ගස්ටාව් හයින්මාන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Gustav Heinemann) (1899.07.23- 1976.07.07). නීතිය පිළිබඳ විද්වත් වෘත්තිකයකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය අරඹා ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ජර්මනියේ විවිධ නිලතල දරා පසුව 1969-74 දක්වා බටහිර ජර්මනියේ ජනාධිපතිවරයා වූ ජර්මන් ජාතික දේශපාලඥයෙකි.

1917 දී ඔහුගේ ප්‍රභූ ද්විතීයික අධ්‍යාපනය අවසන් කළ හයින්මන් කෙටි කලකට පළමු ලෝක යුද්ධයේ සොල්දාදුවෙකු බවට පත් වූ නමුත් ඔහුගේ දරුණු රෝගාබාධ ඔහුව පෙරමුණට යැවීම නතර කළේ ය. හයින්මාන් ම්‍යුන්ස්ටර්, මර්බර්ග්, මුනිෂ්, ගොටින්ගන් හා බර්ලින් (Heinemann Münster, Marburg, Munich, Göttingen, Berlin) යන විශ්වවිද්‍යාලවල නීතිය, ආර්ථික විද්‍යාව සහ ඉතිහාසය හැදෑරූ අතර 1922 දී උපාධිය ලබා 1926 දී කඩඉම සමත් විය. ඔහු 1922 දී ආචාර්ය උපාධියක් සහ නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තේ ය.

ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ එසෙන් (Essen) හි කීර්තිමත් සොලිසිටර් සමාගමකට සම්බන්ධ ව සේවය කිරීමෙනි. 1929 දී ඔහු වෛද්‍ය වෘත්තියේ නීතිමය ප්‍රශ්න ගැන පොතක් ප්‍රකාශයට පත් කළේ ය. 1929 සිට 1949 දක්වා ඔහු එසෙන්හි Rheinische Stahlwerke හි නීති උපදේශකයෙකු ලෙස සේවය කළ අතර 1936 සිට 1949 දක්වා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. ඔහු 1933 සහ 1939 අතර කාලය තුළ කොලෝන් විශ්ව විද්‍යාලයේ නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු විය. ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතය අවසන් වූයේ නාසි පක්ෂයේ සාමාජිකයෙකු වීම ඔහු ප්‍රතික්ෂේප කිරීම විය හැකි ය.

හයින්මන් ශිෂ්‍ය අවධියේදී ගොඩනැගුණු මිත්‍රත්වය බොහෝවිට ජීවිත කාලයට ම පැවතුණි. ඔහුගේ මිතුරන් අතර ආර්ථික ලිබරල්වාදයේ ප්‍රමුඛ චරිතයක් බවට පත්වීමට නියමිත ව සිටි විල්හෙල්ම් රොප්කේ, පසුව වෘත්තීය සමිතිවාදියෙකු සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදියෙකු වූ අර්නස්ට් ලෙමර් සහ මාක්ස්වාදියෙකු වූ වික්ටර් අගාට්ස් වැනි විවිධ පුද්ගලයෝ වූහ.

ඔහු 1946 සිට 1949 දක්වා එසෙන් (Essen)හි නගරාධිපති ලෙසත් 1949 සිට 1950 දක්වා බටහිර ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ය.

නට්සිවාදයට විරුද්ධ වූවකු ලෙස නම් දැරූ හේ 1950 දී චාන්සලර් කොනර්ඩ් ඇඩිනෝර්ගේ ඇමති මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. අනතුරුව 1957 දී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (Social Democratic Party) බැඳුණු හයින්මාන් 1966 දී අධිකරණ ඇමති ධුරයට පත් 1969 දක්වා එම පදවියේ කටයුතු කළේ ය.

1926 දී හිල්ඩා හයින්මාන් (Hilda Heinemann) සමඟ යුග දිවියට පත් හයින්මාන්ට Uta Ranke-Heinemann, Christa Delius, Peter Heinemann සහ Barbara Wichelhaus) යනුවෙන් දරුවෝ සිව් දෙනෙක් වූහ. ප්‍රතිපත්තිගරුක රාජ්‍ය නායකයෙකු ලෙස ජනතාවගේ ආදරයට ලක් වූ හෙතෙම බටහිර ජර්මන් ජාතිකයන් විසින් හදුන්වනු ලැබූයේ ‘ජනතා ජනාධිපති’ලෙසිනි. වයස 77 ආයු වින්දනය කළ හයින්මාන් ජර්මනියේ එසෙන්හි දී (Essen, Germany) මිය ගියේ ය.

(කර්තෘ: කේ.බී. සෝමරත්න: 1976)

(සංස්කරණය නොකළ)