ඕල්ඩන්බ’ග්
(ඕල්ඩන්බුර්ක්). මෙනමින් ජර්මනියේ පරිපාලන කොට්ඨාසයක් ද නගරයක් ද වේ.
ඕල්ඩන්බ’ග් පරිපාලන කොට්ඨාසය
පහළ සැක්සනියේ පිහිටියේය. 1946 දී පරිපාලන කොට්ඨාසයක් වීමට කලින් ඕල්ඩන්බ’ග් සුළු රාජ්‍යයක්, මහාදිපාද ප්‍රදේශයක්, ආදිපාද ප්‍රදේශයක් හා එයට පෙර කෝරළයක් ද වශයෙන් පැවතියේය. ඕල්ඩන්බ’ග් සුළු රාජ්‍යයට ඕල්ඩන්බ’ග්, ලූබෙක් හා බර්කන්ෆෙල්ට් යන කොට්ඨාසත්රයක් විය. වර්තමාන ඕල්ඩන්බ’ග් පාලන කොට්ඨාසයට අයත් වනුයේ යටකී ඕල්ඩන්බ’ග් කොට්ඨාසය පමණි. 1937 දී අනික් කොට්ඨාස ද්වය ප්රසියාවට පැවරිණි.
ඕල්ඩන්බ’ග් ප්‍රදේශය සාරවත් වූ පහත් භූමියකි. ඕට්ස්, රයි, තිරිඟු ආදිය මෙහි වවනු ලැබේ. ගවයන් හා අශ්වයන් ඇති කිරීම ද ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපායකි.
කලක් සැක්සන් ආදිපාදවරුන් යටතේ පාලනය වූ මේ ප්‍රදේශය එකොළොස්වන ශතවර්ෂයේ දී ඔවුන්ගේ ආධිපත්‍යය පිළිගත් ඕල්ඩන්බ’ග්හි කවුන්ට්වරු (සිටුවරු) පාලනය කළහ. 1180 දී එය කවුන්ට්වරුන් යටතේ පාලනය වන නිදහස් ප්‍රදේශයක් විය. 1448 දී ක්‍රිස්ටියන් නම් වූ සිටුවරයා ඩෙන්මාර්කයේ රජු බවට පත් වූ අතර ඔහුගේ සොහොයුරු ගෙර්හාට් හා අනතුරුව ඔහුගේ අනුප්‍රාප්තිකයෝ ද ඕල්ඩන්බ’ග් පාලනය කළහ. 18 වන ශතවර්ෂයේ දී ඩෙන්මාර්ක්හි රජවරුන් ද ඉන්පසු ෆ්රෙඩ්රික් ඕගස්ටස් බිෂොප් තුමා ද යටතේ පාලනය වූ මේ ප්‍රදේශය 1918 දී වයිමාර් ජර්මන් ජනරජය මගින් පාලනය කැරුණු ප්‍රදේශයක් බවට පැමිණියේය.
ඕල්ඩන්බ’ග් නගරය
1945 දක්වා ඕල්ඩන්බ’ග් ප්‍රදේශයේ අගනුවරව පැවති මෙය බ්‍රේමන් නගරයට සැතපුම් 27ක් බටහිරින් හුන්ටෙ ගඟබඩ පිහිටා තිබේ. අසුන් හා ගවයන් වෙළඳාම් කිරීමේ මධ්‍යස්ථානයක් වූ මෙහි හස්තකර්මාන්ත ද ස්වල්ප වශයෙන් කරනු ලැබේ. ශතවර්ෂ කීපයකට පෙර මේ ප්‍රදේශයේ ආධිපත්‍යය දැරූ මහාදිපාදවරුන්ගේ පාලන කටයුතු පිළිබඳ මධ්‍යස්ථානය වූයේ ද මෙම නගරයයි. මෙහි ජනගහනය (1970) 131,400කි.
(සංස්කරණය: 1974)