චිත්ත ගහපති
මෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ධර්මකථික උපාසකවරුන් අතුරෙහි අග්‍රස්ථානය ලබා සිටියේ ය. මච්ඡිකාසණ්ඩ නුවර සිටුවරයකු වූ මොහු උපන් දිනයෙහි වට පඤ්චවර්ණ පුෂ්ප වර්ෂාවෙන් මුළු නුවර විචිත්‍ර විය. චිත්ත නම් වූයේ එහෙයින් යයි සඳහන් වේ.
චිත්ත ගහපති තෙමේ තම පිය සිටාණන්ගේ ඇවෑමෙන් එම නගරයෙහි සිටු පදවියට පත් විය. දිනෙක මච්ඡිකාසණ්ඩ නගරයට පැමිණි මහානාම තෙරුන් වහන්සේ දැක පැහැදී අම්බාටකාරාම නම් උයනෙහි වාසය කරන ලෙස උන්වහන්සේට ඇරයුම් කළේ ය. ඒ ආරාධනය පිළිගත් මහ තෙරුන් වහන්සේ එහි වඩ වෙසෙමින් නිතර ධර්මානුශාසනා කළහ. චිත්ත ගහපති නොබෝ කලෙකින් ම දහම් අසා අනාගාමී ඵලයට පැමිනියේ ය. ඉන්පසු වරින්වර ආරාමයට වැඩම කළ ඉසිදත්ත ආදී තෙරවරුන්ට ද හේ උවටැන් කළේ ය. මොහු භික්ෂූන් සමග නොයෙකුත් ධර්ම සාකච්ඡාවන්හි යෙදුණු බව ද චිත්ත සංයුක්තයෙහි සඳහන් වේ. එසේ ම නිගණ්ඨනාථපුත්ත, අචෙල කස්සප ආදී තීර්ථකයන්ගේ මිථ්‍යා මත බිඳ හෙළනු වස් ඔවුන් සමග විවාද කළ අවස්ථා ගැන ද සඳහන් වේ.
අම්බාටකාරාමයෙහි සුධම්ම නම් තෙර කෙනෙක් නේවාසික ව විසූහ. එකල සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන මහා සංඝයා වහන්සේ අම්බාටකාරාමයට වැඩියහ. චිත්ත ගහපති අගසව්වනට පළමුකොට උවටැන් කොට ගරුසරු දැක්වී ය. නිබද්ධවාසී සුධම්ම තෙරුන්ට ගරුසරු දැක්වූයේ ඉන් අනතුරුව ය. මෙයින් තමා අඩුකොට සැලකී යයි සිතා සිත් දූෂ්‍ය කර ගත් තෙරණුවෝ චිත්ත ගහපති හට අවමන් කළහ. ඒ ඇසූ බුදුහු චිත්තගෙන් ඒ සඳහා ක්ෂමාව අයැදීමට තෙරුනට නියම කළහ.
චිත්ත ගහපති දෙවිවරුන්ගේ පවා සම්මානයට පාත්‍ර වූ බව සඳහන් වේ. ඔහු ගැන මහජනයා වර්ණනා කතා කරන්නට පන් ගත්හ. මේ ඇසූ බුදුහු ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් යුක්ත වූ තැනැත්තා යස ඉසුරු ලබන බවත් ගිය ගිය තැන පුද සැලකිලි ලබන බවත් වදාළහ.
අනාගාමී ඵලයට පත් ව සිටි මෙතෙම නිතර ම ආර්යශ්‍රාවක උපාසක පන්සියයක් සමග ඔවුනට ධර්මානුශාසනා කෙරෙමින් හැසිරුණේ ය. එහෙයින් පසු කලෙක බුදුරදුන් විසින් ධර්මකථික උපාසකයන් අතර අග්‍රස්ථානයට පත් කරනු ලැබී ය.
චිත් ගෘහපතීහු මරණ මඤ්චකයෙහි සිටියදී දෙවිවරු පැමිණ සක්විති බව පතන ලෙස දන්වා සිටි බව ද එහෙත් හේ ස්ථිර නොවූ ලෞකික සැප කිසිවක් ප්‍රාර්ථනා නොකරන බව දන්වා ඔවුනට අවවාද කළ බව ද සඳහන් වේ.
-ජයන්ත විමලසේන-