චාල්ස් ගේබ්‍රියෙල් සෙලිග්මාන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Charles Gabriel Seligman) (1873.12.24-1940.09.19). බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයකු, ඉතිහාසඥයකු මෙන් ම මානව විද්‍යාඥයකු වන චාල්ස් ගේබ්‍රියෙල් සෙලිග්මන් (FRS, FRAI) බ්‍රිතාන්‍ය මානව විද්‍යාවේ පුරෝගාමියකු වශයෙන් සැලකේ. ඔහු ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයේ (London School of Economics) මහාචාර්යවරයකු ලෙස සේවය කළ අතර බ්‍රොනිස්ලෝ මැලිනොවුස්කි (Bronisław Malinowski), ඊ.ඊ. එවන්ස් (E. E. Evans-Pritchard), මේයර් ‍ෆෝට්ස් (Meyer Fortes) වැනි ප්‍රකට මානව විද්‍යාඥයින්ගේ ගුරුවරයකු ලෙස සැලකේ. සෙලිග්මන්ගේ මානවවිද්‍යා පර්යේෂණ සඳහා ප්‍රධාන වශයෙන් පාදක කර ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ වැදි ජනතාව (Vedda people of Sri Lanka) හා සුඩානයේ ශිලුක් ජනතාවයි (Shilluk people of the Sudan).

එංගලන්තයේ දී මධ්‍යම පාන්තික යුදෙව් පවුලක උපත ලද සෙලිග්මන්ගේ පියා වූයේ හර්මන් සෙලිග්මන් (Hermann Seligmann) ය. මොහු ලන්ඩනයේ ශාන්ත පෝල් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ශාන්ත තෝමස් විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාළේ ය. පසුව මානව විද්‍යාවට සිත් ඇදී ගියෙන් ඔහු 1898 දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයීය ගවේෂක කණ්ඩායමට එක් වී ටොරේස් සමුද්‍රසන්ධි ගවේෂණයක් සඳහා පිටත් ව ගියේ ය. නැවත එංගලන්තයට පැමිණ වෛද්‍ය කටයුතුවල නිරත වූ සෙලිග්මන් 1904 දී නැවත නිව්ගීනියාව බලා පිටත් විය. මෙම ප්‍රදේශයේ පුද්ගලයන් වාර්ගික, සංස්කෘතික සමාජ ලක්ෂණ අනුව වෙන්කොට දැක්වීමට ඔහු උත්සාහ දැරී ය. 1910 දී මොහු විසින් රචිත The Melanesians of British New Guinea (බ්‍රිතාන්‍ය නිවිගීනියාවේ මෙලනීසියන්වරු) නමැති ග්‍රන්ථය පසුකලෙක බ්‍රොනිස්ලෝ මැලිනොවුස්කිගේ ගවේෂණවලට පදනම විය.

1904 දී සෙලිග්මන්, බ්‍රෙන්ඩා සැලමන් (Brenda Zara Salaman) සමඟ විවාහ විය. ඇය භාෂාවිෂයයෙහි නිපුණතාවකින් යුක්ත වූවා ය. පසුකාලීන ගවේෂණයන්හි දී හා ග්‍රන්ථ රචනයේ දී ඔහුට ඇයගෙන් මහත් සහයෝගයක් ලැබිණ. මොවුන් දෙදෙනා 1906-08 සමයෙහි ලංකාවට ද පැමිණි අතර ලංකාවේ වැදි ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ අධ්‍යයනය කොට The Vedda People of Ceylon (ලංකාවේ වැදි ජනතාව) පිළිබඳ ග්‍රන්ථයක් ද රචනා කරන ලදි. 1909-10 සහ 1911-12 යන සමයන්හි ඔවුන් විසින් සුඩානයේ දී කරන ලද ගවේෂණ, මානව විද්‍යාවේ නව නැම්මක් උදා කළේ ය.

1 වන ලෝක සංග්‍රාමය පැවැති සමයෙහි රාජකීය හමුදාවේ වෛද්‍ය බලඇණියේ සේවය කරමින් සිටි සෙලිග්මන්, සිග්මන් ෆ්‍රොයිඩ්ගේ න්‍යායයන් නව මුහුණුවරකින් ඉදිරිපත් කළේ ය. විවිධ සංස්කෘතීන්ට අයත් මිනිසුන් දකින සිහිනවල විශ්වීයතාව ගැන පරීක්ෂා කළ ඔහු, උපවිඥානය පිළිබඳ මනෝවිද්‍යාව මගින් ඇතැම් මූලික මානව විද්‍යාත්මක ප්‍රශ්වලට විසඳුම් සෙවිය හැකි බව පෙන්වා දුන්නේ ය. 1921-22 සමයෙහි නැවතත් ඔවුහු සුඩානයට ගොස් එහි ගෝත්‍රික ජනයා පිළිබඳ අධ්‍යයනය කොට සොයාගත් කරුණු Pagan Tribes of the Nilotic Sudan (නිලොටික් සුඩානයේ පැජන් ගෝත්‍රිකයෝ) යන නමින් ග්‍රන්ථයක් වශයෙන් 1932 දී පළ කළහ.

1910 දී සෙලිග්මන් ලන්ඩන් ආර්ථික විද්‍යා ආයතනයේ (London School of Economics) මානවවංස විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත්කරනු ලැබී ය. 1913 සිට 1934 දක්වා එහි අර්ධකාලීන මහාචාර්වරයකු වශයෙන් ද 1938 දී යේල් විශ්වවිද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු වශයෙන් ද සේවය කළේ ය. සෙලිග්මන් දැක්වූ පරිදි මිනිස් සංහතිය යනු ඓතිහාසික වර්ධනයේ විවිධ අවස්ථා පෙන්නුම් කරන ආකාරයට, වාර්ගික හා සංස්කෘතික වශයෙන් වෙන් වෙන් ප්‍රජාවන් ලෙස ලොව පුරා විසිරී සිටින එක් සත්ව වර්ගයකි (Species).

භෞතික මානවවිද්‍යාව, පුරාවිද්‍යාව, සංස්කෘතික මානවවිද්‍යාව හා පෙරදිග කලා පිළිබඳව ද ඔහු උනන්දුවක් දැක්වී ය. මනෝවිශ්ලේෂණවාදය හා මානවවිද්‍යාව අතර සම්බන්ධය ගැන අධ්‍යයනය කළ මුල් ම මානවවිද්‍යාඥයන් අතරට සෙලිග්මන් ද ඇතුළත් වේ. 1919 දී රාජකීය සමිතියේ සම්මාන සාමාජිකත්වය ඔහුට ප්‍රදානය කරන ලදි. 1930 දී Races of Africa (අප්‍රිකා ජාතීන්) නමින් ද 1934 දී Egypt and Negro Africa (ඊජිප්තුව හා නීග්‍රෝ අප්‍රිකාව) නමින් ද ඔහු විසින් තවත් පොත් දෙකක් රචනා කරන ලදි.

ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හි දී ගියේ ය.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1978)

(සංස්කරණය නොකළ)