ක්වාමේ න්කෲමා
(Kwame Nkrumah). අප්‍රිකාවේ මුලින් ම නිදහස් රාජ්‍යයක් බවට පත් ඝානාවේ (ගෝල්ඩ් කෝස්ට්) පළමු වන ජනාධිපති වූ ආචාර්ය ක්වාමේ න්කෲමා 1957 සිට 1966 තෙක් එරට පාලනය කළේ ය. දීර්ඝ කාලයක් මුළුල්ලේ යුරෝපීය යටත් විජිතවාදීන් විසින් කොටස් කරගනු ලැබ පාලනය කළ, 'අඳුරු මහාද්වීපය' යන අමිහිරි අපර නාමයකින් පවා හැඳින්වුණු අප්‍රිකා මහද්වීපයට නිදහස උදා කිරීමෙහි පුරෝගාමී වූ හෙතෙම ඝානාවේ වයඹ ප්‍රදේශයේ කුඩා ගමක අකාන් නමැති ගෝත්‍රයට අයත් කම්මල් කාරයෙකුගේ පුත්‍රයෙකි. කතෝලික පියතුමෙකුගේ අනුග්‍රහයෙන් වර්ෂ අටක් මුළුල්ලේ ගම්බද කුඩා පාසැලක අධ්‍යාපනය ලත් ඔහු ශිෂ්‍ය ගුරුවරයෙකු ලෙස එම පාසැලේ ම උගන්වා පසු ව ගුරු අභ්‍යාස විද්‍යාලයයකට ඇතුළත් විය. 1935 දී ඇමෙරිකාව බලා ගොස් එහි වූ තවත් අප්‍රිකානු නායකයන් සමඟ එකතුව 'අප්‍රිකානු ජාතික සංවිධානය' පිහිටුවා ගත්තේ ය. ඇමෙරිකාවේ දී වැඩිදුර ඉගෙනීමෙහි යෙදුණු හේ වරාය කම්කරුවෙක්, හෝටල ලිපිකරුවෙක් ආදී වශයෙන් නොයෙක් රැකියාවන්හි නිරත වූයේ ය. එසේ කළ රක්‍ෂාවන්ගෙන් මුදල් ඉතිරි කර ගෙන 'ලින්කන්' විශ්ව විද්‍යාලයට ඇතුළුව අර්ථ ශාස්ත්‍රය හදාරා ඒ පිළිබඳ විශේෂ ආචාර්ය උපාධියක් දිනා ගත්තේ එහි ම කථිකාචාර්ය ධුරයකට ද පත්විය. එවැනි තත්ත්වයක් ලැබූ පළමු වන අප්‍රිකානු ජාතිකයා ද ඔහු ය. මේ අතර ඔහු ඇමෙරිකාවේ සහ කැනඩාවේ වෙසෙන ශිෂ්‍යයන් සංවිධානය කොට සංගමයක් පිහිටවනු ලැබී ය. එහි සභාපති වූයේ ද ඔහු ය. එම සංවිධානය මඟින් නිදහස් අප්‍රිකාවක් බිහි කිරීමට වෙර දරන ලදි. 1945 දී ඔහු එංගලන්තය බලා ගියේ ය. එහි වූ එක්සත් අප්‍රිකානු ශිෂ්‍ය සංවිධානයට බැඳුනේ ය. එම සංගමයේ උපසභාපති වූ න්කෲමාට සංගමයේ අනුමැතිය ඇති ව අප්‍රිකානු නිදහස පිළිබඳ පත්‍රයක් පළ කිරීමේ වගකීම ද පැවරුණේ ය. මේ කාල සීමාවේ දී අප්‍රිකාවේ වෙනත් අය ස්වදේශයේ නිදහස පතා නොයෙක් සංවිධාන පිහිටුවා තිබිණ. එම නායකයන් න්කෲමා ගැන දැනගෙන සිටියෙන් ඝානාවෙහි පිහිටුවා තිබුණු බලසම්පන්න නිදහස් සංවිධානයක ලේකම් ධුරය භාර ගන්නා ලෙස අයැද සිටියහ. එම ඇරයුම පිළිගත් න්කෲමා සිය රටට පැමිණ විවිධ ශාඛාවලින් යුක්ත වූ එම සංවිධානයේ සියලු ම ශාඛා ඒකාබද්ධ කොට