කපිල සෙනෙවිරත්න

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1918.08.22-1952). කොළඹ යුගයේ විසූ ජනප්‍රිය කවියෙකි, ගත් කතුවරයෙකි, කවි සඟරා සංස්කාරකයෙකි. මහනුවර සෙන්කඩගල පුරවරයට නුදුරින්, මහවැලි නදී ඉවුරේ ලේවැල්ලේ තොටුපලට ඉහත්තාවේ ගුන්නෑපාන නම් ගමෙහි උපන් ඒකනායක මුදියන්සේලාගේ කපිල සෙනෙවිරත්න කවියෙකු වශයෙන් ජනප්‍රසාදයට පාත්‍ර ව සිටියේ 1940 වන්නටත් මත්තෙනි. අකාලයේ අභාවයට පත් කපිලගේ ජීවිතය මෙන් ම ඔහුගේ කවි ජීවිතය ද ඉතා කෙටි වූවකි. කවි කලාව ජන්මයෙන් ම උරුම ව පැමිණි ඔහුට වයස අවුරුදු හතරේ දී සිය මව අහිමි වෙයි. කපිල කවියා ද තුරුණු වියේ දී ළය රෝගයකින් ඔත්පළ වූයේ ය. එහෙත් ඔහු ගේ කවි මිහිර ඔත්පළ වූයේ නොවේ. ඔහු දිගට ම කවි ලීවේ ය. සිය මව මිය ගොස් තිස් වසරක් ගෙවුණ ද ඔහුට එය දැරිය නොහැකි වේදනාවට හේතුවක් විය. ඒ බව ඔහු අවසන් වරට ලියූ පද පෙළෙන් ප්‍රකට වේ. සාමාන්‍යයෙන් ගත් විට ඔහුගේ කවි ජීවිතය පසළොස් වසරකට වඩා නොවැඩි ය. එසේ වුවත් මෙම කෙට කාලය තුළ ස්වකීය ප්‍රතිභාපූර්ණ සහජ කවීත්වය පුරා පළ කළ ඔහු විසින් නිර්මාණය කරන ලද රචනා රාශියකි.

තමා උපන් ගමේ දී මූලික අධ්‍යාපනය ලත් කපිල එතරම් උසස් අධ්‍යාපනයක් ලැබූවෙක් නොවේ. ස්වකීය භාග්‍යය සොයා ගමින් අගනුවරට පැමිණි ඔහු ගත කරන්නට වූයේ කවියට ම කැප වුණු ජීවිතයකි. කොළඹ ජීවිතය ආරම්භ කරන විට ද ඔහු සිය නිබැඳුම් නිසා පාඨකයන්ගේ අවධානයට යොමු ව සිටියේ ය.

ස්වීය කාව්‍යානුභූතීන් ප්‍රකාශ කිරීම සඳහා තමාට ම ආවේණික වූ කාව්‍යොචිත භාෂාවක් උපයෝගී කර ගත් කපිලගේ කවිබස බෙහෙවින් ම සරල ය. සුගම ය. මටසිලිටි ය. ආලය, ආදරය, වත්සල්‍යතාව වැනි මිනිස් ගැඟීම් සියුම් ලෙස විවරණය කිරීමට වෑයම් කළ ඔහු මානව භක්තිය සපුරා අගය කළ රචකයෙකි. සමකාලීන කවීන් අතර මොහු තරම් පෞද්ගලික ජීවිතය කවියෙන් කියූ කිසිදු කවියකු වූහ'යි නොකිය හැකි ය. ඔහුගේ එම රචනා එක ම දුක්ඛාන්ත කාව්‍යයකි, ශෝක ගීතයකි.

ඔහුගේ කවි ජීවිතයේ මුඛ්‍ය පාඨය වූයේ නිදහස දියුණ සාමය යන්නයි. දේශවාත්සල්‍යයෙන් කිති කැවී ජාත්‍යානුරාගයෙන් ඔප් නැඟී ඔහු විසින් රචනා කරන ලද ජන්ම භූමි වැනි රචනා ඒ වෙනුවෙන් නිදසුන් කොට දැක්විය හැකි ය. මැණිකා, අනෝමා, සාගරි, පොඩිදුව, රතුකැට, මල් කැකුළ, පෙණ බුබුළු, හිතේ අමාරුව වැනි කවි ද ඔහු විසින් රචනා ලදි. 1945 දී ආරම්භ කොට වසර ගණනාවක් මුළල්ලේ ඔහු විසින් පවත්වාගෙන යනු ලැබූ 'සුවඳ' කවි සඟරාව එවක පාඨක ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය. නව සැකැසුමකින් අලුත් මුහුණවරකින් පැවැත්වුණ 'සුවඳ' උසස් රචනාවලින් පිරී සිටියේ ය.

පාසැල්වල භාවිතය සඳහා සංග්‍රහ කරන ලද නව පද්‍ය සංග්‍රහ කිහිපයක ම කපිලගේ රචනා ඇතුළත් කොට ඇත. මෙයින් ඔප්පු වන්නේ විචාරකයන්ගේ පවා සැලකිල්ල ඔහුගේ රචනා කෙරෙහි යොමු ව පැවැති බවයි. වරින්වර ඔහු විසින් රචිත පද්‍යාවලි එක්රැස් කොට ගුන්නෑපාන වජිරඤාණ ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද 'කපිල කවි' නම් කාණ්ඩ තුනක් මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ. උන්වහන්සේ කපිල සෙනෙවිරත්නගේ දෙටු සොහොයුරා වූහ. ලෙඩ ඇ‍ඳේ සිට ඔහු එය සිහිපත් කළේ මෙසේ ය. "තිස් වසරකට පෙර දවසක ඇහැළ මහේ මගෙ මව මළා... " යනුවෙනි. එම පද වැල ලියා සුළු දිනෙකට පසුව ඔහු ද දිවියෙන් සමු ගත්තේ වයස අවුරුදු තිස් හතරේ දී වැලිසර රෝහලේ දී ය. ඔහු මිය යන සමයෙහි ලේක්හවුස් ආයතනයේ සේවයේ කරමින් සිටියේ ය.

(කර්තෘ: විමලසිරි පෙරේරා: 1973)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=කපිල_සෙනෙවිරත්න&oldid=4206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි