කකුධ කච්චායන (පකුධ කච්චායන, කකුද කාතියාන, පකුධ කාතියාන)
බුදුරජාණන් වහන්සේ ධරමාන සමයෙහි හා ඊට නුදුරු අතීතයෙහි ජීවත් වෙමින් අකිරිය වාද, නියති වාද වැනි එකිනෙකට හාත්පසින් වෙනස් වූ ධර්මයන් දේශනා කළ පිරිස් වශයෙන් මහජන ගෞරවයට පාත්‍රව ෂට්ශාස්තෘන් නමින් හඳුන්වනු ලැබූ ගණාචාර්යවරුන් සදෙනාගෙන් කෙනෙකි. මක්ඛලිඝෝසාලයන්ගේ සහ පුරාණ කස්සපයන්ගේ ආගමික පරපුරයෙහි ලා ගත් කල මොහු ද ආජීවක නිකායේ මුල් ආචාර්යවරයකු ලෙස ගණන් බැලීමේ දී ඔහුගේ මූලික දේශනය පරමාණුකවාදය ස්වරූපය දක්වයි. බුදුරජාණන් වහන්සේගේ වෘද්ධතර සමකාලීනයකු වූ කකුධ පළමුවරට ග්‍රීසියේ මෙබදු අදහස් ප්‍රකාශ කළ ඩෙමොක්‍රිටස්ටත් වඩා පැරණි හෙයින් පරමාණුවාදයේ ආදිකර්තෘවරයා හැටියට ද සැලකිය හැකියි.
බෞද්ධ සාහිත්‍යයෙහි දීඝනිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ ද මජ්ඣිම නිකායේ සන්දක සූත්‍රයේ ද ජෛන සාහිත්‍යයෙහි ආචාරංග සූත්‍රයේ මහ සූත්‍රකෘතංගයේ ද මොහුගේ ධර්මය ගැන සඳහන් වෙයි. ජීවලෝකය විග්‍රහ කරන ඔහු කිසිවකු විසින් නොකරන ලද, අනිර්මිත වූ, කිසිවක් නොඋපදවන, නොවෙනස්වන, නොසැලෙන, එකිනෙකට බාධා නොකරන කාය නොහොත් මූල ධාතු සතක් ගැන කියයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහාභූතයන් ද සැප සහ දුක ද ආත්මය යන්නට සමාන අර්ථයෙන් සැලකෙන ජීවය ද මේ සප්තකයට අයත් වෙයි. අන්‍යෝන්‍ය සම්බන්ධයක් නොමැතිව පවතින හෙයින් ස්වාධීන වූත් කිසිවක් ඉපදවීමේ ශක්ති විරහිත හෙයින් වඳ වූත් ඒ එකක් වත් අනෙකක සැප පිණිස හෝ දුක පිණිස හෝ සැප දුක පිණිස නොපවතී. එබඳු කාර්‍ය්‍යයකට ඒවා නොපොහොසති. ඒවා පර්වත මෙන් නොසැලී සිටී. පරමාර්ථ වශයෙන් සලකා බලන කල මේ සප්ත කායයන් නිත්‍ය හෙයින් ද නොවෙනස්වනසුලු හෙයින් ද විනාශ කළ නොහැකිය. ඒවා පර්වත මෙන් නොසැලී සිටී. ජීවලෝකය මෙබඳු රටාවක් තුළ දක්වන ඔහු මරන්නකු හෝ මරවන්නකු හෝ අසන්නකු හෝ අසවන්නකු හෝ ආදී වශයෙන් ඇති වන පෞද්ගලික වගකීම් කිසිවකු වෙත පැවරිය නොහැකි බව දක්වයි. ඔහුගේ ප්‍රකාශයට අනුව යමෙක් තියුණු සැතකින් හිසක් සිඳී නම් කිසිවෙක් කිසිවකුගේ දිවි තොර කිරීමක් නොකරයි. සිදු වනුයේ සප්තකායයන් අතරින් ආයුධය විවරයට නොහොත් හිස් වූ තැනකට පිවිසීම පමණයි. එම නිසා ම සීලාදී ගුණ දහම් වැඩීම නිරථික බව අනිවාර්‍ය්‍ය වශයෙන් ඔහුගේ ධර්මයෙහි කියවෙයි. සන්දක සූත්‍රයේ දී අනඳ හිමියන් මෙබඳු ශාස්තෘවරයකු වෙත පුරුදු කරනු ලබන ආගමික දිවිපෙවෙත අබ්‍රහ්මචරියවාස යයි නම් කොට එය නියම බ්‍රහ්මචරියවාසයක් නොවන බව දක්වන්නේ ඔහුගේ මූලික ධර්මයෙහි ඇති මේ විපරීත ස්වරූපය නිසා විය යුතුයි. සන්දක සූත්‍රයෙහි කකුධගේ නම සඳහන් නොකොට ඔහුගේ සප්ත කායවාදය දක්වන තැන ඊට අනතුරුව මක්ඛලී ඝෝසාලගේ ධර්මය හැටියට දැක්වෙන නියතිවාදයට ද එයට එකතු කොට දක්වා ඇත. මේ ශාස්තාවරුන්ගේ අදහස් සම්මිශ්‍රණයෙන් එක ම පොදු ආගමික සම්ප්‍රදායක් බිහිවිය යන මතයට මෙය තුඩුදෙයි. පොදුවේ ආජීවික දහමට ඔහුගෙන් වූ සේවය හැරෙන්නට ෂට්ශාස්තෘන් අතුරෙන් මක්ඛලී ඝෝසාල, නිගණ්ඨනාතපුත්ත ආදීන් තරමට කකුධ කච්චායන භාරතීය ආගමික ජීවිතය කෙරෙහි බලනොපෑ බව පැහැදිලි වෙයි.
-ජෝතිය ධීරසේකර-