එක් පක්ෂයක් බවට පත්කොට එමඟින් ජාතික ප්‍රශ්න ගැන උද්ඝෝෂණ ඇති කළේ ය. අධිරාජ්‍ය විරෝධී ක්‍රියා නිසා 1948 දී හෙතෙම සිරභාරයට ගන්නා ලදී. සිර ගෙදරින් නිදහස් වූ ඉක්බිති ඔහු කෙළේ පුවත්පතක් අරඹා තරුණ සංවිධාන රටපුරා ඇති කිරීමයි. ඒ සියලු තරුණ සංවිධාන ඒකාබද්ධ කොට ශක්තිමත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්තේ ය. න්කෲමාගේ නව පක්ෂය මඟින් ජාතික නිදහස පතා සටන් කරන්නට පටන් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් කීපවරක් ම ඔහුට සිරබත් බුදින්නට සිදුවිය. ඔහු සිරගෙයි සිටිය දී ම 1951 දී ඝානාවේ පළමු වැනි ඡන්ද විමසීම සිදු වීය. ඡන්දාපේක්ෂකයෙක් වූ න්කෲමාට ඔහු ඉදිරිපත් වූ කොට්ඨාසය ඉතා විශිෂ්ට ලෙස දිනාගත හැකි විය. ඉනික්බිති ව ඔහු තවදුරටත් නිදහස් සටන ගෙන ගියේ ය. 1957 දී ඝානාවට නිදහස ලැබුණේ ය. එහි පළමු වන ජනාධිපතිවරයා වීමේ ගෞරවය ආචාර්ය ක්වාමේ න්කෲමාට ලැබුණේ ය. ඉන් පසු අප්‍රිකාවේ අනිත් රටවල් නිදහස් කර ගැනීම සඳහා කොංගෝවේ ලුමුම්බා ආදීන්ට සම්පූර්ණ සහයෝගය දුන්නේ ය. “මා කොමි්‍යුනිස්ට් වාදියෙක් නොව සමාජවාදය පිළිගත් අප්‍රිකානු නායකයෙක්”යි වරක් ඔහු විසින් කියන ලදි. ඔහු රුසියාව, චීනය ආදී රටවල සංචාරය කළේ ය. ලංකාවේ පළමු වන නිදහස් උත්සවය (1948) සඳහා පළමුවෙන් ම දිවයිනට පා තැබූ විශේෂ අමුත්තා ද ඔහු ය. න්කෲමාගේ ප්‍රතිපත්ති ප්‍රිය නොකළ පිරිසක් ද විය. ඔහු ඔවුන්ගේ බලය මැඩීම පිණිස නානාවිධ නව නීති පනවන්නට පෙළඹුණේ ය. විරුද්ධවාදීන්ගේ විරුද්ධකම් දැඩිවීමට ඉන් ඉඩකඩ වැඩි විය. මේ මෙසේ පවතිද්දී ඔහු චීන සංචාරයක යෙදුණේ ය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අවස්ථානුකූල ව ක්‍රියාත්මක වූ යුද හමුදාව විසින් රටේ පාලනය අල්ලා ගන්නා ලද්දේ ය. ඉන් පසු කිසිවිටෙකත් ඔහුට සියරටට පාතබන්නට ඉඩ නොලැබුණේ ය. අවසන් වරට ඔහු නැවතී සිටියේ ඔහුගේ මිත්‍රයෙක් වූ ඕකුතෝරේ පාලනය කළ ගිනියාවේ ය. ඔහුට එහි උපජනාධිපති ධුරය ද ලැබුණේ ය. උපතින් තෙසැට වැනි වියෙහි දී (1972) පිළිකා රෝගයකින් පෙළෙන්නට වූ හෙතෙම බල්ගේරියාවේ දී මිය ගියේ ය.
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)
(සංස්කරණය නොකළ)