා නුවර සිය අගනුවර බවට පත්කරගත්තේය. ඔහු එහි සුවිශාල ගල්පවුරුවලින් හා දිය අගල්වලින් වට කැරුණු අලංකාර වූ තුඟු මහත් මාළිගයක් තැනීය. 1868 දී ගින්නෙන් විනාශ වූ මෙය 1931 දී මහජන අනුග්‍රහය ද ඇතිව නැවත ඉදිකරවන ලදි. අද එය සංචාරක ජනයාගේ සිත් ගන්නා දර්ශනීය ස්ථානයක් බවට පත් වී ඇත. හිදෙයෝෂිගෙන් පසු උදා වූ තොකුගාවා යුගයේ දී ඔසාකා නගරය ජපානයේ ප්‍රධාන කාර්මික-වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් ශීඝ්‍රයෙන් නැග එන්නට විය. 1889 දී ඔසාකා නුවර මහා නාගරික ප්‍රදේශය වශයෙන් ප්‍රකාශයට පත්කැරිණි. නගරයේ ඇති වූ ශීඝ්‍ර කාර්මික සමෘද්ධිය නිසා 1897 දී වරාය විශාල කරවන ලදි. 1895 දී 50,000කට සීමා වූ මෙහි ජනගහනය, නගරසීමා පුළුල් කිරීමත් නගරයේ ඉමහත් දියුණුවත් නිසා, 1940 වන විට 3,250,000ක් දක්වා වැඩි විය. 1930-1940 දශකය තුළ පමණක් නගරය තුළ කර්මාන්තශාලා 6000කට කිට්ටු ගණනක් පිහිටුවනු ලැබීමෙන් මෙහි ශීඝ්‍ර දියුණුව මැනගත හැකිය. එහෙත් ලෝක යුද්ධය නිසා නගරයට සිදු වූ විනාශය අතිවිශාලය. බෝම්බ ප්‍රහාරවලට ලක්වීමෙන් නගරයෙන් 1/3ක් පමණ ම අළු ධූලි බවට පත්වුණු අතර ජනගහනය 2/3කින් අඩුව 1945 වන විට 1,050,000 දක්වා පහත බැස තිබිණි. එහෙත් 1949 වන විට ජනගහනය යුද්ධයෙන් පෙර තත්ත්වයට නැගෙමින් පැවතිණ. ඒ සමග ම අලුතින් ගෙවල් ලක්ෂයක් පමණ ඉදිකර තිබුණු අතර කර්මාන්තශාලා නවදහසක් පමණ යළි නිෂ්පාදන කටයුතු අරඹා තිබුණේය. 1964 දී ඔසාකා කර්මාන්තශාලා සංඛ්‍යාව 26,436ක් වූ අතර එම වර්ෂයේ මේවායේ නිෂ්පාදනයන්ගේ අගය යෙන් කෝටි 160,000ක් විය. ජපානයේ නිර්යාතවලින් 40%ක් යැවෙන්නේ මෙනුවරිනි. ප්‍රධාන වශයෙන් රෙදිපිළී නිෂ්පාදනය මුල් කොටගෙන කාර්මික නගරයක් බවට පත් ඔසාකාහි වානේ, යන්ත්‍රසූත්‍ර, විදුලිභාණ්ඩ, රසායන ද්‍රව්‍ය ආදිය ද විශාල වශයෙන් නිපදවනු ලැබේ. නැව් තැනීම ද ඔසාකාහි දියුණු වී ඇති කර්මාන්තයකි. බටහිර ජපානයේ වෙළඳ හා මූල්‍ය කටයුතු පිළිබඳ මධ්‍යස්ථානය ද ඔසාකා නගරයයි. මේ කාර්මික හා වෙළඳ දියුණුව නිසා මය, ‘එක්ස්පෝ-70’ නම් වූ ජගත් මහා වෙළඳ-කාර්මික ප්‍රදර්ශනය පැවැත්වීමට ජපානය මෙනුවර තෝරා ගන්නා ලද්දේ.

කාර්මික නගරක් වශයෙන් පමණක් නොව සංස්කෘතික හා කලාත්මක නගරයක් වශයෙන් ද ඔසාකා ප්‍රසිද්ධියක් ලබා ඇත. ඔසාකා විශ්වවිද්‍යාලය ද ඕසකා-ෆූ කොට්ඨාසයට අයත් පුස්තකාලය ද පිහිටා ඇත්තේ මෙහිය. ඔසාකාහි සුප්‍රසිද්ධ බෞද්ධ විහාර අතර ෂිතෙන්නෝජි, හෝසාන්ජි, මියොකෝ කුජි හා තන්ෂිජි යන විහාර වේ.

ඔසාකාහි ජනතාව අතර වැඩුණු, අවුරුදු 300ක පමණ ඉතිහාසයක් ඇති, බුන්රකු රූකඩ නැටුම් මෙනුවරට විශේෂය. තකිජිනෝ නාට්‍යය සම්බන්ධයෙන් ද ඔසාකා ප්‍රසිද්ධය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔසාකා&oldid=12064" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි